(2) අනෙක් යෝගාවචරයෙක් චක්ඛු ධාතු ආදි අටළොස් (18) ධාතු වශයෙන් ව්‍යවස්ථා කෙරේ.
ඒ මෙසේයි:- මේ සස්නෙහි මහණ තෙමේ මේ අත්බැව්හි චක්ඛුධාතුව ඇතැයි ද, -පෙ- මනොධාතුව ඇතැයි ද, ධාතුන් ආවර්‍ජනා කොට (ලෝවැස්සා චක්ඛුයැ යි ගන්නා සුදු-කළු මණ්ඩලයෙන් විසිතුරු වූ දිගු - පුළුල් ඇස් වළෙහි නහර හුයින් බඳනා ලද මස් පිඬ නො ගෙන) බන්‍ධනිර්‍දෙශයෙහි උපාදාය රූපයන් අතුරෙහි කී ආකාර ඇති චක්ඛුප්පසාද රූපය චක්ඛු ධාතුය යි ව්‍යවස්ථා කෙරේ.
එයට නිශ්‍රය වූ පඨවි-ආපො-තෙජො-වායො යන සතර මහාභූතයන් පිරිවර වූ වණ්ණ-ගන්ධ-රස-ඕජා යන සතර රූප ද, පරිපාලක වූ ජීවිතින්‍ද්‍රිය රූපයදැ යි මේ සහජාත රූප නවය ද, එහිම පිහිටි කාය දශකය ද, ඉත්‍ථිභාව - පුරිසභාව දශක අතුරින් එකක්දැ යි මේ විසි කර්‍මජ රූප ද, ආහාර-චිත්ත-උතු යන ත්‍රිවිධ සමුත්‍ථාන වශයෙන් ඔජට්ඨමක තුන බැගින් සූවිසි (24) අනුපාදින්නක (අකර්‍මජ) රූපදැ යි මෙසේ (චක්ඛුප්පසාද රූපය හැර) සෙසු තෙපනස් (9+20+24=53) රූප වේ. ඒ සියලු රූපය චක්ඛු ධාතුය යි ව්‍යවස්ථා නොකෙරේ. සෝත ධාතු ආදියෙහි ද මේ ක්‍රමය මැයි.
කාය ධාතුවෙහි ඒ තෙපනසින් චක්ෂුර්‍දශකාදීන් හැර සෙසු තෙසාලිසක් (9+10+24=43) රූප වේ. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනේක සෘතු-චිත්ත සමුත්‍ථාන කලාප ශබ්දය සමග නවයක් - නවයක් කොට පන්සාලිසකැ (45) යි යෙති. මෙසේ මේ පඤ්චප්‍රසාදයන් හා ඔවුනට ගෝචර වූ රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය පසදැයි යන රූප දසය දස ධාතුහු වෙති. සෙසු සොළොස් (16) සුඛුම රූපයෝ ධම්ම ධාතු නම් වෙත්.
චක්ඛුප්පසාදය නිසා රූපය අරමුණු කොට පැවැති සිත චක්ඛුවිඤ්ඤාණ ධාතු නමැයි මෙසේ දෙපස් (10) විඤ්ඤාණය පඤ්ච විඤ්ඤාණ ධාතු නමි.
මනොධාතුත්‍රයය එකම මනොධාතුව යැ. සෙසු අට සැටක් (68) සිත් මනොවිඤ්ඤාණ ධාතු නමි. මේ සියලු එක් අසූවක් (81) ලෞකික චිත්තයෝ සත්ත විඤ්ඤාණ ධාතු නම් වෙත්.
‘මේ එක් අසූවක් චිත්තයෙහි සම්ප්‍රයුක්ත වූ ඵස්සාදි චෛතසිකයෝද ධර්‍ම ධාතු නම් වෙති’යි මෙසේ මෙහි චක්ෂුරාදි පස හා රූපාදි පසදැ යි සම්පූර්‍ණ රූප දසය හා ධර්‍මධාතුවට අයත් ධර්‍මයන් අතුරින් සොළොස් (16) සුඛුම රූපදැ යි යන අඩ එකොළොස් (11 1/2) ධාතුහු රූප නම් වෙති. (ධර්‍මධාතු සඞ්ඛ්‍යාත ධර්‍මාලම්බනයට අයත් දෙපනස් (50) චෛතසික හා නිර්‍වාණය නාම හෙයින් මෙහි නො ගැනේ.)
චක්ඛු - සොත - ඝාණ - ජිව්හා - කාය විඤ්ඤාණ ධාතු ය, මනො ධාතු ය, මනොවිඤ්ඤාණ ධාතු ය යන සත හා ධර්‍ම ධාතුවෙන් අඩක් වූ දෙපනස් (52) චෛතසික ය, නිර්‍වාණය යන මේ අඩකින් අටක් (7 1/2) වූ නාම ධාතුදැ යි මෙසේ අටළොස් (18) ධාතු වශයෙන් නාම-රූප විනිශ්චය කෙරේ.