මෙසේ අන්‍ය වූ ද උක්-සොර-ගෙරි - දී - මස් යන උපමාවන්ගෙන් ද, මේ අර්‍ථය ප්‍රකාශ කළ යුතුය.
උක්පැණි ලබනු කැමැත්තා යන්ත්‍රයෙහි උක් බහා වරක් දෙකක් යන්ත්‍රය කරකැවීමෙන් නො නැවතී පැණි ලැබෙනතාක් නැවැතැ-නැවැතැ කරකවන්නාක් මෙන් ද,
බඩු පැහැර ගත් සොරකු ගෙන, වරකින් දෙකකින් තතු දත නො හැකි වූ පමණින් නො හැර නැවැතැ-නැවැතැ පෙළා තතු දැනගන්නාක් මෙන් ද,
වල් හරකකු දමනය කරන්නා රියෙහි බැඳ වරකින් දෙකකින් නො නැවතී නැවැතැ-නැවැතැ උත්සාහ කොට දමනය කරන්නාක් මෙන් ද,
වෙඬරු නිපදවන්නකු මෝරු බඳුනෙහි බහා වරකින් දෙකකින් නො නැවතී නැවැතැ-නැවැතැ පෙළන්නාක් මෙන් ද,
මාලු පිස බුදිනු කැමැත්තකු වරක් දෙකක් ගිනි දල්වා නො නැවැතී පැසෙන තුරු නැවැතැ-නැවැතැ ගිනි දල්වන්නාක් මෙන් ද, පෙර කී සේ රූප පරිග්‍රහ කළයුතු.
මෙසේ සුවිශුද්ධ රූප පරිග්‍රහය ඇති ඒ යෝගාවචරයා හට අරූප ධර්‍මයෝ සපර්‍ශ වශයෙන් හෝ වේදනා වශයෙන් හෝ විඥාන වශයෙන් හෝ වැටහෙත්.
ඒ මෙසේ යි:- ‘පෘථිවි ධාතුව කැකුළු බව ලක්ෂණ කොට ඇත්තේ යැ, යනාදී ක්‍රමයෙන් ධාතුන් පරිග්‍රහය කරන්නා වූ ඇතැම් යෝගියකුට ස්පර්‍ශය පළමු කොට අරමුණු වේ. ඒ ස්පර්ශ සම්ප්‍රයුක්ත වේදනාව වේදනා ස්කන්ධයැ. සංඥාව සංඥා ස්කන්ධය යැ, ඵස්ස හා චේතනා සංස්කාර ස්කන්ධ යැ, සිත විඥාන ස්කන්ධයැ යි වැටහේ.
එසේම ‘කේශයෙහි කැකුළු බව පඨවි ධාතු යැ. -පෙ- ආශ්වාස-ප්‍රශ්වාස දෙක්හි පඨවි ධාතුව කැකුළු බව ලකුණු කොට ඇතැයි’ යන අරමුණෙහි පළමුව හෙන ස්පර්ශ යැ. ඒ හා යෙදුණු වේදනාව වේදනා ස්කන්ධ යැ. -පෙ- සිත විඥාන ස්කන්ධයැ යි වැටහේ. මෙසේ අරූප ධර්‍මයෝ ස්පර්‍ශ වශයෙන් වැටහෙත්.
එකක් හට පෘථිවි ධාතුව කර්‍කශ ලක්ෂණය ඇත්තේ ය. ඒ පෘථිවි ධාතු අරමුණෙහි රස අනුභව කරන වේදනාව වේදනා ස්කන්ධ යැ. ඒ හා යෙදෙන සංඥාව සංඥා ස්කන්ධ යැ. ඒ හා යෙදෙන ස්පර්ශය ද, චේතනාව ද, සංස්කාර ස්කන්ධ යැ. ඒ හා යෙදුණු සිත විඥාන ස්කන්ධයැ යි වැටහේ.
එසේම කේශයෙහි පඨවි ධාතුව කැකුළු බව ලකුණු කොට ඇත්තේ ය. -පෙ- ආශ්වාස-ප්‍රශ්වාසයෙහි පඨවි ධාතුව කැකුළු බව ලකුණු කොට ඇත්තේ ය. ඒ අරමුණු කොට පව්තනා රසානුභව කරන වේදනාව වේදනා ස්කන්ධ යැ. -පෙ- තත් සම්ප්‍රයුක්ත චිත්තය විඥාන ස්කන්ධයැ යි වැටහේ. මෙසේ වේදනා වශයෙන් අරූප ධර්‍මයෝ වැටහෙත්.
අනෙක් හට “පෘථිවි ධාතුව කර්‍කශ ලක්ෂණය ඇත්තේ ය’යි අරමුණු දැනගන්නා විඥානය විඥාන ස්කන්ධ යැ. ඒ හා සම්ප්‍රයුක්ත වේදනාව වේදනා ස්කන්ධ යැ. සංඥාව සංඥා ස්කන්ධ යැ. ඵස්සය ද, චේතනාව ද, සංස්කාර ස්කන්ධයැ යි වැටහේ.
එසේම ‘කේශයෙහි පඨවි ධාතුව කර්‍කශ ලක්ෂණය -පෙ- ආශ්වාස-ප්‍රශ්වාසයෙහි පෘථිවි ධාතුව කර්‍කශ ලක්ෂණයැ යි අරමුණ දැනගන්නා විඥානය විඥාන ස්කන්ධ යැ. ඒ හා සම්ප්‍රයුක්ත වේදනාව වේදනා ස්කන්ධ යැ. සංඥාව සංඥා ස්කන්ධයැ. ස්පර්ශය ද, චේතනාව ද සංස්කාර ස්කන්‍ධය යි වැටහේ. මෙසේ විඥාන වශයෙන් අරූප ධර්‍මයෝ වැටහෙති. මේ උපායයෙන් ම ‘කර්‍මයෙන් හටගන්නා කෙස්හි පෘථිවි ධාතුව කර්‍කශ ලක්ෂණ යැ. යනාදි ක්‍රමයෙන් දෙසාලිස් (42) ධාතු කොටස්හි සතර - සතර ධාතු වශයෙන් සෙසු චක්ඛු ධාතු ආදී රූප පරිග්‍රහ මුඛයන්හි සියලු නය භෙදය අනුව ගොස් අර්‍ථ යොජනා කළ යුතු ය.
මෙසේ සුපරිශුද්ධ රූප පරිග්‍රහ ඇත්තා වූ ම ඒ යෝගී හට අරූප (නාම) ධර්‍මයන් (ඵස්ස-වෙදනා-විඤ්ඤාණ යන) තුන් ආකාරයෙන් ප්‍රකට වන හෙයින් ම සුපරිශුද්ධ රූප පරිග්‍රහ ඇත්තහු විසින් ම අරූප (නාම) පරිග්‍රහය පිණිස යොග කටයුතු යි. එසේ නැත්තකු විසින් නො කට යුතුයි.
විශේෂ :- රූප ධර්‍ම එකක් හෝ දෙකක් එළඹැ සිටි කලැ රූපය හැර අරූප පරිග්‍රහය ආරම්භ කෙරේ නම් කමටහනින් පිරිහේ. පඨවි කසින භාවනාවෙහි කී, මගතොට නුපුරුදු පර්‍වතයෙහි වැසි දෙනක මෙනි. එහෙත් සුපරිශුද්ධ රූප පරිග්‍රහ ඇතිව අරූප පරිග්‍රහය පිණිස උත්සාහ වඩන යෝගියාහට කර්‍මස්ථාන වැඩීමට ද, විශේෂ වැඩීමට ද, මහත් බවට ද පැමිණේ. ඒ යෝගාවචර තෙමේ මෙසේ ඵස්සාදීන් ගේ වශයෙන් එළඹ සිටි සතර අරූපස්කන්ධ නාමය යි ද, ඔවුන්ට අරමුණු වූ සතර මහාභූත හා සතර මහාභූත නිසා පවත්නා සූවිසි (24) උපාදාය රූප රූපයයි ද විනිශ්චය කරයි.
මෙසේ අටළොස් (18) ධාතු යැ දොළොස් (12) ආයතන යැ පඤ්ච (5) ස්කන්‍ධ යැ යන සියලු ත්‍රෛභූමක ධර්‍ම කඩුවකින් සමුගුවක් විවෘත කරන්නකු මෙන් ද යමක (දෙබෑ) තල්කඳක් පළන්නකු මෙන් ද නාමය ද, රූපය ද, දෙපරිද්දෙකින් නියම කෙරේ. නාම-රූප මාත්‍රයෙන් මත්තෙහි අන්‍ය වූ සත්ත්‍වයෙක් හෝ පුද්ගලයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ නැතැයි, නිෂ්ඨාවට පැමිණේ.
ඒ යෝගී තෙමේ මෙසේ යථාස්වභාව (ඇතිසැටිය) වශයෙන් නාම-රූප නියම කොට මනාසේ සත්ත්‍ව යැ, පුද්ගල යැ යන මුළාව දුරු කරනු පිණිස, නුමුළා බව්හි සිත පිහිටුවීම පිණිස බොහෝ සූත්‍රාන්ත වශයෙන් ‘මේ ධර්‍ම ස්වභාවය නාම-රූප මාත්‍ර-යක් ම වේ.’ ‘සත්ත්‍වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත්තේය’යි මේ අර්‍ථය සංසන්‍දනය කොට විනිශ්චය කෙරේ.
එයින් කිය
“යථාපි අඞ්ග සම්භාරා - හොති සද්දො රථො ඉති
එවං ඛන්‍ධෙසු සන්තෙසු - හොති සත්තොති සම්මුති”
“අව-යව රැස නිසා - රයයැ යි සදක් වන සේ
රෑ ඈ කඳු ඇති බැවින් - සතොකැ යි වහර පවතී”
තවද “සෙය්‍යථාපි ආවුසො කඨං ච පටිච්ච වල්ලිං ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච තිණං ච පටිච්ච ආකාසො පරිවාරිතො අගාරනෙත්‍වව සඞ්ඛං ගච්ඡති එවමෙව ඛො ආවුසො අඨිං ච නහාරුං ච පටිච්ච මංසඤ්ච පටිච්ච චම්මං ච පටිච්ච ආකාසො පරිවාරිතො රූපන්ත්‍වෙව සඞ්ඛාරං ගච්ඡති”[1]
‘ඇවැත්න! කෘෂ්ඨය නිසා ද, වැල් නිසා ද, මැටි නිසා ද, තණ නිසා ද, අහස පරිවරන ල්දදේ ගේයැ යි ව්‍යවහාර වන්නා සේ ඇට නිසා ද, නහර නිසා ද, මස් නිසා ද, සම නිසා ද, අහස පිරිවරන ලද්දේ ශරීරය මැ යැයි ව්‍යවහාරයට යේ. අනෙකකුදු කියන ලදී.
“දුක්ඛමෙව හි සම්හොති - දුක්ඛං තිඨති චෙති ච
නාඤ්ඤත්‍ර දුක්ඛා සම්හොති - නාඤ්ඤත්‍ර දුක්ඛ නිරුජ්ඣති”
“ලොව දුක ම උපදී, - දුකම පවතී, වැනැසේ,
දුකින් පිට අනු කිසිවක් - නූපදනේ, නො වැනැසේ”
මෙසේ නොයෙක් සිය ගණන් සූත්‍රාන්තයෙන් නාම-රූපම දක්වන ලදී. සත්ත්‍වයෙක් පුද්ගලයෙක් නො දක්වන ලදී. යම්සේ අකුරු - සක් - මැදිරි - රිය ඉස් ආදි අවයව සමූහය එක් ආකාරයෙකින් සිටි කල රථය යන ව්‍යවහාර මාත්‍රය වේ ද පරමාර්‍ථ වශයෙන් එක් එක් අවයවයක් පිරික්සන කල්හි රථයෙක් නම් නැත්තේ ද දැව ආදී ගෘහෝපකරණ එක් ආකාරයකින් අහස පුරා සිටි කලැ ගෙයැ යි ව්‍යවහාර මාත්‍රයෙක් වේද පරමාර්‍ථ වශයෙන් ගෙයෙක් නම් නැත්තේ ද
යම් සේ ඇඟිලි - මහපට ඇඟිලි ආදිය එක් ආකාරයකින් සිටි කල මිට යන ව්‍යවහාර මාත්‍රය වන්නේ ද, දෙණ - තත් ආදියෙහි වීණා යන ව්‍යවහාරය ද, ඇත්-අස් ආදීන්හි සේනා යන ව්‍යවහාරය ද, පවුරු-ගේ-දොරටු ආදියෙහි නුවර යන ව්‍යවහාරය ද, කඳ-අතු-කොළ ආදිය එක් අයුරකින් සිටි කල රුක යන ව්‍යවහාරය ද යම්සේ වේ ද පරමාර්‍ථ වශයෙන් එකී මිට ආදි බැවහට නො වේ ද එසේම පඤ්චොපාදාන ස්කන්‍ධයන් ඇති කල්හි සත්ත්‍ව යැ, පුද්ගල යැ යන ව්‍යවහාර මාත්‍රය වේ. පරමාර්‍ථ වශයෙන් රූපාදී එක - එක ධර්‍මයක් පිරික්සන කළ අස්මි යන මානය ද, අහං (මම) යන ආත්ම වාදය ද ගැනීමට වස්තු වූ කිසි සත්ත්‍වයෙක් නැති. හුදෙක් පරමාර්‍ථ වශයෙන් නාම - රූප මාත්‍රයෙක් ම ඇත්තේයැ යි මෙසේ නුවණින් බලන්නහුගේ දැකීම යථාභූත දර්‍ශන (ඇති සැටි දැකීම) නම් වේ. යමෙක් වනාහි මේ යථාභූත දර්‍ශනය හැරපියා සත්ත්‍වයෙක් ඇතැයි ගනී නම් හෙතෙමේ ඒ ‘සත්ත්වයා ගේ විනාශය හෝ ‘භවයෙන් භවයට යන්නේ යැ’ යන අවිනාශය හෝ අනුදන්නේ යි. අවිනාශය අනුදන්නේ ශාශ්වත දෘෂ්ටියෙහි වැටේ. විනාශය අනුදන්නේ උච්ඡෙද දෘෂ්ටියෙහි වැටේ.
කවර හෙයිනයත්:- කිරි මැ දියැ යි ද, කිරි අනිකෙක දී අනිකෙකැයි ද, නො ගෙන කිරෙහි පරපුර වූ දියෙහි මෙන් ඒ ආත්මයා ගේ පරපුරෙහි වූ අනෙක් ආත්ම භාවයක් නැති හෙයිනි. සත්ත්වයි ශාශ්වතයැ යි ගන්නා හෙතෙම් භවයෙහි නිලීන වේ. සත්ත්‍වයා උච්ඡෙද වේ යැ යි ගන්නේ අතිධාවනය කෙරේ. (යුක්තිය ඉක් ම යේ.)
-
ම:නි: මූලපණ්ණාසක 199 ↑