උපසම්පදා කර්මය.

උපසම්පදා කර්මය බුදු-සස්නෙහි ගරු විනය කර්මයෙකි. එය පැවිදි කිරීම සේ සැම තන්හිම කළ හැකි කර්මයක් නොව සීමාවකදී පමණක් කළ හැකි කර්මයකි. එය මධ්‍යදේශයේ සිදු කරත හොත් “අනුජානාමි භික්ඛවෙ! දසවග්ගෙන වා අතිරෙක දස වග්ගෙන වා ගණෙන උපසම්පාදෙතුං” යි වදාළ පරිදි දස නමක් වූ හෝ දස නමකට අධික වූ හෝ සඞ්ඝයා විසින් සිදු කළ යුතු ය. ප්‍රත්‍යන්ත දේශයෙහි සිදු කරනවා නම් “අනුජානාමි භික්ඛවෙ! සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු විනයධරපඤ්චමෙන ගණෙන උපසම්පාදෙතුං” යි වදාළ පරිදි විනයධරයා පස්වෙනි කොට ඇති ගණයා විසින් හෙවත් පස් නමක්වූ භික්ෂු සඞ්ඝයා විසින් සිදු කළ හැකි ය. ප්‍රත්‍යන්ත ජනපද බුදුන් වහන්සේ විසින් ම නියම කර වදාරා තිබේ.

ඒ මෙසේ ය:-

“පුරත්ථිමාය දිසාය කජඞ්ගලං නාම නිගමො, තස්සා පරෙන මහාසාලා, තතො’පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. පුරත්ථිමදක්ඛිණාය දිසාය සලලවතී නාම නදී, තතො ‘පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. දක්ඛිණාය දිසාය සෙතකණ්ණිකං නාම නිගමො, තතො” පරා පච්චන්තිමා ජනපදා ඔරතො මජ්ඣෙ. පච්ඡිමාය දිසාය ථූනං නාම බ්‍රාහ්මණ ගාමො, තතො’ පරා පච්චන්තිමා ජනපදා ඔරතො මජ්ඣෙ. උත්තරාය දිසාය උසීරද්ධජො නාම පබ්බතො, තතො’පරා පච්චන්තිමා ජනපදා ඔරතො මජ්ඣෙ.

මධ්‍ය දේශයේ සිට කථාකරන කල්හි නැගෙන හිරින් කජඞ්ගල නම් නියම් ගමෙන් ඔබ ද, ගිනි කොණින් සලලවතී නම් ගඞ්ගාවෙන් ඔබද, දකුණෙන් සේතකණ්ණික නම් නියම් ගමෙන් ඔබ ද, බස්නාහිරින් ථූන නම් බ්‍රාහ්මණ ගමින් ඔබද, උතුරෙන් උසීරද්ධජ නම් පර්වතයෙන් ඔබ ද, ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. අප රට ද ප්‍රත්‍යන්ත ජනපදයන්ට අයත් බැවින් මෙහි පස්නමකට ද උපසම්පදා කර්මය කළ හැකි ය. උපසම්පදාවක් කිරීමේදී බොහෝ වැඩ කරන්නට ඇත්තේ කර්මාචාර්යවරයාට ය. උපසම්පදාපේක්ෂකයා සීමාවට පැමිණි කල්හි පළමුවෙන් කළ යුත්තේ උපසම්පදාපේක්ෂකයාගේ හා උපාධ්‍යාචාර්යයන් වහන්සේගේ නම් යොදා කර්මවාක්‍යය කීමට අපහසු නම්, උපසම්පදාපේක්ෂකයාට නාග කියා ද උපාධ්‍යාචාර්යයන් වහන්සේට තිස්ස කියා ද නම් සම්මත කිරීම ය. එය කර්මාචාර්යවරයා විසින් මෙසේ කළ යුතු ය.

මේ උපසම්පදාපේක්ෂකයාගේ පුරාණ නාමය අස්කොට ඔහුට නාග යන නාමය ද, උපසම්පදාපේක්ෂකයාගේ උපාධ්‍යාචාර්යයන් වහන්සේගේ පුරාණ නාමය අස් කොට උන් වහන්සේට තිස්ස යන නාමය ද කර්මවාක්‍යය කීමේ පහසුව සඳහා සම්මත කරමි. ඒ බව උපසම්පදාපේක්ෂකයා විසින් හා උපාධ්‍යාචාර්යයන් වහන්සේ විසින් ද, මහා සඞ්ඝයා වහන්සේ විසින් ද දත යුත්තේ ය.

නාම සම්මුතියෙන් පසු කර්මාචාර්යයන් වහන්සේ විසින් උපසම්පදාපේක්ෂකයාට මෙසේ කිය යුතු ය.

“පඨමං උපජ්ඣං ගාහාපෙතබ්බො” යි ලෝකනාථයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් ‘සංසාර සාගරයෙන් එතර වී නිවන් පුර පැමිණෙනු රිසියෙන් උපසම්පදාව ලැබීමට පැමිණ සිටින සාමණේරය! යුෂ්මතා විසින් පළමු කොට උපාධ්‍යාය ග්‍රහණය කළ යුතු ය.

මෙසේ කී කල්හි උපසම්පදාපේක්ෂකයා විසින් උපාධ්‍යායන් වහන්සේ ඉදිරියෙහි උක්කුටිකව හිඳ “උපජ්ඣායො මෙ භන්තෙ හොහි” යන වැකිය තෙවරක් කිය යුතු ය. උපාධ්‍යායයන් වහන්සේ විසින් “පාසාදිකෙන සම්පාදෙහි” යි කියා එය පිළිගත යුතු ය.

ඉක්බිති කර්මාචාර්යවරයා විසින් මෙසේ කිය යුතු ය. “පින්වත් සාමණේරය! “උපජ්ඣාං ගාහාපෙත්වා පත්තචීවරං ආචික්ඛිතබ්බං” යි ලෝකස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති බැවින් දැන් යුෂ්මතාට පා-සිවුරු පිළිබඳ ශාසනික ව්‍යවහාරය දැනගනු පිණිස එය කියන්නෙමි. “අයං තෙ පත්තො” පින්වත් සාමණේරය! කාලවර්ණ වූ මේ මණ්ඩලාකාර භාජනය යුෂ්මතාගේ පාත්‍රය නම් වන්නේ ය. ‘අයං සංඝාටි’ කඩ සපා දෙපොට කොට මසා පඬු පොවන ලද යුෂ්මතාගේ කරෙහි ඇති මේ සිවුර ශාසන ව්‍යවහාරයෙන් සංඝාටි නම් වන්නේ ය. “අයං උත්තරාසංගො” කඩ කපා එක් පටින් මසා පඬු පොවා ඇති යුෂ්මතාගේ කයෙහි ඇති මේ චීවරය ශාසනව්‍යවහාරයෙන් උත්තරාසංග නම් වන්නේ ය. “අයං අන්තරවාසකො” යුෂ්මතා හැඳ සිටින්නා වූ මේ චීවරය ශාසන ව්‍යවහාරයෙන් අන්තරවාසක නම් වන්නේ ය.

‘ගච්ඡ: අමුම්හි ඔකාසෙ තිට්ඨාහි. පින්වත් සාමණේරය! “අනුජානාමි භික්ඛවෙ! එකමන්තං අනුසාසිත්වා සඞ්ඝ මජ්ඣෙ අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතුං” යනුවෙන් සඞ්ඝයා ගෙන් බැහැර කොට යම් කිසි තැනකදී උපසම්පදාපේක්ෂකයාට අනුශාසනා කළ යුතුය යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් ද, මේ සඞ්ඝමධ්‍යයෙහි යුෂ්මතාට අනුශාසනය කිරීම නුසුදුසු බැවින් ද මෙයින් බැහැරට ගොස් අර පෙනෙන තැන සිටිනු මැනවි.”

මෙසේ කී කල්හි උපසම්පදාපේක්ෂකයා නැඟිට මහා සඞ්ඝයා වහන්සේට පිටි නො පා, ඇඳිලි බැඳ ගෙනම මඳක් දුර ගොස් සිටිය යුතු ය. කර්මාචාර්යවරයා විසින් එහි ගොස් උපසම්පදාපේක්ෂකයාට අනුශාසනය කළ යුතු ය. “න භික්ඛවෙ! අසම්මතෙන අනුසාසිතබ්බො. යො අනුසාසෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු වදාළ බැවින් සම්මුතිය නො ලබා අනුශාසනයට නො යා යුතු ය. දැන් කර්මාචාර්යවරයා විසින් මතු දැක්වෙන වැකිය තමා විසින්ම තමා සම්මත කර ගත යුතු ය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, නාගො ආයස්මතො තිස්සස්ස උපසම්පදාපෙක්ඛො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං නාගං අනුසාසෙය්‍යං.

ඉක්බිති සඞ්ඝමධ්‍යයෙන් නැගිට උපසම්පදාපේක්ෂකයා සමීපයට ගොස්, සිටගෙන ම මෙසේ අනුශාසනය කළ යුතු ය.

සුණසි නාග! අය තෙ සච්චකාලො, භූතකාලො, යං ජාතං තං සඞ්ඝමජ්ඣෙ පුච්ඡන්තෙ සන්තං අත්ථිති වත්තබ්බං. අසන්තං නත්ථිති වත්තබ්බං. මා ඛො විත්‍ථාසි, මා ඛො මඞ්කු අහොසි.

‘සංසාරසාගරය තරණය කරනු වස් බුදු සස්නට දිවි පුදා සිටින නාග නම් වූ සාමණේරය! අතිදුර්ලභ වූ මේ සර්වඥ සාසනයෙහි අධිශීලසඞ්ඛ්‍යාත අත්‍යුත්තම උපසම්පදා ශීලය ලබන්නට යන මේ කාලය, අසන දෙය සැඟවීමක් නො කොට, අවඞ්කව සත්‍යය ම ප්‍රකාශ කිරීමට කාලය ය, කාරණය සඟවන්නට තැත් නො කොට, ඇති සැටියට ම ප්‍රකාශ කිරීමේ කාලයය, තොපගේ ශරීරයෙහි යම් කුෂ්ඨ ගණ්ඩාදි රෝගයක් ඇත්තේ නම්, එය සඟමැද විචාරන කල්හි ඇති දෙය එසේ ම ඇතය යි කිය යුතු ය. නැති දෙය නැතය යි කිය යුතු ය. සඟමැද ප්‍රශ්න කරන කල්හි මාහට නපුරක් කිරීමට විචාරතැ යි බියෙන් නො තැති ගනුව. නින්දා කරනු පිණිස නැති දේවල් ඇති දැයි විචාරති යි සිතා නො සතුටුව මුහුණ නො හකුළුවා ගත යුතු ය.’

“එවං තං පුච්ඡිස්සන්ති, සන්ති තෙ එවරූපා ආබාධා, කුට්ඨං, ගණ්ඩො, කිලාසො, සොසො, අපමාරො, මනුස්සොසි, පුරිසොසි, භුජිස්සොසි, අනණොසි, නසි රාජභටො, අනුඤ්ඤාතොසි මාතා පිතූහි, පරිපුණ්ණවීසතිවස්සොසි, පරිපුණ්ණං තෙ පත්තචීවරං, කිං නාමොසි, කො නාමො තෙ උපජ්ඣායොති.”

‘සුපින්වත් සාමණේරය! “අනුජානාමි භික්ඛවෙ! උපසම්පාදෙන්තෙන තෙරස අන්තරායිකෙ ධම්මෙ පුච්ඡිතුං”" යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් උපසම්පදාපේක්ෂකයා ගෙන් තෙළෙස් අන්තරායික ධර්මයන් විචාරන්නට අනුදැන වදාරා ඇති බැවින්, උපසම්පදා කිරීමට පූර්වභාගය වූ මේ කාලයෙහි සඟ මැදදී තොප අතින් මෙසේ විචාරන්නාහු ය. යුෂ්මතා ගේ ශරීරයෙහි ලාදුරු-පරංගි-කඩුවේගං ආදි නම් වලින් කියැවෙන කුෂ්ඨරෝගයන් අතුරෙන් යම් කිසි රෝගයක් ඇත්තේ ද: දොඹ ගෙඩි-දෙහි ගෙඩි මෙන් ශරීරයෙහි තැන් තැන්වල හටගන්නා වූ ගණ්ඩ රෝගය ඇත්තේ ද: සමෙහි පැතිර ශරීරය විරූප කරන්නාවූ සුදු කබර රෝගය ඇත්තේ ද: ක්‍රමයෙන් ශාරීරික සප්තධාතූන් ක්ෂය කර දිවි නසන්නා වූ ක්ෂය රෝගය ඇත්තේ ද, සිටි සැටියේ සිහිසන් නැති වී බිම ඇද වැටෙන අපස්මාර රෝගය ඇත්තේ ද, ඔබ මනුෂ්‍යයෙක් ද, පුරුෂයෙක් ද, නිදහස් කෙනෙක් ද, ණය නැතියෙක් ද, රාජ භටයෙක් නොවන්නෙහිද, මා පියන් විසින් අනුදක්නා ලද්දෙහි ද, පිරුණු විසිවස් වයස ඇත්තෙහි ද, ඔබට පා-සිවුරු සම්පූර්ණ ද, ඔබගේ නම කුමක් ද, ඔබ උපාධ්‍යායයන් වහන්සේගේ නම කුමක් ද? මෙසේ සඟ මැද දී විචාරන්නාහ.

මෙසේ අනුශාසනය කොට උපසම්පදාපේක්ෂකයාට එහි ම සිටින්නට හැර කර්මාචාර්යවරයා සඟමැදට ගොස්-

“සුණාතු මෙ භන්තෙ සංඝො, නාගො ආයස්මතො තිස්සස්ස උපසම්පදාපෙක්ඛො අනුසිට්ඨො සො මයා යදි සංඝස්ස පත්තල්ලං නාගො ආගච්ඡෙය්‍ය”"

යන වාක්‍යය කියා සංඝයාගෙන් අවසර ගෙන උපසම්පදාපේක්ෂකයා සඟමැදට ගෙන්වා ගත යුතු ය. ඉක්බිති “න භික්ඛවෙ! අයාචිතෙන උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි වදාරා ඇති බැවින් උපසම්පදාපේක්ෂකයා ලවා උපසම්පදාව ඉල්ල විය යුතු ය. මේ අවස්ථාවේදී උපසම්පදාපේක්ෂකයා විසින් සිවුරු ඒකාංස කොට පොරවා භික්ෂූන් වහන්සේගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ-

“සංඝං භන්තෙ උපසම්පදං යාචාමි, උල්ලුම්පතු මං භන්තෙ සඞ්ඝො අනුකම්පං උපාදාය. දුතියම්පි භන්තෙ සඞ්ඝං උපසම්පදං යාචාමි, උල්ලුම්පතු මං භන්තෙ සඞ්ඝො අනුකම්පං උපාදාය. තතියම්පි භන්තෙ සඞ්ඝං උපසම්පදං යාචාමි, උල්ලුම්පතු මං භණ්තෙ සඞ්ඝො අනුකම්පං උපාදාය.” යන වාක්‍යය කියා උපසම්පදාව ඉල්ලිය යුතු ය.

ඉක්බිති කර්මාචාර්යයන් වහන්සේ විසින් “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො, අයං නාගො ආයස්මතො තිස්සස්ස උපසම්පදාපෙක්ඛො යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං නාගං අන්තරායිකෙ ධම්මෙ පුච්ඡෙය්‍යං” යන කර්මවාක්‍යයෙන් අන්තරායික ධර්ම විචාරීමේ සම්මුතිය ලබා ගෙන මතු දැක්වෙන පරිදි අන්තරායික ධර්ම විචාළ යුතු ය.

සුණසි නාග! අයං තෙ සච්චකාලො, භූතකාලො, යං ජාතං තං පුච්ඡාමි. සන්තං අත්ථිති වත්තබ්බං. අසන්තං නත්ථිති වත්තබ්බං. සන්ති තෙ එවරූපා ආබාධා කුට්ඨං? (නත්ථි භන්තෙ) ගණ්ඩො? (නත්ථි භන්තෙ) කිලාසො? (නත්ථි භන්තෙ) සොසො? (නත්ථි භන්තෙ) අපමාරො? (නත්ථි භන්තෙ) මනුස්සොසි? (ආම භන්තෙ) පුරිසොසි? (ආම භන්තෙ) භුජිස්සොසි? (ආම භන්තෙ) අනණොසි? (ආම භන්තෙ) නසි රාජාභටො? (ආම භන්තෙ) අනුඤ්ඤාතොසි මාතාපිතුහි? (ආම භන්තෙ) පරිපුණ්ණ වීසති වස්සොසි? (ආම භන්තෙ) පරිපුණ්ණං තෙ පත්තචීවරං? (ආම භන්තෙ) කිං නාමොසි? (අහං භන්තෙ නාගො නාම) කො නාමො තෙ උපජ්ඣායො? (උපජ්ඣායො මෙ භන්තෙ ආයස්මා තිස්සත්ථෙරො නාම) අන්තරායික ධර්ම විචාරීමෙන් පසු ඥප්ති චතුර්ථ කර්ම වාක්‍යයෙන් උපසම්පදා කළ යුතු ය.