පැවිදි කිරීමේ වයස

“න භික්ඛවෙ! ඌනපණ්ණරසවස්සො දාරකො පබ්බාජෙතබ්බො. යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වරක් පසළොස් අවුරුද්දකට අඩු වයස් ඇති කුලදරුවන් පැවිදි නො කළ යුතු බව වදාළ සේක.

පසු කාලයේදී ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ උපස්ථායක වූ ඉතා සැදැහැවත් පවුලක් අහිවාතක රෝගයෙන් කාලක්‍රියා කළෝ ය. ඒ පවුලේ ළදරුවෝ දෙදෙනෙක් ඉතිරි වූහ. භික්ෂූන් දක්නා කල්හි පළමු පුරුද්ද නිසා ඔවුහු උන්වහන්සේලා වෙත දුව එති. භික්ෂූහු ඔවුන් එළවා ගනිති. භික්ෂූන්ගෙන් අනුකම්පාවක් නො ලබන්නා වූ ඒ දරුවෝ හඬති. ඔවුන්ගේ දුක ගැන ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ සිත උණු වී, “බුදුන් වහන්සේ විසින් පසළොස් අවුරුද්දට ආයු අඩු දරුවන් පැවිදි නො කරන සේ සිකපද පනවා ඇත්තේ ය. මේ දරුවන් විනාශ නොවීමට කළ යුත්තේ කුමක් දැ”යි සිතා, ඒ කාරණය බුදුන් වහන්සේට සැල කළහ.

එකල්හි තථාගතයන් වහන්සේ ‘ආනන්දය! ඒ දරුවෝ කවුඩන් එළවීමටවත් සමත් වන්නාහුදැ’යි විචාරා “එසේ ය” යි පිළිවදන් දුන් කල්හි භික්ෂූන් අමතා, “අනුජානාමි භික්ඛවෙ! ඌනපණ්ණරසවස්සං කාකුඩ්ඩෙපකං පබ්බාජෙතුජං” යනුවෙන් කවුඩන් පළවා හැරීමට සමත් පහළොස් අවුරුදු වයසට නො පැමිණි දරුවන් ද පැවිදි කිරීමට අනුදැන වදාළ සේක. හදිසි අවස්ථාවේදී ඒ කුලදරුවන් දෙදෙනා විනාශ නො වනු පිණිස කවුඩන් එළවීමට සමත් දරුවන් පැවිදි කිරීමට අනුදැන වදාළේ වී නමුත් බුදුන් වහන්සේගේ අදහස සැටියට සැලකිය යුත්තේ වයසින් පසළොස් වස නො පිරුණු කුලදරුවන් පැවිද්දට නුසුදුසු බව ය. එබැවින් විශේෂ කරුණක් සඳහා මිස, පසළොස් අවුරුදු වයස නො පිරුණු කුලදරුවන් පැවිදි නො කළ යුතු ය. වයස අවුරුදු පසළොසටත් විස්සටත් අතර කාලය කුලදරුවන් පැවිදි කිරීමට ඉතා සුදුසු කාලය සැටියට සැලකිය යුතු ය. වයස් ගත වී පැවිදි වන්නවුන්ට පැවිද්දට සුදුසු වන සැටියට සිත-කය සකස් කර ගැනීම අපහසු ය. එබැවින් බුදුන් වහන්සේ විසින්-

“පඤ්චහි ධම්මේහි සමන්නාගතො දුල්ලභො බුඩ්ඪපබ්බජිතො. කතමෙහි පඤ්චහි? දුල්ලභො භික්ඛවෙ! බුඩ්ඪපබ්බජිතො සුවචො. දුල්ලභො සුග්ගහිතගාහී. දුල්ලභො පදක්ඛිණග්ගාහී. දුල්ලභො ධම්මකථිකො. දුල්ලභො විනයධරො.”

යනුවෙන් ධර්මපසකින් යුක්ත බුඩ්ඪපබ්බජිතයන් දුර්ලභ බව වදාරා තිබේ. “මහණෙනි! මේ කරුණු පසින් යුක්ත බුඩ්ඪපබ්බජිතයෙක් දුර්ලභය. කවර කරුණු පසකින් ද යත්? මහණෙනි! සුවච බුඩ්ඪපබ්බජිතයෙක් දුර්ලභය, ගුරුන් වෙතින් මැනවින් උගන්නාවූ බුඩ්ඪපබ්බජිතයෙක් දුර්ලභය, ගුරුන්ගේ අනුශාසනය දකුණට ගන්නා බුඩ්ඪපබ්බජිතයෙක් දුර්ලභය, ධර්මකථික බුඩ්ඪපබ්බජිතයෙක් දුර්ලභය, විනයධර බුඩ්ඪපබ්බජිතයෙක් දුර්ලභය” යනු එහි තේරුම යි. බුදුන් වහන්සේ විසින් තවත් සූත්‍රයකදී ද “දුල්ලභො ආකප්පසම්පන්නො” යි ආකල්ප - සම්පත්තිය ඇති බුඩ්ඪපබ්බජිතයන් දුර්ලභ බව ද වදාරා ඇත්තේ ය.

ධනවත් බව, උගත් බව, කුලවත් බව යන මේවා පැවිද්දට සුදුසුකම් නුසුදුසුකම් බැලීමේ දී සැලකිය යුතු බවක් බුද්ධදේශනයෙන් නො පෙනේ. ඉහත දැක්වුණු ප්‍රව්‍රජ්‍යා දෝෂයන්ගෙන් මුක්ත වේ නම්, දුප්පත්-පොහොසත් උගත්-නූගත් කවුරුත් පැවිද්දට සුදුස්සෝ ය.

“යෙභුය්‍යෙන හි කත්තියකුලතො පබ්බජිතා ජාතිං නිස්සාය මානං කරොන්ති. බ්‍රාහ්මණකුලා පබ්බජිතා මන්තෙ නිස්සාය මානං කරොන්ති. හීනජච්චකුලා පබ්බජිතා අත්තනො විජාතිතාය පතිට්ඨාතුං න සක්කොන්ති. ගහපතිදාරකා පන කච්ඡෙහි සෙදං මුඤ්චන්තෙහි පිට්ඨියා ලොණං පුප්ඵමානාය භූමිං කසිත්වා නිහතමානදප්පා හොන්ති. තෙ පබ්බජිත්වා මානං වා දප්පං වා අකත්වා බුද්ධවචනං උග්ගහෙත්වා විපස්සනාය කම්මං කරොන්තා සක්කොන්ති අරහත්තෙ පතිට්ඨාතුං.”

යන චූලහත්ථිපදොපම සූත්‍ර අටුවා පාඨය ද මෙහි ලා සැලකිය යුතු ය.