නිඃශ්‍රය සමාදානය

star_outline

උපාධ්‍යායයන් වහන්සේ අපවත් වීම් ආදී යම්කිසි කරුණකින් නිඃශ්‍රය මුක්තක නො වූ භික්ෂුවට, උපාධ්‍යායයාගේ නිඃශ්‍රය නැතිවුවහොත්, ඒ භික්ෂුව පරිසූපස්ථායක බහුශ්‍රැත ස්ථවිර නමකගෙන් නිඃශ්‍රය ග්‍රහණය කොට විසිය යුතු ය, නිඃශ්‍රය ගන්නා වූ භික්ෂුව විසින් නිඃශ්‍රයාචාර්යවරයා වෙත එළඹ, සිවුරු ඒකාංසකොට පෙරවා, උක්කුටියෙන් හිඳ වැඳගෙන “ආචාරියො මෙ භන්තෙ හොහි. ආයස්මතො නිස්සාය වච්ඡාමි” යන වැකිය තුන්වරක් කීමෙන් නිස ගත යුතු ය. නිඃශ්‍රයාචාර්යයා විසින් “පාසාදිකෙන සම්පාදෙථ” යි කියා එය පිළිගත යුතු ය. සාහු, ලහු, ඔපායිකං, පතිරූපං යන වචන ද ඒ සඳහා සුදුසු ය.

වස් බොහෝ ගණනක් වී නිස මිදීමට තරම් උගත් කමක් නැත්තා වූ භික්ෂුව, නිස ගැනීමට වැඩිමහල්ලකු සොයා ගත හැකි නො වේ නම්, තමාට බාලවූ පරිසූපස්ථායක බහුශ්‍රැතයකුගෙන් නිස ගත යුතු ය. තමාට බාල වූ ද ගුරුවරයාට වැඳිය යුතු ය. එහෙත් බාලයකුට “භන්තෙ” යන වචනය ව්‍යවහාර නො කළ යුතු ය. වැඩිමහලු භික්ෂුවක් විසින් බාල භික්ෂුවකගෙන් නිස ගැනීමේදී නිඃශ්‍රයාචාර්යවරයා ඉදිරියේ සිවුරු ඒකාංසකොට පෙරවා උක්කුටිකයෙන් හිඳ වැඳ-ගෙන “ආචාරියො මෙ ආවුසො හොහි. ආය්සමතො නිස්සාය වච්ඡාමි” යි තෙවරක් කිය යුතු ය. ගම් වැදීමට විචාරන කල්හි ද උක්කුටිකයෙන් හිඳ වැඳගෙන “ගාමප්පවෙසනං ආපුච්ඡාමි ආචරිය” යි කිය යුතු ය. පැන විචාරීමේදී ද එසේ පිළිපැදිය යුතු ය.

උපාධ්‍යාචාර්ය, නිඃශ්‍රයාචාර්ය දෙදෙනාගෙන් උපාධ්‍යාචාර්යවරයා ප්‍රධාන වේ. නිස ගත යුත්තේ උපාධ්‍යාචාර්යවරයාගෙන් වෙන් වූ අවස්ථාවලදී ය. උපාධ්‍යාචාර්යවරයා අන් පෙදෙසක වෙසෙන අවස්ථාවක අන් තෙර කෙනෙකුන්ගෙන් නිස ගෙන වෙසෙන කල්හි, නැවත උපාධ්‍යාචාර්යවරයා එහි පැමිණියහොත් අන්තේවාසිකයා විසින් උපාධ්‍යායයා දුටු කෙණෙහි ගන්නා ලද නිස සන්සිඳෙයි. (අහෝසි වෙයි) උපාධ්‍යාචාර්යවරයා නැවත ගිය හොත්, පළමු ගත් නිස අභාවයට ගිය බැවින් නැවතතත් නිස ගත යුතු ය. උපසම්පදා වීමේදී උපාධ්‍යාය ග්‍රහණය කළ තැනැත්තාට එය සෑම කල්හි ම පවත්නේ ය. නැවත ගැනීමක් නුවුවමනාය. නිස වනාහි බිඳුණු බිඳුණු අවස්ථාවලදී නැවත නැවත ගත යුතු ය.