උපසම්පදාපේක්ෂකයාගේ වයස

උපසම්පදාපේක්ෂකයාගේ වයස විශේෂයෙන් සැලකිය යුත්තකි. “යො පන භික්ඛු ජානං ඌනවීසති වස්සං පුග්ගලං උපසම්පාදෙය්‍ය සො ච පුග්ගලො අනුපසම්පන්නො. තෙච භික්ඛු ගාරය්හා ඉදං තස්මිං පාචිත්තියං” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් විසි වසක් නො පිරුණු පුද්ගලයකු උපසම්පදා කරන උපාධ්‍යාචාර්යවරයාට පචිති ඇවැතක් පනවා තිබේ. අනිකුත් නුසුදුස්සන් උපසම්පදා කිරීමේ වරදට දුකුළා ඇවත මිස පචිති ඇවතක් පනවා නැත. එයින් උපසම්පදාපේක්ෂකයාගේ වයස විශේෂයෙන්ම සැලකිය යුතු බව කීමු. උපසම්පදාපේක්ෂකයාගේ වයස ගණන් ගත යුත්තේ ප්‍රසූතියේ පටන් නොව ප්‍රතිසන්ධියේ පටන් ය. ඒ බව:-

“යං භික්ඛවෙ! මාතුකුච්ඡිස්මිං පඨමං චිත්තං උප්පන්නං. පඨමං විඤ්ඤාණං පාතුභූතං. තදුපාදාය සාවස්ස ජාති. අනුජානාමි භික්ඛවෙ ගබ්භවීසං උපසම්පාදෙතුං”

යන විනය දේශනයෙන් දත යුතු ය. මවුකුස දස මසක් විසූ කෙනකු උත්පත්තියෙන් එකුන්විසි වසකුත් දෙමසක් ගත වූ කල්හි උපසම්පදා කළ හැකි ය. නව මසක් මවුකුස විසූ තැනැත්තා උත්පත්තියෙන් එකුන් විසි වසකුත් තෙමසක් ගතවූ පසු උපසම්පදා කළ හැකි ය. විසිවස් වයස නො පිරුණු කෙනකු පිරුණු කෙනකැයි සිතා වැරදීමකින් උපසම්පදා කිරීමෙන් ඇවැත් නො වේ. එහෙත් වයස වරදවා තේරුම් ගෙන සිටි උපසම්පදාපේක්ෂකයාට උපසම්පදාව නොපිහිටයි. ඔහු දසවස් පිරුණු පසු උපාධ්‍යාය වී ගෝලයකු උපසම්පදා කළ හොත්, ඔහු හැර කර්මයට සෑහෙන පමණට භික්ෂූහු එහි වූවාහු නම් ගෝලයාට උපසම්පදාව පිහිටයි. විසිවස් වයස නො පිරී උපසම්පදා වූ බව නො දැන, මහණකම් කරන්නා වූ ඒ තැනැත්තාට එසේ විසීම ස්වර්ග- මෝක්ෂ දෙකට අන්තරායකර නො වේ. මහළු වයසට පැමිණි පසු වුව ද තමා අඩුවයසින් උපසම්පදා වූ බව නිසැකව දැනගත හොත් නැවත උපසම්පදා විය යුතු ය. දැන ගැනීමෙන් පසු උපසම්පන්නයකු සැටියට පෙනී සිටීම වඤ්චාවක් බැවින් ඔහුට එය අන්තරායකර වේ.

“අනාපත්ති ඌනවීසතිවස්සං පරිපුණ්ණවීසති සඤ්ඤීති එත්ථ කිඤ්චාපි උපසම්පාදෙන්තස්ස අනාපත්ති පුග්ගලො පන අනුපසම්පන්නොව හොති. සචෙ පන සො දසවස්සච්චයෙන අඤ්ඤං උපසම්පාදෙති. තං චෙ මුඤ්චිත්වා ගණො පූරති. සුපසම්පන්නො සො පි ච යාව න ජානාති. තාවස්ස නෙව සග්ගන්තරායො න මොක්ඛන්තරායො. ඤත්වා පන පුන උපසම්පජ්ජිතබ්බං” යනු විනය අටුවායි.