විනය කර්ම

නිඃශ්‍රය සතර

සසර බිය දැක නිවන් පසක් කරනු රිසියෙන් බුදුසසුන් වන් ආයුෂ්මතාණෙනි! පැවිදි ජීවිතය පවත්වාගනු සඳහා මහා කාරුණිකයන් වහන්සේ අනුදැන වදාරා ඇති නිඃශ්‍රය සතර අසනු මැනවි.

(1) “පිණ්ඩියාලොප භොජනං නිස්සාය පබ්බජ්ජා. තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙක ලාභො සඞ්ඝභත්තං. උද්දෙසභත්තං, නිමන්තණං, සලාකභත්තං, පක්ඛිකං, උපොසථිකං, පාටිපදිකං.”

ඇවැත්නි! මේ පැවිද්ද පාත්‍රය ගෙන ගෙදොරක් පාසා ඇවිද පිඩ පිඩ බැගින් ලබාගන්නා භෝජනය නිසා පවත්නේ ය. තොප විසින් පිණ්ඩියාලෝප භෝජනයෙන් දිවිපැවැත්වීමෙහි දිවිහිමියෙන් උත්සාහ කළ යුතු ය. සකල සඞ්ඝයා හට දෙන දානයය, දෙතුන් නම බැගින් සඟින් නිමන්ත්‍රණය කොට දෙන දානයය, පෞද්ගලික වශයෙන් නිමන්ත්‍රණය කොට දෙන දානයය, සලාක දානයය, පක්ෂයකට වර බැගින් දෙන දානය ය, පොහෝදිනයෙහි දෙන දානයය, පෑළවිය දිනයෙහි දෙන දානයය යන මේවා අතිරේක ලාභ වශයෙන් පිළිගත යුතු ය.

(2) “පංසුකූල චීවරං නිස්සාය පබ්බජ්ජා, තත්‍ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙක ලාභො ඛොමං කප්පාසිකං. කොසෙය්‍යං. කම්බලං. සාණං. භඞ්ගං.”

පැවිද්ද පාංසුකූල චීවරය නිසා පවත්නේ ය. ඔබ විසින් පාංසුකූල චීවරයෙන් දිවි පැවැත්මෙහි දිවි හිමියෙන් උත්සාහ කළ යුතු ය. පූර්වකෘත කුශලානුභාවයෙන් ඔබට කොමු පිළිය, කපු පිළිය, පට පිළිය, පූර්වකෘත කුශලානුභාවයෙන් ඔබට කොමු පිළිය, කපු පිළිය, පට පිළිය, කම්බිලිය, සණ පිළිය, මුසු පිළිය යන මේවා ලැබෙතහොත් අතිරේක ලාභ වශයෙන් පරිභෝග කළ යුතු ය.

(3) “රුක්ඛමූලසෙනාසනං නිස්සාය පබ්බජ්ජා. තත්‍ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙක ලාභො විහාරො. අඩ්ඪයොගො. පාසාදො. හම්මියං. ගුහා”

පැවිද්ද වෘක්ෂමූල සේනාසනය නිසා පවත්නේ ය. ඔබ විසින් වෘක්ෂමූල සේනාසනය ඇසුරු කරමින් දිවිපැවැත්මෙහි දිවි හිමියෙන් උත්සාහ කළ යුතු ය. ඉදින් පූර්ව කෘත කුශලාලුභාවයෙන් ලැබෙතොත් දෙ-පල ඇති ගෙවල් ය, එක් පල ඇති ගෙවල් ය, සතර පල ඇති ගෙවල් ය, සොල්දර ගෙවල්ය, ගුහාය යන මේවා ද පරිභෝග කළ යුතු ය.

(4) “පූතිමුත්තභෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා. තත්‍ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො. අතිරෙක ලාභො සප්පි. නවනීතං තෙලං. මධු. ඵානිතං”

පැවිද්ද අරළු ගෝමුත්‍රයෙහි ලා සම්පාදනය කරන පූතිමුත්‍ර භෛෂජ්‍යය නිසා පවත්නේ ය. පූතිමූත්‍ර භෛෂජ්‍යයෙන් දිවි පැවැත්වීමෙහි ඔබ විසින් දිවි හිමියෙන් උත්සාහ කළ යුතු ය. ඉදින් ඔබට පූර්ව කෘත කුශලානුභාවයෙන් ලැබෙතොත් ගිතෙල්ය, වෙඬරු ය, තලතෙල්ය, මී පැණිය, උක් සකුරුය යන මේවා අතිරේක ලාභ වශයෙන් පරිභෝග කළ යුතු ය.