ඉහත දැක්වූ පණ්ඩකාදි පුද්ගලයෝ එකොළොස් දෙනය, පාරාජිකාවට පත් තැනැත්තාය, විසිවයස නො පිරුනු තැනැත්තාය යන තෙළෙස් දෙනා උපසම්පදාවට අභව්‍යයෝ ය. උපසම්පදා කර්මය කරන ලදුයේ ද ඔවුනට උපසම්පදාව නො පිහිටන්නේ ය. සෙසු දොස් ඇතියන් උපසම්පදා කළහොත් කාරක සඞ්ඝයාට දුකුළා ඇවැත් වේ. උපසම්පදාව ඔවුන්ට පිහිටයි. පැවිද්දට නුසුදුස්සන් වශයෙන් දක්වා ඇති සැම දෙනාම උපසම්පදාවට ද නුසුදුස්සෝ ය. එහෙත් හත්ථච්ඡින්නාදීන් උපසම්පදා කළහොත් ඔවුනට උපසම්පදාව පිහිටන්නේ ය. එයින් කාරක සඞ්ඝයාට හා ආචාර්යෝපාධ්‍යායයන්ට ඇවැත් වේ. එහෙයින් සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි “යෙසං ච පබ්බජ්ජා පටික්ඛිත්තා උපසම්පදාපි තෙසං පටික්ඛිත්තා ව. සචෙ පන සඞ්ඝො උපසම්පාදෙති සබ්බෙපි හත්ථච්ඡින්නාදයො සුවුපසම්පන්නා, කාරකසඞ්ඝො පන ආචාරියුපජ්ඣායා ච ආපත්තිතො න මුච්චති” යි කීහ.