උපාධ්‍යාය වීමට සුදුසු භික්ෂූන් වහන්සේ

star_outline

උපාධ්‍යාය වී ගෝලයන් මහණ කිරීමට හා උපසම්පදා කිරීමට සියල්ලෝ සුදුස්සෝ නො වෙති. සුදුසුකම් නැතිව උපාධ්‍යාය වී ගෝලයන් මහණ කරන උපසම්පදා කරන නිස දෙන භික්ෂුවට දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ! බාලෙන අබ්‍යත්තෙන උපසම්පාදෙතබ්බො. අනුජානාමි භික්ඛවෙ! බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙක දසවස්සෙන වා උපසම්පාදෙතුං” යනු බුද්ධ වචනයි.

“මහණෙනි! බාලවූ අව්‍යක්ත වූ භික්ෂුව විසින් උපසම්පදා නො කළ යුතු ය. මහණෙනි! දසවස් ඇත්තාවූ ද, දසයකට අධික වස් ඇත්තා වූ ද, ව්‍යක්ත් වූ ද, ප්‍රතිබල වූ ද භික්ෂුව විසින් උපසම්පදා කිරීම අනු දනිමිය, යනු එහි තේරුම ය.

උපාධ්‍යාය වීමට සුදුසු භික්ෂූන් වහන්සේ ‘පරිසුපස්ථායක බහුශ්‍රැත’ නම් වෙති, පරිසූපස්ථායක බහුශ්‍රැතයාගේ අඞ්ග මෙසේ ය:-

විනයෙන් භික්ෂු භික්ෂුණී විභඞ්ග දෙක ප්‍රගුණ වීමය, කර්මාකර්ම විනිශ්චය දැන ගැනීමය, වත්තක්ඛන්ධකය දැන ගැනීමය, මජ්ඣිම නිකායයෙන් මූලපණ්ණාසකය හෝ දීඝනිකායයෙන් මහාවර්ගය හෝ සංයුක්ත නිකායයෙන් හෙට්ඨිම වර්ග තුන හෝ මහාවර්ගය හෝ අඞ්ගුත්තර නිකායයෙන් අඩක් හෝ ඛුද්දක නිකායයෙන් අටුවාව සහිත ධම්මපදය හෝ ජාතක පොත හෝ ප්‍රගුණ කරගෙන තිබීමය, උපසම්පදාවෙන් දසවස් ඇත්තකු වීම ය යන මේවා පරිසූපස්ථායක බහුශ්‍රැතයාගේ අඞ්ගයෝ ය.

උපසම්පදාවෙන් පසු:

අළුත උපසම්පදා වූ භික්ෂුව පස් වසක් ගත වන තුරු උපාධ්‍යායයන් වහන්සේ ඇසුරු කෙරෙමින් උන් වහන්සේ වෙසෙන තැනක ම විසිය යුතු ය. උපාධ්‍යායයන් වහන්සේගෙන් වෙන්ව වාසය කරන, නවක භික්ෂුවට එයින් අරුණක් පාසාම දුකුළා ඇවැත් වේ. තමා උපාධ්‍යාය වී අන්‍යයන් උපසම්පදා කොට ඔවුන් හැර දමන්නා වූ උපාධ්‍යායයාට ද වත්තභේදයෙන් දුකුළා ඇවැත් වේ. ‘නිඃශ්‍රය මුක්තක බහුශ්‍රැතයකු’ නුවුවහොත්, භික්ෂුව දිවිහිමියෙන් උපාධ්‍යායයන් වහන්සේ වෙත හෝ ආචාර්යවරයකු වෙත හෝ විසිය යුතුය.

ප්‍රාතිමෝක්ෂ දෙක පාඩම් තිබීමය, සූත්‍ර පිටකයෙන් බණවර සතරක් ප්‍රගුණ වීමය, තමා වෙත පැමිණෙනවුන්ට කියා දීමට යම්කිසි කථාමාර්ගයක් පුහුණු කරගෙන තිබීමය, මඞ්ගලාමඞ්ගලයන්හි අනුමෝදනාව පිණිස බණ තුනක් පුහුණු කරගෙන තිබීමය, උපෝසථපවාරණාදි විනය කර්ම ගැන දැනගෙන තිබීමය, යම් කිසි භාවනා මාර්ගයක් පුහුණු කරගෙන තිබීමය, උපසම්පදාවෙන් පස්වසක් පිරීමය යන මේවා නිඃශ්‍රය මුක්තක බහුශ්‍රැතයාගේ අඞ්ගයෝ ය.