සිවුරු පිළිබඳ ශික්ෂාපද.

star_outline

“අනුජානාමි භික්ඛවෙ ඡ චීවරානි, ඛොමං කප්පාසිකං කොසෙය්‍යං කම්බලං සාණ භංගං”[1]

යනුවෙන් සිවුරුවලට යෝග්‍ය රෙදි ජාති සයක් භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ ය. “ඛෝම” යනු ඒ නම ඇති ගස්වල කෙඳිවලින් තනන රෙදිය. “කප්පාසික” යනු කපු නූලෙන් වියන රෙදි ය. “කෝසෙය්‍ය” යනු පට රෙදි ය. “කම්බල” යනු එළු ලොම්වලින් තනන රෙදි ය. “සාණ” යනු හණ කෙඳිවලින් වියන රෙදි ය. “භංග” යනු නොයෙක් නූල් මිශ්‍ර‍ කොට වියන රෙදි ය. කඩ කපා මසා පඬු රඳවා සිවුරු කොට පරිභෝග කළ හැකි විනිවිද නො පෙනෙන තවත් වර්ගවල වස්ත්‍ර‍, ඒ ජාති සයට අනුලෝම වශයෙන් සිවුරු වලට ගැනීම සුදුසු ය. දුහුල් රෙදිය, පත්තුණ්ණපටය, සෝමාරදේශයෙහි පටය, චීනදේශයෙහි පටය, සෘද්ධි බලයෙන් ලැබෙන සිවුරුය, දෙවියන්ගෙන් ලැබෙන සිවුරුය යන මේ සිවුරු ජාති සය ඉහත දැක්වූ ඛෝමාදි සිවුරු සයට අනුලෝම වශයෙන් ගත යුතුය යි විනයටීකාවන්හි දක්වා ඇත.

තීර්ථකයන් පරිභෝග කරන කුසචීර වාකචීර ඒළකචීර කේසකම්බල වාළකම්බල උලූකපක්ඛ අජිනක්ඛිප යන මේවා සිවුරු වශයෙන් දැරීමෙන් ථුලැසි ඇවැත් වන බව ද අක්කනාළ පොත්ථක යන මේවා දැරීමෙන් දුකුළා ඇවැත් වන බව ද චීවරක්ඛන්ධකයෙහි වදාරා ඇත්තේය.

“න භික්ඛවෙ අච්ඡින්නදසානි චීවරානි ධාරෙතබ්බානි. න දීඝදසානි චීවරානි ධාරෙතබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න එණදසානි චීවරානි ධාරෙතබ්බානි. න කඤ්චුකං ධාරෙතබ්බං. න තිරීටකං ධාරෙතබ්බං. න වෙඨනං ධාරෙතබ්බං. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2]

දහවලු නො කැපූ සිවුරුය, දික් දහවලු ඇති සිවුරුය, මල්දහවලු ඇති සිවුරුය, පෙණ දහවලු ඇති සිවුරුය, කඤ්චුකය, ගස්වල සිවිය, හිස්වෙළුම්ය යන මේවා දරන භික්ෂුවට ඉහත දැක්වූ සිකපදවලින් දුකුළා ඇවැත් වේ. කඤ්චුක යනුවෙන් කියැවෙන්නේ ගිහියන් පරිභෝග කරන කමිස බැනියම් ආදි ඇඳුමක් වශයෙන් ඇඟලන ඒවාය. අසංකඩය ද කඤ්චුකයක් ලෙස සාදා පරිභෝග කිරීමෙන් ඇවැත් විය හැකි බව සැලකිය යුතුය. ශීත දේශයකට ගිය භික්ෂුවකට වුව ද රෝගී භික්ෂුවකට වුව ද ලෝම බැනියම් කමිස පාවිච්චි කිරීමට විනයයෙන් ඉඩක් නැති බව සැලකිය යුතු ය. සමේ රෝග වසා ගැනීමට කණ්ඩුපටිච්ඡාදක නම් සිවුරක් නියම කර ඇත්තේය. අකැපයයි ඉහත කී සැම වස්ත්‍ර‍ ම සොරුන් විසින් සිවුරු කඩාගත් භික්ෂුවට පමණක් කැප බව සමන්තපාසාදිකාවේ අඤ්ඤාතක විඤ්ඤත්ති සිකපද වර්ණනාවේ දක්වා තිබේ.

සිවුරුවල පැහැය හා ප්‍ර‍මාණ ගැන දත යුතු කරුණු ශාසනාවතරණය[3] නමැති ග්‍ර‍න්ථයෙන් දත හැකි ය. එබැවින් සිවුරුවල පැහැය පිළිබඳ සිකපද පමණක් මෙහි දක්වනු ලැබේ.

“න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමඤ්ජෙට්ඨිකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බ කණ්හානි චීවරානි ධාරෙතබ්බානි න සබ්බමංහාරංගරත්තානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බ මහානාම රත්තානි චීවරානි ධාරෙතබ්බානි.”[4]

සිවුරු හැඳීම පෙරවීම පිළිබඳ සිකපද ශාසනාවතරණයෙන්[5] බලා ගත හැකිය. මෙකල සිවුරු යන නම ව්‍යවහාර වන්නේ තුන් සිවුරට ය. එහෙත් විනයෙහි සංඝාටිය, උත්තරාසංගය, අන්තරවාසකය, වස්සිකසාටකය, කණ්ඩුපටිච්ඡාදිකය, නිසීදනය, පච්චත්ථරණය, මුඛපුඤ්ජනවෝළය, පරික්ඛාරචෝළය කියා සිවුරු නවයක් නියම කර ඇත්තේය. ඒවායේ දිග-පළල ප්‍ර‍මාණය පිළිබඳ සිකපද ඇත්තේ වස්සිකසාටික, නිසීදන, කණ්ඩුපටිච්ඡාදික යන සිවුරු තුනට පමණෙකි. මෙ කල ඒවා භාවිත නො කෙරෙන බැවින් ඒ සිකපද මෙහි නොදක්වමු. තුන් සිවුරෙහි ප්‍ර‍මාණ අටුවාටීකාවල දක්වා තිබෙනවා මිස විනයපාළියෙහි ඒවා ගැන සිකපද නැත. පච්චත්ථරණ, මුඛපුඤ්ඡනචෝළ, පරික්ඛාරචෝළ යන මේවායේ ප්‍ර‍මාණ නියමයක් නැත. සකල චීවරයන්ගේ ම ප්‍ර‍මාණ නියමය පිළිබඳ එක් සිකපදයක් ඇත. ඒ මෙසේ ය.

“යො පන භික්ඛු සුගතචීවරප්පමාණං චීවරං කාරාපෙය්‍ය, අතිරෙකං වා ඡේදනකං පාචිත්තිං. තත්‍රිදං සුගතස්ස සුගතචීවරප්මාණං දීඝසො නවවිදත්ථියො සුගතවිදත්ථියා, තිරියං ඡ විදත්ථියො. ඉදං සුගතස්ස සුගතචීවරප්පමාණත්ති.”[6]

යම් භික්ෂුවක් සුගතචීවරය තරම් වූ හෝ එයටත් විශාල වූ හෝ සිවුරක් කෙළේ හෝ කරවූයේ හෝ වේ නම් සිවුරේ ඒ වැඩි කොටස සිඳ දෙසාගත යුතු පචිති ඇවතක් වේ. සුගතචීවරයේ ප්‍ර‍මාණය දිගින් සුගත් වියතින් නවවියතක්ද පුළුලින් සවියතක් ද වේය යනු සිකපදයේ තේරුමය.

මේ නිශ්චයකට බැස ගැනීමට දුෂ්කර සිකපදයෙකි. “සුගතවිදත්ථි නාම ඉදානි මජ්ඣිමස්ස පුරිසස්ස තිස්සො විදත්ථියො. වඩ්ඪකී හත්ථෙන දියඩ්ඪො හත්ථො හොති.”[7] යනුවෙන් සුගතවිදත්ථිය දැනට වෙසෙන මධ්‍යම පුරුෂයකුගේ අතින් තුන් වියතකි, වඩුරියනින් එක්රියන් හමාරකැයි අටුවාවෙහි කියයි. අටුවාවෙහි දැක්වෙන සැටියට සුගත්වියත ගණන් ගත හොත් සුගතචීවරය දිගින් දහතුන්රියන් හමාරක් ද පුළුලින් නවරියන් හමාරක් ද වේ. එපමණ මහත් සිවුරක් කිසිවකු නො කරන බැවින් මේ සිකපදය නිරර්ථක වේ. යමෙකුගේ අතින් දිගින් නවවියතට හා පළලින් සවියතකට කළ සිවුර දැනට සිවුරු පොරවන ආකාරයට ඔහුට පෙරවීමට ප්‍ර‍මාණ ද නො වේ. මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ හා බුදුන් වහන්සේ ඔවුනොවුන්ගේ සිවුරු මාරු කරගත් බව කස්සපසංයුත්තයේ දක්වා තිබේ. සුගතචීවරය ඉහත කී තරමට මහත් නම් එය මහකසුප් තෙරුන් වහන්සේට නො දැරිය හැකිය. එතරම් මහත් සංඝාටියක් වුවමනා තථාගතයන් වහන්සේට මහකසුප් තෙරුන් වහන්සේගේ සංඝාටිය ද ප්‍ර‍මාණ නො වන්නේ ය. තථාගතයන් වහ්නසේගේ සංඝාටිය පුණ්ණා නම් දාසියගේ මළසිරුරෙහි පොරොවා තුබූ වස්ත්‍රයෙන් කරන ලද්දකැයි සංයුක්ත අටුවාවෙහි දක්වා ඇත. දාසියක එතරම් මහත් සිවුරක් කිරීමට සෑහෙන වස්ත්‍ර‍යක් පොරවා තිබුණේය යි සිතීමට ද නුපුළුවන. කරුණු මෙසේ හෙයින් සුගත්වියත හා සුගත්සිවුර තේරුම් ගත නො හෙන කරුණක් වී ඇත. විමසත්වා!

අනු මාතෘකා
keyboard_arrow_rightචීවරාධිෂ්ඨාන විධිය.star_outline
keyboard_arrow_rightවිකප්පනයstar_outline
keyboard_arrow_rightසිවුරුවල කඩ කැපීම.star_outline
keyboard_arrow_rightකඨින ශික්ෂාපදය.star_outline
keyboard_arrow_rightදවස හා අරුණ.star_outline
keyboard_arrow_rightතතුත්තරි ශික්ෂාපදයstar_outline
keyboard_arrow_rightඋපක්ඛට ශික්ෂාපදයstar_outline
  1. මහා - 198 පි.

  2. මහා - 742 පි.

  3. ශාසන - 104 පි. (7 මුද්‍ර‍ණය - 82)

  4. මහා - 742 පි.

  5. ශාසන = 98 පි. (7 මුද්‍ර‍ණය - 78 පි.)

  6. පාචි - 194 පි.

  7. ස.පා. – 407 පි.