දුර්වර්ණකරණ ශික්ෂාපදය.

“නවං පන භික්ඛුනා චිවරලාභෙන තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං ආදාතබ්බං. නීලං වා කද්දමං වා කාළසාමං වා අනාදා චෙ භික්ඛු තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං නවං චීවරං පරිභුඤ්ජෙය්‍ය පාචිත්තියං.”[1]

භික්ෂුව විසින් අලුත් සිවුරක් ලද කල්හි එහි කොළපැහැය මඩපැහැය කළුපැහැය යන වර්ණයන් අතුරින් යම්කිසි වර්ණයකින් කප්පබින්දු තැබිය යුතුය. එසේ නො කොට අලුත් සිවුරක් පරිභෝග කෙළේ නම් පචිති ඇවැත් වේ.

මේ සිකපදයෙහි “දුබ්බණ්ණකරණ” යන වචනයෙන් දැක්වෙන්නේ කප්ප බින්දුවය. එයින් චීවරය මඳක් වුව ද දුර්වර්ණ වන බැවින් එසේ කිරීම දුබ්බන්ණකරණ නම් වේ. කප් බින්දුව බින්දු සටහනකින් ම මිස අන් සටහනකින් නො තැබිය යුතුය. එහි ප්‍ර‍මාණය මකුණුපිටක් මොනර ඇසක් පමණ විය යුතු ය. සිවුරේ සතර කොනේ ම හෝ කොන් තුනක හෝ දෙකක හෝ එකක හෝ කප්බින්දුව තැබිය යුතු බව කියා තිබේ. සිවුර මසා පඬු පොවා කප්බින්දු තැබිය යුතු ය. පරණ සිවුරක් ලැබී පරිභෝග කිරීමේ දී කප්බින්දුව නො තැබුව ද වරද නැත.

  1. පාචි - 138 පි.