සංඝාටිය නැතිව ගම් වැදීම.

“න භික්ඛවෙ සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො, යො පවිසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[1]

“මහණෙනි, අඳනයෙන් හා උත්තරාසංගයෙන් පමණක් ගමට නො පිවිසිය යුතුය. යම් මහණෙක් පිවිසෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.” මේ සිකපදයෙන් දැක්වෙන්නේ සංඝාටිය නො පොරවා අඳනය තනිපට සිවුර යන දෙකින් පමණක් ගමට පිවිසියේ නම් දුකුළා ඇවැත් වන බවය. දෙපොට සිවුර හා තනිපොට සිවුර එකට ම පොරොවා හැසිරීම උෂ්ණ පළාත්වල දුෂ්කරය. ගිලන් භික්ෂූන්ටත් දුබල භික්ෂූන්ටත් දුෂ්කරය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කරුණු පසක් ඇති කල්හි සංඝාටිය නො ගෙන ගමට පිවිසීමත් අනුදැන වදාළ සේක. ගිලනකු වීම, වැසි ලකුණු තිබීම, ගඟකින් එතරව යන්නට තිබීම, දොර අගුලු ඇති විහාරයක් වීම, කඨිනය අතුළ කෙනකු වීම ඒ කරුණු පසය. ඒවායින් ප්‍ර‍ධාන කරුණ දොර අගුලු ඇති විහාරයක් තිබීමය. මේ සිකපදය පනවා ඇත්තේ තැන තැන දමා තිබුණ හොත් සිවුරු නැති විය හැකි බැවිනි. කිනම් කරුණකින් වුවද සඟළ සිවුර තබා යන භික්ෂුව එය පරෙස්සම් වන ලෙසකට තබා යා යුතුය.

  1. මහා - 728 පි.