දවස හා අරුණ.

දවස අරුණ යන මේ දෙක බොහෝ විනය ප්‍ර‍ඥප්තීන්ට සම්බන්ධය. එබැවින් විනය සිකපද රකින්නවුන් විසින් එදෙක දැන සිටිය යුතුය. දවස් ගණන් ගන්නා ක්‍ර‍ම තුනෙකි. දැනට පවත්නා ව්‍යවහාර ක්‍ර‍මයේ සැටියට දිනය පටන් ගැනෙන්නේ ද අවසන් වන්නේ ද මධ්‍යම රාත්‍රියෙනි. රාත්‍රියේ ඔරලෝසු පැයින් දොළොස්වන පැය ඉක්ම යන වේලාව, දිනය අවසන් වන වේලාව ද අනතුරු දිනය පටන් ගන්නා වේලාව ද වේ. ජ්‍යොතිශ්ශාස්ත්‍රයේ හැටියට දිනයේ පටන් ගැනීම හිරු උදාවෙන වේලාව ය. විනය ක්‍ර‍මයේ සැටියටදිනය පටන් ගැනෙන්නේ අරුණෝදයෙනි. අරුණ පිළිබඳ නානා මත ඇත්තේ ය. ඒ ගැන දීර්ඝ විස්තරයක් විනයාලංකාරටීකාවෙහි ඇත්තේය.

අරුණ යනු මඳ රත් පැහැයට නමෙකි. උදාවන සූර්‍ය්‍යයාගේ ආලෝකය උදාවීමට මඳක් කලින් අහසෙහි මඳ රත් පැහැයක් පෙනේ. ඒ රශ්මියටත් අරුණය යි කියනු ලැබේ. ඒ බව “සූරස්සොදයතො පුබ්බුට්ඨිතරංසි සියාරුණො” යනුවෙන් “අභිධානප්පදීපිකාවේ[1] කියා තිබේ. ඒ රත්පැහැය මුලින් දක්නා ලැබෙන්නේ හඳුනා ගැනීමටත් නුපුළුවන් වන තරමට ඉතා සියුම් ලෙසය. ක්‍ර‍මයෙන් එය වර්ධනය වී පැහැදිලි වෙයි. මේ අරුණාලෝකය සූර්යෝදයට පැය බාගයකට පමණ කලින් නැගෙනහිර දිග අහසෙහි දැකිය හැකිය. එය බලා අරුණ උදාවන කාලය සැලකිය යුතුය. අරුණ පිළිබඳ නිශ්චිත විනාඩි ගණනක් දැක්වීම දුෂ්කරය. වත්මානත් සමාදන්වූවන් අරුණ වරදවා අරුණට කලින් නික්ෂේප කළ හොත් රත්තිච්ඡේදය වේ.

  1. අභිධානප්පදීපිකා - 65 ගාථාව