තෘතීය කඨින ශික්ෂාපදය.

“නිට්ඨිතචීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ භික්ඛුනො පනෙව අකාලචීවරං උප්පජ්ජෙය්‍ය, ආකංඛමානෙන භික්ඛුනා. පටිග්ගහෙතබ්බං, පටිග්ගහෙත්වා ඛිප්පමෙව කාරෙතබ්බං, නො චස්ස පාරිපූරි, මාසපරමං තෙන බික්ඛුනා තං චීවරං නික්ඛිපිතබ්බං, ඌනස්ස පාරිපූරියාසතියා පච්චාසාය, තතො චෙ උත්තරිං නික්ඛිපෙය්‍ය සතියාපිපච්චාසායනිස්සග්ගියං පාචිත්තියං.”[1]

භික්ෂුවගේ චීවර පළිබෝධය සුන් වීමෙන් පසු කඨිනය උදුළ පසු භික්ෂුවට අකාලචීවරයක් උපන්නේ නම් එයට කැමති වන භික්ෂුව විසින් එය පිළිගත යුතු ය. පිළිගෙන වහා සිවුර කළ යුතු ය. ඉදින් ඒ වස්ත්‍ර‍ය සිවුරක් කිරීමට ප්‍ර‍මාණ නො වේ නම්, ඒ අඩුව සම්පූර්ණ කර ගැනීමට වස්ත්‍ර‍ යම් තැනකින් ලැබේය යන බලාපොරොත්තුව ඇත්තේ නම් එය මාසයක් තබා ගත යුතු ය. අඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් වුව ද එය මසකට අධික කාලයක් තබා ගත්තේ නම් වස්ත්‍ර‍ය නිසගි වේ. පචිති ඇවැත් ද වේ.

මේ සිකපදයෙහි අතිරේක චීවරය යි කියනුයේ වැඩ නිම වූ චීවරයකට නොව වස්ත්‍ර‍යකට ය. විනයයෙහි “චීවරකාලසමයො නාම අනත්ථතෙ කඨිනෙ වස්සානස්ස පච්ඡිමො මාසො. අත්ථතෙ කඨිනෙ පඤ්චමාසා[2] යනුවෙන් චීවරකාලයක් නියම කර ඇත්තේ ය. කඨිනය නො අතුළ හොත් වස්සාන සෘතුවේ අන්තිම මාසයත් කඨිනය අතුළ හොත් පස්මසක් ද චීවර කාලය ය. කඨිනය අතුළ කල්හි පස්මසය කියනුයේ වස්සාන සෘතුවේ පශ්චිම මාසයට, හේමන්ත සෘතුවට අයත් සාරමාසයත් එකතු කිරීමෙනි. වප්මස අව පෑළවියේ පටන් ඉල්මස පුර පසළොස්වක දක්වා ඇති මාසය සාමාන්‍ය චීවර කාලයය. එය කඨින අතුරන කාලයය. එයට චීවර මාසය යි ද කියති. කඨිනය අතුළ හොත් ඉදිරියට ඇති සිවුමසත් චීවරකාලයට අයත් වී චීවර කාලය පස්මසක් වේ. කඨිනය නො අතුළ භික්ෂූන්ට චීවර කාලය මසෙකි. කඨින අතුළ භික්ෂූන්ට පස් මසෙකි. වස් විසූ තැන හැර යාම් ආදියෙන් ඇතැම් භික්ෂූන්ට පස්මස පිරෙන්නට කලින් ද චීවර කාලය කෙළවර වේ. ගිහියන් භික්ෂූන්ට සිවුරු හෝ සිවුරු පිණිස රෙදි හෝ පූජා කිරීමත් භික්ෂූන් විසින් තම තමන්ට සිවුරු පිළියෙළ කර ගැනීමත් බෙහෙවින් සිදු වන්නේ මේ චීවර කාලයේ ය.

කඨිනය නො අතුළ භික්ෂූන්ට අවුරුද්දෙන් එකොළොස් මසක් ද අතුළ භික්ෂූන්ට සත්මසක් ද අකාලය වේ. අකාලයේ ලැබෙන රෙදි හා සිවුරු අකාල චීවරයෝ ය. කාලයේදී ලැබෙන රෙදි ඒ කාලය තුළ කැමති දින ගණනක් තබාගෙන සෙමින් සිවුරු මසා ගෙන පසුව ඒවා අධිෂ්ඨාන කිරීමට හෝ විකප්පනය කිරීමට හෝ අවකාශය ඇත. අකාලයේ ලැබෙන වස්ත්‍ර‍ දස දිනයට වැඩි කාලයක් එසේ නො කොට අතිරේක චීවර වශයෙන් තබා ගැනීමට ප්‍ර‍ථම කඨින ශික්ෂාපදය නිසා ඉඩක් නැත. අකාලයේ ලැබෙන සිවුරු අතිරේක වශයෙන් දස දිනකට වැඩි කලක් තබා ගත හොත් ඒවා නිසගි වේ. ඇවැත් ද වේ. මේ තුන්වන කඨින ශික්ෂාපදය පනවා ඇත්තේ ප්‍ර‍ථම කඨින ශික්ෂාපදය මඳක් ලිහිල් කිරීමට ය. සිවුරු පිළිබඳව කාල නියමයක් කර ඇත්තේ එසේ නො කළ හොත් භික්ෂූන්ට චීවරපළිබෝධය කෙළවර නො වන බැවිනි.

අකාලයේ වස්ත්‍ර‍යක් ලද කල්හි ප්‍ර‍ථම කඨින ශික්ෂාපදය අනුව දසදිනකින් මොබ භික්ෂුව විසින් එයින් කළ හැකි දෙයක් කර එය අධිෂ්ඨාන කරගත යුතුය. භික්ෂුවට අකාලයේ ලැබුණු රෙද්ද ඔහුට මසා ගැනීමට, වුවමනා සිවුර කිරීමට මදි වේ නම් ඒ භික්ෂුවට ඒ අඩුව ලැබිය හැකි බව පෙනේ නම් ඒ ගැන බලාපොරොත්තුවෙන් මසක් තබා ගැනීමට මේ සිකපදය නිසා ඉඩ ලැබේ. බලාපොරොත්තු වන රෙදි ලැබීමෙන් පසු දසදිනක් ගත වන්නට කලින් සිවුර නිම කර අධිෂ්ඨාන කළ යුතුය. ලැබෙන රෙදි බලාපොරොත්තුවෙන් වුව ද මසකට අධික කාලයක් තබා ගත හොත් රෙද්ද නිසගි වේ.

අකාලචීවරය පිළිබඳව පිළිපැදිය යුත්තේ මෙසේය:- අකාලචීවරය ලද දිනයේ ම අඩු කොටස ද ලද හොත් දස දිනකට කලින් සිවුර නිම කළ යුතුය. ලැබී එක් දිනකට පසු අඩු කොටස ලද හොත් දසදිනක් ගත වන්නට පෙර සිවුර නිම කළ යුතුය. මෙසේ මූලචීවරය ලැබී විසිවන දිනයේ බලාපොරොත්තු වස්ත්‍ර‍ය ලද හොත් දස දිනක් ගතවන්නට පෙර සිවුර නිම කළ යුතුය. බලාපොරොත්තු වන වස්ත්‍ර‍ය විසිඑක් වන දිනයේ ලද හොත් නවදිනයකින් ද දෙවිසිවන දිනයේ ලද හොත් අට දිනකින් ද තෙවිසිවන දිනයේ ලද හොත් සත්දිනකින් ද සූවිසිවන දිනයේ ලද හොත් සදිනකින් ද විසිපස්වන දිනයේ ලද හොත් පස්දිනකින් ද සවිසිවන දිනයේ ලද හොත් සිවු දිනකින් ද සත් විසිවන දිනයේ ලද හොත් තෙදිනකින් ද විසිඅට වන දිනයේ ලද හොත් දෙදිනකින් ද විසිනව වන දිනයේ ලද හොත් එක් දිනකින් ද තිස්වන දිනයේ ලද හොත් එදින ම සිවුර කොට අධිෂ්ඨාන කළ යුතුය. විකප්පනය හෝ කළ යුතුය. බලාපොරොත්තු වූ වස්ත්‍ර‍ය තිස්වන දිනයේදී ද නොලද හොත් ඒ අකාල චීවරය පරික්ඛාරචෝළ වශයෙන් ඉටිය යුතුය. විකප්පනය හෝ කළ යුතුය. නො කළ හොත් නිසගි වේ.

තමා අයත් චීවරයක් වීමය, චීවරයට නියම ජාතියේ විකප්පනයට පොහෝනා වස්ත්‍ර‍යක් වීමය, කඨිනානිසංසය නැති බවය, අතිරේක චීවරයක් වීමය, ලැබී මසක් ඉක්ම යාමය යන මේවා මේ සිකපදයේ අංගයෝ ය.

“ඉදං මෙ ආවුසො අකාලචීවරං මාසාතික්කන්තං නිස්සග්ගියං. ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි අකාල චීවරය නිසගි වුව හොත් මේ වාක්‍යයෙන් නිස්සජ්ජනය කළ යුතුය.

  1. පාරා - 244 පි.

  2. පාරා - 303 පි.