තතුත්තරි ශික්ෂාපදය

“තඤ්චෙ අඤ්ඤාතකො ගහපති වා ගහපතානි වා බහූහි චීවරෙහි අභිහට්ඨුං පවාරෙය්‍ය සන්තරුත්තරපරමං තතො චීවරං සාදිතබ්බං, තතෙවෙ උත්තරිං සාදියෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං.”[1]

ඒ සිවුරු නැසුණු භික්ෂුවට නො නෑ ගැහැවියෙක් හෝ ගැහැවිනියක් හෝ බොහෝ සිවුරුවලින් පවරා නම් ඒ භික්ෂුව විසින් අඳනයට පොරෝනයට සෑහෙන පරිදි රෙදි පමණක් පිළිගත යුතු ය. එයට වඩා පිළිගනී නම් නිසගි පචිති වේ.

සිවුරු නැති වූ භික්ෂුව නො නෑයකුගෙන් සිවුරු ඉල්ලූ කල්හි ඔහු “ඔබ වහන්සේට වුවමනා තරම් ගන්නය කියා බොහෝ රෙදි පාමුල තැබූයේ හෝ අපගේ ගබඩාවෙන් වුවමනා තරම් රෙදි ගන්නය”යි කීයේ හෝ වේ නම් එයින් අඳනයක් හා පොරෝනයක් කර ගැනීමට සෑහෙන තරම් රෙදි ගත යුතු ය. අධිකව නො ගත යුතුය. සිවුරු දෙකකට රෙදි ගත යුත්තේ ද තුන් සිවුරු ම නැති වූ භික්ෂුව විසිනි. සිවුරු දෙකක් නැති වූ භික්ෂුව විසින් එක් සිවුරකට පමණක් රෙදි ගත යුතු ය. තුන් සිවුරෙන් එකක් පමණක් නැති වූ භික්ෂුව විසින් එකකුදු නො පිළිගත යුතු ය. එසේ ඉල්ලා පමණට වඩා රෙදි පිළිගත්තේ නම් නිසගි පචිති වේ. පිළිගත් වැඩි රෙදි “ඉදං මෙ ආවුසො චීවරං අඤ්ඤාතකං ගහපතිකං තතුත්තරිං විඤ්ඤාපිතං නිස්සග්ගියං, ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි නිස්සජනය කොට ඇවැත් දෙසිය යුතු ය.

අඳනයට හා සිවුරට හරියට ම රෙදි ගැනීම අපහසු නිසා සිවුරු කපා වැඩි හරිය ආපසු ගෙනැවිත් දෙමි ය කියා අධික කොට රෙදි ගත් කල්හි දුන් ගිහියා ඉතුරු වන රෙදිත් ඔබ වහන්සේ ම ගන්නය යි කිව හොත් වැඩි රෙදි ගැනීමෙන් ද ඇවැත් නො වේ. පමණට රෙදි ගත් භික්ෂුවගේ යම්කිසි ගුණයකට පැහැදී තවත් රෙදි දුන්නේ නම් ගැනීමෙන් ද ඇවැත් නැත.

පමණට වැඩි බවය, සිවුරු නැතිවීම නිසා ලද බවය, නො නෑයකුගෙන් ඉල්ලීමය, ලැබීමය යි මේ සික පදයට අංග සතරක් ඇත්තේ ය.

  1. පාරා - 254 පි.