2. සම්මා සම්බුද්ධ ගුණය

කිසිතැනක වැරදීමක් නැති පරිදි නො පැහැදිලි බවක් නැතිව අත්ලෙහි ඇති දෙයක් සේ ඉතා පැහැදිලි ලෙස අනිකකුගෙන් උගෙනීමක් හෝ උපදෙස් ගැනීමක් නො කොට තමන් විසින්ම අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත්වූ ද කාලත්‍රයට අයත් නොවූ ද සියල්ල දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේ සම්මාසම්බුද්ධ නම් වෙති.

බුද්ධ යන වචනයෙන් දත් කෙනෙකු කියැවේ. දතුවන් අතර අනුන්ගෙන් උගෙන අනුන්ගෙන් උපදෙස් ගෙන යම් යම් දේ දැනගත්තෝ ද වෙති, ස්වශක්තියෙන්ම දැන ගත්තෝ ද වෙති. අනුන්ගෙන් අසා දත් තැනැත්තේ බුද්ධ නම් වෙයි. එහෙත් සම්බුද්ධ නො වෙයි. අනුන්ගේ උපකාරයක් නැතිව ස්වශක්තියෙන් දතුවෝ සම්බුද්ධ නම් වෙති. සම්බුද්ධ යන නාමය ලැබෙන්නේ පසේබුදුවරුන්ට හා ලොවුතුරා බුදුවරුන්ට පමණකි. සම්බුද්ධ වුව ද පසේබුදුහු සියල්ල නො දනිති, ලොවුතුරා බුදුහු සියල්ලම දනිති. වැරදීමක් නැතිවම දනිති, අපැහැදිලිකමක් නැතිව පැහැදිලි ලෙස ම දනිති. එබැවින් ලොවුතුරා බුදුහු සම්මාසම්බුද්ධ නම් වෙති. සම්මාසම්බුද්ධ යන වචනය අභිධර්ම පිටකයේ පුග්ගලපඤ්ඤත්ති පකරණයෙහි මෙසේ විස්තර වේ.

“කතමො ච පුග්ගලෝ සම්මාසම්බුද්ධො? ඉධෙකච්චො පුග්ගලො පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති, තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණාති, බලෙසු ච වසීභාවං, අයං වුච්චති පුග්ගලො සම්මාසම්බුද්ධො”

(සම්මාසම්බුද්ධ නම් කවරේදැයි විවරණය කරන මේ පාඨය එහි ඇති වචන පටිපාටිය අනුව තේරුම් කිරීමට දුෂ්කර පාඨයෙකි.) “යම් පුද්ගලයෙක් අනිකකු ගෙන් නො අසා ස්වශක්තියෙන්ම ස්කන්ධාදි ධර්ම විෂයෙහි චතුස්සත්‍යය දැන ගනී ද, කිසිවක් ඉතිරි නො වන පරිදි සියල්ල පිළිබඳව ම සත්‍යය දැන ගැනීම් වශයෙන් සර්වඥත්වය ට පැමිණේ ද, බලයන්හි වශීභාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ නම් වේය.” යනු එහි අදහසය.

අප බෝධිසත්ත්වයන් වහන්සේ අතීත බුදුසසුන්වල පැවිදිව ත්‍රිපිටක ධර්මය උගෙන ශමථවිදර්ශනා භාවනාවන්හි යෙදී ඇති බැවින් පෙර ජාතිවල ඒ ධර්ම අසා ඇත. එහෙත් බුදු වන ජාතියේදී උන්වහන්සේ විසින් චතුස්සත්‍ය යන වචන මාත්‍රය පවා අනිකකුගෙන් අසා නැත. අතිදීර්ඝකාලයක් පිරූ පාරමිතා කුශලබලයෙන් කිසිවෙකුගෙන් නො අසා ඒ ධර්ම උන්වහන්සේට අවබෝධ කළ හැකි විය. කිසිදු අඩුවක් නැතිව සියල්ල පිළිබඳවම සත්‍යයන් අවබෝධ කර ගැනීමෙන් තථාගතයන් වහන්සේ සර්වඥ වූ සේක. සර්වඥතාඥානය ලැබෙනු සමගම දශබල ඥානයෝද උන්වහන්සේට ඇති වූහ. සර්වඥතාඥාන දශබලඥානයන් ලැබීමෙන් ලොවුතුරා බුදුබව සම්පූර්ණ වේ. ඉන්පසු බුද්ධත්වය සඳහා කළ යුත්තක් නැත. ලොවුතුරාබුදුවරුන් පසේබුදුවරුන් හැර සෙස්සන්ට අනුන්ගෙන් නො අසා චතුස්සත්‍යන් දත හැකි නො වන්නේ ඒවා ඉතා ගැඹුරු නිසා ය. සම්මා සම්බුද්ධගුණය විස්තර කරන මෙතන්හි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ ඒ චතුස්සත්‍යය සැකෙවින් වුව ද දැක්විය යුතු බැවින් තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්මදේශනය වන ධර්මචක්‍රප්‍රවර්තන සූත්‍රය ඇසුරු කොට චතුස්සත්‍යය සැකෙවින් දක්වනු ලැබේ.