6. සවන තථාගත බලය

සත්වයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියන් දියුණු වුණු නුවුණු බව දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති, යම්’ පි සාරිපුත්ත තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’

මෙයින් දැක්වෙන්නේ අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියයන් මෝරා ඇති බව හා නැති බව දැනෙන්නා වු ඉන්ද්‍රිය පරෝපරියත්තඤාණය එක් තථාගත බලයක් බව ය. ඉන්ද්‍රියන් මෝරා ඇති බව හෝ නැති බව හෝ ඒ ඒ සත්වයෝ නො දනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන් ගේ ඉන්ද්‍රිය තත්ත්වය සලකා බලා ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන සේක. එසේ දැන කරන ධර්ම දේශනය සර්වාකාරයෙන්ම සාර්ථක වේ. පුද්ගල තත්ත්වය නො දැන දහම් දෙසන්නවුන් ගේ දේශනා සාර්ථක වන්නේ කලාතුරකිනි. විඟඬ්ගපාළියෙහි මේ ඥානය විස්තර කර ඇත්තේ:-

‘ඉධ තථාගතො සත්තානං ආසයං පජානාති, අනුසයං පජානාති, චරිතං පජානාති, අධිමුත්තිං පජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුචිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති.’

යනුවෙනි ‘තථාගත තෙමේ සත්ත්වයන් ගේ ආශය දනිති, අනුශය දනිති, චරිත දනිති, අධිමුක්ති දනිති. නුවණැසෙහි මඳ රාගාදි රජස් ඇත්තා වූ ද, නුවණැසෙහි බොහෝ රාගාදි රජස් ඇත්තා වූ ද, තියුණු ශ්‍රඬාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, නො තියුණු ශ්‍රාඬාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, යහපත් ආශයාදිය ඇත්තා වු ද, නොමනා ආශයාදිය ඇත්තා වූ ද, ධර්මය තේරුම කර දීම පහසු වූ ද, ධර්මය තේරුම කර දීම අපහසු වූ ද, මඟ පල ලැබීමට භව්‍ය වු ද, මඟ පල ලැබීමට අභව්‍ය වු ද සත්ත්වයන් දනිති’ ය යනු එහි තේරුම ය. අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ආශයාදිය දන්නා නුවණ ඉන්ද්‍රියපරෝපරියත්තඤාණය බව එයින් දක්වන ලදී.

ආශය යනු වාසය කරන ස්ථානය ය. යමෙක් යම්කිසි කරුණක් මෙය මෙසේමය යි තදින් පිළිගෙන එය ම මූලකාරණය කරගෙන එහි පිහිටා කටයුතු කෙරේ නම්, ඒ කරුණත් වාසස්ථානයකට සමාන වන බැවින් එයට ද ආශයයි කියනු ලැබේ. ‘සත්තානං ආසයං පජානාති’ මෙහි ආශය නමින් කියැවෙන්නේ එබඳු කරුණු ය. මිථ්‍යාදෘෂ්ටිය හා යථාභූතඥාන නම් වු සම්‍යක්දෘෂ්ටිය එබඳු කරුණූ දෙකකි. මෙහි ආශය නමින් කියනුයේ ඒ ධර්ම දෙකය.

ලෝකයෙහි ඇතමෙක් ආත්මය නිත්‍ය දෙයකැයි ගනිති. ඇතැමෙක් ආත්මය ශරීරය සමඟම නැසෙන අනිත්‍ය දෙයකැ යි ගනිති. ඇතමෙක් ආත්මය පර්‍ය්‍යන්තයක් නැති විශාල දෙයකැයි ගනිති. ඇතෙමෙක් පර්‍ය්‍යන්ත පරිච්ජේදය ඇතියකැයි ගනිති. ඇතැමෙක් ශරිරය ආත්මය යන දෙක ම එකකැ යි ගනිති. ඇතමෙක් ශරීරය ආත්මය යන දෙක දෙකකැ යි ගනිති. ඇතමෙක් ආත්මය මරණින් පසුද ආත්මය නිරෝගීව ඇතැය යි ගනිති. ඇතැමෙක් මරණින් පසු ආත්මයක් ඉතිරි නො වෙතැයි ගනිති. ඇතමෙක් මරණින් මතු ඇතැමුන්ගේ ආත්ම ඇත, ඇතැමුන්ගේ ආත්ම නැතය යි ගනිති. ඇතැමෙක් මරණින් මතු ආත්මයක් ඇත්තේ ද නො වේ නැත්තේ ද නොවේ යයි ගනිති. මරණින් මතු ආත්මය ඇතය යි ගැනීම ශාශ්වත දෘෂ්ටි නම් වේ. ආත්මය මරණින් සිඳේය නැතිවේ ය කියා ගැනීම උච්ජේද දෘෂ්ටි නම් වේ. ශාස්වත දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ ශාශ්වත දෘෂ්ටිය මුල් කර ගෙන ය. උච්ජේද දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ උච්ජේද දෘෂ්ටිය මුල් කර ගෙන ය. එබැවින් ඒ දෘෂ්ටි දෙක ඔවුනට වාසස්ථානයක් බඳු වන බැවින් ආශය නම් වේ.

ලෝකයෙහි ඇතමෙක් සත්පුරුෂාශ්‍රය ලැබ සද්ධර්මශ්‍රවණය කොට ශාශ්වතෝච්ජේද සංඛ්‍යාත දෘෂ්ටි දෙකට නො බැස අවිද්‍යා දී හේතුන්ගේ හා සංස්කාරාදි ඵලයන්ගේ වශයෙන් සංසාර ප්‍රවෘත්තිය දක්නා වු අනුලෝමිකක්ෂාන්තිය යි කියනු ලබන විදර්ශනා ඥානය ලැබ ඒ විදර්ශනා ඥානය අනුව එහි පිහිටා ක්‍රියා කෙරෙති. ඇතමෙක් යථාභූතඥාන නම් වු මාර්ගඥානය ලැබ එහි පිහිටා එයට අනුව ක්‍රියා කෙරෙති. එබැවින් විදර්ශනාඥානය හා මාර්ගඥානය ද ආශය නම් වේ. ශාශ්වතෝච්ජේද දෘෂ්ටි දෙක ලාමක සත්වයාගේ ආශය ය. අනුලෝමිකක්ෂාන්තිය හා මාර්ගඥානය ශුද්ධ සත්වයන්ගේ ආශය ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන්ගේ ආශය දැන ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන සේක.

ශාශ්වතදෘෂ්ට්‍යාදිය ආශය කොට ඇත්තා වූ පුද්ගලයන් තුළ ඒ දෘෂ්ට්‍යාදිය නිරතුරු ව පවත්නේ නොවේ. පුද්ගලයා අන් සිතකින් අන්‍යක්‍රියාවක යෙදී ඉන්නා අවස්ථාවේදී ද තථාගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයා ගේ ආශය දන්නා හ. එබැවින් තමන් වහන්සේ වෙත පැම්ණෙන කා හටත් ඔවුන්ගේ ආශය බලා සුදුසු සේ දසම් දෙසීම තථාගතයන් වහන්සේට කළ හැකිය. ධනය රැස් කර ගෙන අඹුදරුවන් ඇති කරගෙන පස් කම් සැප විඳිමින් එහි ඇලී ගැළී සිටින ඇතැම්හු නෛෂ්ක්‍රම්‍යගරුකයෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ඇත්තෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය යනු කාමයන් හැර දැමීමේ අදහස ය. තථාගතයන් වහන්සේ එ බව දනිති. ඒ බව දැන ඔවුනට සුදුසු ධර්මයක් දේශනය කළ කල්හි ඔවුන් කෙරෙහි යටපත් වී ඇති නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය මතු වී අවුත් මඟපල ලබති. ඇතැමෙක් පැවිදි වෙති.

තථාගතයන් වහන්සේ බුදු වු අලූත ලෝකයෙහි රහතුන් සැටඑක් නමක් ඇති වූ පසු ඒ රහතුන් ලෝකයේහි ධර්මය පැතිරවීම සඳහා පිටත් කර යවා උරුවෙල් දනවුවට වැඩම කරන සේක්, අතරමග එක් වනයක පිවිස ගසක් මුල වැඩහුන් සේක. එදින භද්‍රවර්ගික නම් කුමාරවරු තිස් දෙනෙක් ද කම් සැපයෙන් විනෝදය ලබනු රිසියෙන් ස්ත්‍රීන් ද කැඳවා ගෙන ඒ වනයට පැමිණ සිටියෝ ය. බිරියක් නැති කුමරෙකු විසින් එදා කැඳවාගෙන ආ ගණිකාවක් ඔවුන්ගේ බඩු ද ගෙන පලා ගියාය. කුමාරයෝ ඇය සොයමින් වනයෙහි ඇවිදිනාහු තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේ වෙත ගොස් ‘ස්වාමීනි, ස්ත්‍රියක් දුටුසේක් දැ’ යි විචාළහ. ‘කුමාරවරුනි, තෙපි කුමට ස්ත්‍රියක් සොයන්නහුදැ’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ස්වාමීනි, අපගේ එක් යහළුවෙක් ඔහුට බිරියක් නැති බැවින් ගණිකාවක් කැඳවා ගෙන ආවේ ය. ඕ අපගේ ප්‍රමාදයක් බලා බඩුත් ගෙන පළා ගියා ය. අප යහළුවාට උපකාර පිණිස ඇය සොයමින් ඇවිදින්නෙමු’ යි ඔවුහු කීහ. එකල්හි තථාගතයන් වහන්සේ ‘කුමාරවරුනි, තොපට ගැහැනියක සොයමින් ඇවිදිනවාට වඩා තමන් ගැන සෙවීම නරකදැ’ යි වදාළහ. ‘ස්වාමීනි අපට තමන් ගැන සෙවීම නම් වඩා හොඳය’ යි ඔවුහු කී හ. ‘එසේ නම් කුමාරවරුනි, හිඳිගනිව් තොපට දහම් දෙසමි’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ඔවුහු තථාගතයන් වහන්සේ වැඳ දහම් අසනු පිණිස හිඳගත්තෝ ය. අන් ධර්මධරයෙක් නම් කාමයෙන් මත්ව මෙසේ වනයෙහි සල්ලාල කමින් ඇවිදිමින් සිටින ඒ පිරිසිට කාමායෙන් ඈත්ව වෙසෙන උදාර අදහස් ඇතියන්ටම සුදුසු වන කෙලෙසුන්ට විරුද්ධ වන මේ ධර්මය දේශනය නො කරන්නේ ය. ඔවුන් විසින් දහම් දෙසන්නට ආරාධනා කළ ද ඔවුහු දහම් දෙසීමට සුදුසු පිරිසක් නො වෙති යි’ සිතා දහම් නො දෙසන්නාහ. තථාගතයන් වහන්සේට ඔවුන් තුළ ඇති නෛෂ්ක්‍රම්‍ය ගරුකත්වය නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය පෙනෙන බැවින් ඔවුනට දහම් දෙසූ සේක, දහම් ඇසුවා වූ ඔවුනට ඒ ධර්මය අවබෝධ වී සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත ධර්මචක්ෂුස පහළ වී සැම දෙනම තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්හ.

(මහාවග්ග පාළි)

පැවිදිව සිටියද නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය නැති කාමය ම ගරු කරන කාමාධ්‍යාශය ඇති පුද්ගලයෝ පැවිද්දන් අතර ද ඇත්තාහ. තථාගතයන් වහන්සේ ඔවුන් හඳුනාගන්නාහ. රූපනන්දා භික්ෂුණිය එබඳු තැනැත්තියකි. ඇය පැවිදිවුයේ ඥාතීන් පැවිදි වු නිසා ය. ඕ මාගේ වැඩිමහලූ සහෝදරයා පැවිදි ව ලොවුතුරා බුදු විය. ඔහුගේ පුත් රහල් කුමරු පැවිදි විය. මාගේ සැමියා ද පැවිදි විය. මව ද පැවිද විය. මෙතෙක් දෙනා පැවිදි වු කල්හි මට ගෙයි රැදී සිටීමෙන් පලක් නැතය’ සිතා භික්ෂුණි ආශ්‍රමයකට ගොස් පැවිදි වූවා ය. රූප ගරක වූ ඕ ’ තථාගතයන් වහන්සේ රූපය අනිත්‍යය, දුකය, අනාත්මය යි දහම් දෙසති’ යි භික්ෂුණින්ගෙන් අසා ‘තථාගතයන් වහන්සේ ඉදිරියට ගිය හොත් මෙතරම් ශෝභන වූ මාගේ රූපයෙහි දොස් දක්වන්නාහ’ යි බුදුන් දක්නට ද නො යන්නී ය. තථාගතයන් වහන්සේ වෙත දහම් ඇසීමට යන්නෝ පැහැදී නොයෙක් අයුරිව් බුදුගුණ වර්ණනා කරති. රූපනන්දා භික්ෂුණිය භික්ෂුණීන් විසින් හා උපාසිකාවන් විසින් කියන බුදු ගුණ අසා ‘මොවුහු මාගේ සහෝදරයාගේ ගුණ බොහෝ කියන්නාහ. බුදුන් වහන්සේ රූපයේ දොස් කියතත් එක් දිනයකදීම එතරම් රාශියක් නො කියනු ඇත. මම ද උන්වහන්සේට නො දැනෙන ලෙස භික්ෂුණීන්ගේ මුවාවෙන් ගොස් එක් දිනක් උන්වහන්සේ දැක දහම් අසා එමි’ යි සිතා ‘මම ද අද දහම් ඇසීමට එමි’ යි භික්ෂුණීන්ට කීවා ය.

සත්ත්වයන්ගේ ශරීර පමණක් නොව සිත් ද පෙනෙන ආශය - අධිමුක්ති පෙනෙන තථාගතයන් වහන්සේට නො දැනෙන්නට නො පෙන්නට කිසිවකුට උන්වහන්සේ වෙත නො යා හැකිය. රූපනන්දා සිතනු සමඟ තථාගතයන් වහන්සේ ඇය තමන්වහන්සේ වෙත පැමිණෙන බව දැන ගත් සේක. උන්වහන්සේ ඇයට කිනම් ධර්මයක් සුදුසු වේ දැයි සිතන්නාහු කටුවකින් කටුවක් ඉවත් කරන්නාක් මෙන් රූපගරුක වූ ඇගේ රූපතණ්හාව හා රූපමදය රූපයකින්ම දුරු කිරීම සුදුසු බව දැන වදාරා ඇය පැමිණෙන කල්හි ඇගේ රූපයට වඩා සිය ගුණයක් ශෝභන වූ රූපය ඇති සර්වාලංකාරයෙන් සැරසුණු තරුණ කතක රුවක් උන්වහන්සේට පවන් සලමින් ඉන්නා ආකාරයෙන් නිර්මාණය කර තැබූහ. ඒ රුව පෙනෙන්නේ තථාගතයන් වහන්සේට හා රූපනන්දා භික්ෂුණියට පමණෙකි. රූපනන්දා තථාගතයන් වහන්සේ වෙත ගොස් වැඳ උන්වහන්සේ සමීපයේ වු ඉතිරි රුව දැක, මේ කත සමීපයේදී මගේ රුව හංසියක ඉදිරියේ කැවිඩි රුවක් වැනිය’ යි තමාගේ රූපය ඕ තොමෝ ම පහත් කොට සිතුවා ය. ඇගේ රූප මදය බොහෝ දුරට සන්සිඳී ගියේ ය. ඇගේ සිත ඒ රූපයට ඇදී ගියේය. ඕ ඒ රූපායේ අවයව සියල්ල එකිනෙක බලමින් ඒවායේ ලස්සන සිතුවා ය. තථාගතයන් වහන්සේ රූපනන්දා භික්ෂුණියගේ සිත නිර්මිත රූපයට ඇදී ඇති බව දැක දහම් දෙසමින් ම ඒ රූපය මඳින් මඳ වෙනස් කලහ. මුලින් සෙළොස් අවුරුදු වයසේ සිටින්නියක බඳු ඒ රූපය විසි අවුරුදු වයසෙහි සිටින රුවක් කළහ. ඉක්බිති දරුවෙකු ලැබූ ඉතිරියක් බවට ද, මැදිවියේ සිටින රුවක් බවට ද, කෙස් පැසුණු ඇඟ රැළි වැටුණු දත් සැලූණු - කුදු ගැසුණු සැරමිටියක් ගත් ඉතිරි රුවක් බවටද පත් කොට දැක්වූහ. ඒ වෙනස් වීම දැකීමෙන් ඇගේ රූපරාගය දුරු වී ගියේ ය. ඉක්බිති ඒ රූපය රෝගාතුර කොට දැක්වූහ. එකෙණෙහි ඒ රුව බිම ඇද වැටී මහහඩින් කොඳිරිගාමින් මලමුත්‍ර ගොඬේ ඒ මේ අත පෙරළෙන්නට විය. රූපනන්දා රූපය කෙරෙහි අතිශයින් ම කලකිරිණ. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ රුව මළසිරුරක් කොට දැක්වූහ. එකෙණෙහි ම එය ඉදිමී එහි නවදොරින් ලේ සැරව හා පණු කැදලි වැගිරෙන්නට විය. බලූ කපුටු ආදීහු පැමිණ මළ සිරුර කන්නට විය. රූපනන්දා භික්ෂුණිය සියල්ල බලා සිට, ‘මේ ස්ත්‍රිය මෙතැන්හි ම ජරපත් වූවා ය. රෝගාතුර වූවා ය. මරණයට පත් වූවා ය. මාගේ මේ ශරිරයටත් එසේ ම ජරා - ව්‍යාධි - මරණ පැමිණෙන්නේ ය’ යි ආත්මභාවයේ අනිත්‍යතාව දුටුවා ය. ඇයට භවත්‍රය ගිනිගත් ගෙවල් සේ පෙනිණ. කරේ එල්ලූ කුණපයක් සේ පෙනිණ. ඇගේ සිත කර්මස්ථානාභිමුඛ විය. තථාගතයන් වහන්සේ ඇයට උපකාර වීම පිණිස:

‘ආතුරං අසූචිං පූතිං - පස්ස නන්දෙ සමුස්සයං,
උග්ඝරන්තං පග්ඝරන්තං - බාලානං අභිපත්තිතං,

-

යථා ඉදං තථා එතං - යථා එතං තථා ඉදං

ධාතුසො පුඤ්ඤතො පස්ස - මා ලොකං පුනරාගාමි,

භවේ ජන්දං විරාජෙත්වා - උපසන්තො චරිස්සසි.’

යන ගාථා වදාළ සේක ඒ දේශනාව අනුව සිත යවා භික්ෂුණිය සෝවාන් ඵලයට පැමිණියා ය. ඉක්බිති තථාගයන් වහන්සේ මතු මාර්ගත්‍රය සඳහා විදර්ශනාව පිණිස,

“අට්ඨීනං නගරං කතං - මංසලොහිතලෙපනං
යත්ථ ජරා ච මච්චූ ච - මානො මක්ඛො ච ඔහිතො”

යන ගාථාව වදාළ සේක. එය අසා රූපනන්දා භික්ෂුණිය ඉතිරි මඟපලවලට පිළිවෙළින් පැමිණ සව්කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියා ය.

(ධම්මපදට්ඨ කථා)

නපුරුකම් කරමින් සිටින්නා වු ඇතැම්හු අව්‍යාපාද ගරුකයෝ ය. කරුණාධ්‍යාශය ඇත්තෝ ය. ඔවුන් නපුරුකම් කරමින් සිටියදී ම තථාගතයන් වහන්සේ ඒ බව දන්නාහ. අංගුලිමාල මිනීමරමින් සිටියදී ම තථාගතයන් වහන්සේ ඔහු වෙත ගොස් ඔහුට දහම් දෙසුවේ උන්වහන්සේට ඔහුගේ අව්‍යාපාද ගරුකත්වය පෙනුණු නිසා ය. අනුන්ට බොහෝ උපකාර කරමින් ඉන්නා වූ ද ඇතැම්හු ව්‍යාපාද ගරුකයෝ ය. නපුරෝ ය. ඔවුන් අනුන්ට යහපත කරමින් ඉන්නා විටම තථාගතයන් වහන්සේ ඔවුන්ගේ ව්‍යාපාද ගරුක භාවය දැන ගන්නාහ. ශාන්තව සිටිය ද කිපෙන ස්වභාවය ඇති බවට වේදේභිකාගේ කථාව නිදසුනෙකි.

සැවැත් නුවර වේදේහිකා නම් ගැහැනියක් වූවා ය. ඇයට කටයුත්තෙහි දක්ෂ අනලස කාළි නම් දාසියක් වූවා ය. ‘වේදේහිකා අන් ගැහැනුන් සේ කුරිරු නැත. උඩඟු නැත. වේදේහිකා බොහොම හොඳය’ කියා ඇගේ ගුණ බොහෝ දෙනා කියන්නට වූහ. ඇගේ කීර්ති රාවය අසා කාළි සිතන්නී ‘වේදේහිකාගේ ගුණ බොහෝ දෙනා කියන්නාහ. ඇය මෙසේ ශාන්තව සිටින්නේ මා විසින් හොදට වැඩ කරන නිසා ද, නැතහොත් ඇගේ ගුණවත්කම නිසා දැ යි විමසිය යුතුය’ යි සිතා එක් දිනක් දවල් වන තුරු නිදා ගත්තා ය. එදින වේදේහිකා නො සතුටු ව බොල කාළියේ, මෙ පමණ දවල් වන තෙක් නිදා ගත්තේ තිට කුමක් වෙලා දැ යි? ඇසුවා ය. මොකොවත් වෙලා නැතැ යි කාළී කීවා ය. මේ පව්කාර දාසී කිසි කරුණක් නැතිව දවල් වන තුරු නිදාගත්තී ය’ යි වෙදේහිකා කිපී රවා බැලුවා ය.

‘මාගේ ආර්‍ය්‍යායට කෝපය නැත්තේ නො වේ. මා හොඳට වැඩ කරන නිසා ඕ ඇත්තා වු කෝපය පිට නොකරන්නී ය’ යි කාළී සිතා ගත්තා ය. ඕ තොමෝ තවත් ඒ ගැන විමසන්නට සිතා පසු පසු දින තවත් දවල් වන තුරු නිදා ගත්තා ය. වේදේහිකා ‘තී මෙපමණ දවල් වන තුරු නිදා ගත්තේ තිට කුමක් වෙලා දැ’ යි ඇසුවා ය. ‘කිසිවක් වී නැත, ආර්‍ය්‍යාවෙනි’ යි කාළී කීවා ය. එදා වේදේහිකා කිපී කාළීට සැර කළා ය.

වේදේහිකා ගේ කෝපය ගැන තවත් විමසුනු පිණිස කාළී තුන්වන දිනයේ තවත් දවල් වී නැගිට්ටාය. එදින වේදේහිකා ‘කුමට මෙපමණ දවල් වන තෙක් නිදන්නී දැ’ යි කාළිගෙන් අසා ‘කිසි කරුණක් නැත’ ය යි කී කල්හි හොඳට ම කිපී දොරට දමන පොල්ල ගෙන කාළීට ගසා ඇගේ හිස පැලූවා ය.

කාළී හිසෙන් ලේ ගලමින් තිබියදී ම සමීප ගෙවලට ගොස් ‘නුඹලා හොඳය කියන වේදේහිකාගේ සැටි බලන්න. ඕ තොමෝ දවල් වී නැගිට්ටාය කියා එක දාසියක් ඇති ගෙදර වැඩ සියල්ලම තනිව කරගෙන සිටින මට පොල්ලකින් ගසා මාගේ ඔලූව පැලූවා ය’ යි කීවා ය. වේදේහිකාගේ කීර්තිය එයින් කෙළවර විය. වේදේහිකා වැනි අයගේ කෝප වන ස්වභාවය ඔවුන් ශාන්තව සිටින විට ම තථාගතයන් වහන්සේ දන්නාහ.

(කකචූපම සුත්ත)

අනුශය යන අප්‍රහීන භාවයෙන් සත්ත්වසන්නාතයෙහි පවත්නා කාමරාගාදීහු ය. කාමරාගානුශය, භවරාගානුශය, ප්‍රතිඝානුශය, මානානුශය. දෘෂ්ට්‍යානුශය, විචිකිත්සානුශය, අවිද්‍යානුශය යි අනුශය නාමයෙන් දැක්වෙන ධර්මයෝ සත්දෙනෙකි.

ලෝකෝත්තර මාර්ගඥානය උපදවා එහි බලයෙන් කාමරාගාදිය ප්‍රහාරණය නො කළ සහමුලින් නො නැසූ පුද්ගලයන්හට කාමරාගය ඇති වීමට හේතු වන සුන්දර රූපයක් මුණගැසුණු විටදී කාමරාගය උපදී. මාර්ගයෙන් කාමරාගය ප්‍රහාණය කළ අනාගාමීන්ට හා රහතුන්ට කොතරම් ශෝභන රූපයක් මුණ ගැසුණ ද කාමරාගය නූපදී. රාගයට හේතු වන ආරම්මණ ලද පෘථග්ජනයාට කාමරාගය ඇති වන්නේත් අනාගාමීන්ට හා රහතුන්ට එය ඇති නො වන්නේත් කිනම් කරුණකින් දැ යි විමසිය යුතු ය. ඉෂ්ටාරම්මණය මුණගැසීමේදී පෘථග්ජනයාට කාමරාගය ඇති වන්නේ ඔහු තුළ ඒ කාමරාගය එක්තරා සියුම් ආකාරයකින් තිබුණූ බැවිනි. අනාගාමීන්ට හා රහතුන්ට ඇති නො වන්නේ ඔවුන් තුළ එසේ පවත්නා කාමරාගයක් නැති නිසා ය. ඉෂ්ටාරම්මණය මුණ ගැසුණු විට පෘථග්ජනයාට කාමරාගය නැගී එන නිසා ඔහු තුළ කාමරාගය ඇති වන බව කියනු මිස ඔහු තුළ අසවල් තැන අසවල් ආකාරයෙන් ඒ කාමරාගය රැඳී ඇතය කියා දැක්විය හැකි ආකාරයකින් ඒ කාමරාගය නැත. නො දැක්විය හැකි ආකාරයෙන් අන්‍යන්ට තබා, ඇති පුද්ගලයාට ද, ඇති බව නො දැනෙන්නා වු ආකාරයෙන් පවත්නා ක්‍රියාකාරිත්වයක් නැති ක්ලේශයන් නිදා සිටින්නවුන් වැනි නිසා ඒවාට අනුශය යි කියනු ලැබේ. කරුණක් ලැබ උපන් කල්හි ද ඒවාට ඒ නමම කියනු ලැබේ. අනුශයිත ක්ලේශය ඉතා සියුම් ය. ඒවා සත්ත්වසන්තානයෙහි නිරතුරුවම ඇත්තේ ය. එහෙත් කුශලයට ඒවායින් බාධාවක් නැත. දන් දෙන තැනැත්තා කෙරෙහි දන් දෙන වෙලාවේදී ඒවා ඇත. භාවනා කරන තැනැත්තාට භාවනා කරන වේලාවෙහි ද ඒවා ඇත. ධ්‍යාන ලබා ධ්‍යානයට සමවැදී ඉන්නා තැනැත්තා කෙරෙහි ද ඒවා ඇත. සෝවාන් සකෘදාගාමී අනාගාමී පුද්ගලයන් කෙරෙහි ද ඇතැම් අනුශය ධර්ම ඇත. ඒවා නැත්තේ රහතුන් කෙරෙහි පමණෙකි.

ඇතැමෙන් කෙරෙහි අනුශයිත කෙලෙස් වර්ෂ බොහෝ ගණන්, වරකුදු නැඟ එන්නේ නැති ව අනුශයිතාකාරයෙන් ම පවතී. ඇතය කියා සැලකීමට කිසිම ලකුනක් නැති ඒ කෙලෙස් තමා තුළ ඇති බව ඒ පුද්ගලයෝ ද නො දනිති. එහෙත් තථාගතයන් වහන්සේ එවා දනිති. සත්පුරුෂයන් සේවනය කරන, ධර්මය සේවනය කරන, නුවණ ඇති අයට අනුශයිත කෙලෙසුන් නැගී එනවා අඩු ය. අපට ලෝභය නැත, රාගය නැත, ක්‍රෝධය නැත, අප පව් කරන්නේ නැත කියා ඒ කෙලෙස් නැගී සිටීමේ අඩුකම නිසා ඇතැම්හු තමන් ගැන රැවටෙති. සමහර විට කලාන්තරයක් නො නැඟිට සිටි ක්ලේශය නිතර නැඟී එන ක්ලේශයට වඩා නපුරු අන්දමින් නැඟී එන්නේ ය. එයට සාධක බොහෝ දැක්විය හැකි ය.

එක් කලෙක අප මහබෝසතාණෝ ධ්‍යාන උපදවා කාමරාගය යටපත් කර ගෙන සිට බඹලොව ඉපිද එහි ද බොහෝ කලක් කාමරාගය යටපත් කරගෙන සිට එයින් චුත ව මිනිස්ලොව රජ ගෙදරක උපන්හ. දිර්ඝ කාලයක සිට කාමරාගය යටපත් කරගෙන සිටින කුමරා ස්ත්‍රීන් දැකීමට පවා කැමති නො වීය. ඔහු ස්ත්‍රීන් අත නො සිටින්නේ ය. ස්ත්‍රීයක් අතට ගත හොත් කුමාරයා හඬන්නට වන්නේ ය. ඔහුට කිරි පෙවීම සඳහා කිරි මව්වරුන්ට පිරිමි වෙස් ගන්වන්නට සිදු විය. ඔහු වැඩිවිය පැමිණ පසු ද විවේකාගාරයකට වී ධ්‍යානයෙන් වාසය කළේ ය. එසේ සම්පූර්ණයෙන් ස්ත්‍රින්ගෙන් ඈත් වී සිටින කුමාරයාගේ අනුශයිත කාම රාගය රජුගේ මෙහෙයීමෙන් තරුණ නාටිකාවක් විසින් ප්‍රබෝධ කරනු ලැබී ය. ඔහුට කාමරාගය කොතරම් බලවත් ලෙස නැගී සිටියේ ද කියත හොත් කාමරාගයෙන් අන්ධ වී ‘මේ කාමරසය මා විසින් පමණක් විඳිය යුතුය, සෙස්සන්ට මේ රසය ලැබීමට ඉඩ නො දිය යුතුය’ යි ඔහු පුරුෂයන් මරන්නට පටන් ගත්තේ ය. එයින් පිය රජුට ඔහු රටෙන් පිටු වහල් කරන්නට සිදු විය. විස්තර ජාතක පොතෙන් දත හැකි ය. මහාපලෝභන ජාතකය යන නමින් මේ කථාව ජාතක පොතේ දක්වා තිබේ.

චරිතය යනුවෙන් මෙහි දැක්වෙන්නේ ඒ ඒ පුද්ගලයන් විසින් අතීතයෙහි කර ඇති පින්පව් දෙක ය. ‘කතමඤ්ච සත්තානං චරිතං? පුඤ්ඤාභිසංඛාරෝ, අපුඤ්ඤාභිසංඛාරො, ආනෙඤ්ජාභිසංඛාරෝ පරිත්තභූමකො වා මහාභූමකො වා ඉදං සත්තානං චරිතං’ යනුවෙන් ඒ බව විභංගපාළියෙහි දක්වා ඇත්තේ ය. අතීතයෙහි කළ පින් පව් දෙකොටස ම සකල සත්ත්වයනටම ඇත්තේ ය. සිටු වීමට රජ වීමට රහත් වීමට තරම් අතීතයෙහි කළ පින් ඇත්තා වූ අය සමහර විට කිසි පිනක් නැතියවුන් සේ ඉතා පහත් අන්දමින් ජිවත් වෙති. බුදුරදුන් ජීවමාන කාලයේ රජගහනුවර විසූ සුනීත නම් සැඩොලා එබඳු කෙනෙකි

අනු මාතෘකා
keyboard_arrow_rightසුනීතගේ කථාව,