සර්වඥතාඥානය

පටිසම්භිදාමග්ගයේ සෝළස පඤ්ඤානිද්දේසයේ තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය මෙසේ විස්තර කර ඇත්තේ ය.

“නත්ථි තස්ස භගවතෝ අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති”

යං කිඤ්චි නෙය්‍යං නාම අත්ථි, තං සබ්බං ජානිතබ්බං අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගුළ්හො වා අත්ථො පටිච්ජන්නෝ වා අත්ථො නෙය්‍යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො වා අත්ථො පරමත්ථො වා අත්ථො සබ්බං තං අන්තොබුද්ධඤාණෙ පරිවත්තති.

සබ්බං කායකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති, සබ්බං වචී කම්මං බුද්ධස්ස භගවතො ඤණානුපරිවත්ති, සබ්බං මනොකම්මං බුද්ධස්ස භගවතෝ ඤාණානුපරිවත්ති.

අතීතේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඤාණං, අනාගතේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඤාණං පච්චුප්පන්නේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඤාණං.

යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං, ඤාණපරියන්තිකං නෙය්‍යං, නෙය්‍යපරියන්තිකං ඤාණං නෙය්‍යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා නෙය්‍යපථො නන්ථි, අඤ්ඤමඤ්ඤ පරියන්තට්ඨායිනො තෙ ධම්මා, යථා දිවින්නං සමුග්ගපටලානං සම්මා ඵුසිතානං හෙට්ඨිමං නාතිවත්තති, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො, එවමෙව බුද්ධස්ස භගවතෝ නෙය්‍යඤ්ච ඤාණඤ්ච අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො, යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං යාවතකං ඤාණං තාවතකං නෙය්‍ය, නෙය්‍ය පරියන්තිකං ඤාණං ඤාණපරියන්තිකං නෙය්‍යං, නෙය්‍යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා නෙය්‍යපථො නන්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා, සබ්බෙසු ධම්මෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති.’

තේරුම:

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නො දන්නා ලද්දක් නො දක්නා ලද්දක් ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නො කරන ලද්දක්, ඥානයෙන් ස්පර්ෂ නො කරන ලද්දක් නැත. අතීත වු ද, අනාගත වු ද, වර්ථමාන වු ද සකලධර්‍මයෝ සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥාන මුඛයෙහි පෙනී සිටින්නාහ.

නෙය්‍ය නම් වු යම් කිසිවක් ඇති නම් ඒ දත යුතු සියල්ල ආත්මාර්ථය හෝ වේවා, පරාර්ථය හො වේවා. උභයාර්ථය හෝ වේවා, දෘෂ්ටධාර්මිකාර්ථය හෝ වේවා, සාම්පරායිකාර්ථය හෝ වේවා, නො ගැඹුරු අර්ථය හෝ වේවා, ගම්භීරාර්ථය හෝ වේවා, ගූඪාර්ථය හෝ වේවා, ප්‍රච්ඡන්නාර්ථය හෝ වේවා, නෙය්‍යාර්ථය හෝ වේවා, නීතාර්ථය හෝ වේවා, අනවර්ථය හෝ වේවා, නික්ලේශාර්ථය හෝ වේවා ව්‍යවදානාර්ථය හෝ වේවා, නිර්වාණසංඛ්‍යාත පරමාර්ථය හෝ වේවා, ඒ සියල්ල බුද්ධ ඥානය තුළ පරිවර්තනය වෙයි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කායකර්ම සියල්ල ඥාණය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වාක්කර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මනඃකර්ම සියල්ල ඥානය අනුව පවතී.

භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අතීතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අනාගතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය වර්තමානයෙහි සැපීමක් නැත.

ඥෙය යම් පමණ නම් ඥානය ද එපමණ වේ. ඥෙය, ඥානය හිමි කොට ඇත්තේ ය. ඥානය, ඥෙයය හිමි කොට ඇත්තේ ය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ ඔවුනොවුන් පර්යන්ත කොට සිට්න්නාහ. කටවල් මැනවින් හේත්තු වන සේප්පුවක් වැසූ කල්හි යම් සේ උඩුපියන යටිපියන ඉක්මවා නොසිටී ද, යටිපියන උඩුපියන ඉක්මවා නොසිටී ද, යම් සේ ඒ දෙක ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ වේ ද, එමෙන්ම භාග්‍යවත් බුදුරදුන්ගේ ඥාණය හා ඥෙයය ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ ය. යම් පමණ ඥෙයය වේද ඥාණයද එපමණ වේ. ඥානය යම් පමණද ඥෙයය එපමණය. ඥානය, ඥෙයය කෙළවර කොට ඇත්තේය, ඥෙයය, ඥානය කෙළවර කොට ඇත්තේය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන් කෙළවර කොට සිටින්නෝ ය. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය සකල ධර්මයන්හි පවත්නේය.

සර්වඥතාඥානය සකළධර්ම විෂයෙහි කිසි තැනක පැකිළීමක් ගැටීමක් ආවරණයක් නැතිය ගමන් කරන බැවින් එයට අනාවරණඥාන යයි ද කියනු ලැබේ. සර්වඥතාඥානය ඇති බැවින් බුදුරදුන්ට සියල්ල නිරතුරුව පෙනෙමින් පවත්නේ නොවේ. ඒ ඥානය ඇති කල්හි නො දත හැකි නො දැකිය හැකි දෙයක්ද නැත. ආවර්ජනා කරන කරන සියල්ල ඉතා පිරිසිදු ලෙස ඒ ඥානයට පෙනෙන්නේය. එය ලොවුතුරා බුදුනට පමණක් ඇති අන් කිසිවකුට නැති විශේෂ ඥානයකි. එහි තතු සෙස්සන් විසින් නො දැකිය හැකිය. ඒ ඥානයේ සැටි කෙසේද? එක් පුද්ගලයෙකුට පමණක් එබදු ඥාණයක් ඇතිවිය හැකිද? බුදුරදුන් ඒ ඥානයෙන් එක විටම සියල්ල දුටුයේද? එකිනෙක වෙන් වශයෙන් බලා දැන සර්වඥ වුයේද? යනාදීන් සාමාන්‍ය ජනයා විසින් නො සිතිය යුතුය. ඒ සිතීම අනථිකරය. එබැවින් තථාගතයන් වහන්සේ විසින්,

‘බුඬානං භික්ඛවේ, බුද්ධවිසයො අචින්තෙය්‍යො. න චින්තිතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’

(අංගුත්තර චතුක්කනිපාන 238)

යනු වදාරණ ලදී. ‘මහණෙනි, බුදුන්ගේ බුද්ධවිෂය නො සිතිය යුතු ය. එය සිතන්නේ උමතු බවටත් වෙහෙසටත් පත්වන්නේය’ යනු එහි තේරුම ය.