වට්ටගාමිණි රජුගේ කාලයේදී ලක්දිව දොළොස් වසක නියඟයක් පැවතිණ. ගොවිතැන් පාළු වී ගියෙන් ජීවත්වීමේ ක්‍රමයක් නැති ව බොහෝ මිනිස්සු වනගත වූහ. ඒ කාලයේ ම තිස්ස නම් බ්‍රාහ්මණයෙක් පිරිස් බලය ඇති කර ගෙන රට පෙළන්නට විය. ඒ නිසා ද ජනයාට නගරග්‍රාමයන්හි විසීම අපහසු විය. තිස්ස බ්‍රාහ්මණයා මුල් කොට ඇති වූ මේ විපත බ්‍රාහ්මණ තිස්සභය නමින් හඳුන්වා තිබේ.
විපත්තිකාලය එළඹ සිටන කල්හි සැමදෙය ම විනාශ වේ. එකල සිතුල්පව් වෙහෙර දොළොස් දහසක් භික්ෂූහු විසූහ. තිස්සමහාවිහාරයෙහි ද එපමණ ම භික්ෂූහු විසූහ. ඒ විහාර දෙක්හි තුන්තුන් අවුරුද්දට සෑහෙන තරමට වී තිබිණ. සියල්ල ම මීයන් විසින් කා දමන ලද්දේ ය. සිතුල්පව්වේ භික්ෂූන් වහන්සේ “තිස්සමහාවිහාරයෙහි වී ඇතැ”යි සිතා එහි යන්නට පිටත් වූහ. තිස්සමහාවිහාරයේ සංඝයා වහන්සේද “සිතුල්පව්වෙහෙර වී ඇතැ”යි සිතා එහි යන්නට පිටත් වූහ. විහාර දෙක්හි සංඝයා වහන්සේ එක් ගැඹුරු කඳුරක් සමීපයේ හමු වී ඔවුනොවුන් කථා කොට විහාර දෙක්හි වී ඉවර වී ඇති බව දැන “තැනින් තැන යාමෙන් කිනම් ප්‍රයොජනයක් දැ”යි සිතා ගැඹුරුකඳුරු වනයට පිවිස තැන් තැන්වල වැඩ හිඳ සැමදෙනා වහන්සේ ම හිඳිනා ඉරියවුවෙන් පිරිනිවී ගියාහු ය. උන්වහන්සේලාගේ සිරුරු ආදාහන කරන්නට කෙනෙක් එකල එහි නො වූහ. විපත්තිකාලය ඉක්ම ගිය පසු එකල විසූ සංඝයා විසින් ඒ රහතුන්ගේ ධාතුන් රැස් කර චෛත්‍යයක් කරවන ලද්දේය.
තිස්ස බ්‍රාහ්මණයා රට වැනසීම නො නවත්වා ම කර ගෙන ගියේ ය. ඒ උවදුරු නැවැත්වීම සඳහා මහා සංඝයා වහන්සේ රැස් ව කථා කර තෙරුන් වහන්සේලා අටනමක් සක්දෙව් රජුවෙත යැවූහ. සක්දෙව් රජු මේ විපත තමාට නො සන්සිඳවිය හැකිබව කියා සංඝයා වහන්සේට මුහුදින් එතරට වැඩම කරන ලෙසත් මුහුදේදී තමා ආරක්ෂාව සලසන බවත් කීය. නානාදිශාවන්හි විසූ භික්ෂූන් වහන්සේ නාගදීපයට රැස්වී දඹකොළපටුනෙහි මහපසුරක් බැඳවූහ. එහි වැඩ අවසන් වූ පසු පරතෙර යනු පිණිස සංඝයා වහන්සේ එයට නැඟ වැඩහුන්හ. සංයුත්තභාණක චූළසීව තෙරුන් වහන්සේ ය, ඉසිදත්ත තෙරුන් වහන්සේ ය, මහාසෝණ තෙරුන් වහන්සේ ය යන තෙනම ඒ පිරිසෙහි ප්‍රමුඛයෝ වූහ. උන්වහන්සේලාගෙන් දෙනමක් මහාසෝණ තෙරුන් වහන්සේට පසුරට නගින්නට කීහ. “නුඹවහන්සේලා කුමක් කරන්නහු දැ”යි මහාසෝණ තෙරණුවෝ ඇසූහ. අපි මෙහි ම නවතින්නෙමු. ඔබ නිසා අනාගතයෙහි බුදුසස්න රැකෙන්නේ ය. ඒ නිසා ඔබ යන්නය”යි උන්වහන්සේලා කීහ. “ස්වාමීනි, නුඹවහන්සේලා නො යන්නාහු නම් මම ද නො යමි, මට ද නුඹවහන්සේලාට වන දෙයක් වේවා”යි කියා මහාසෝණ තෙරණුවෝ ද නො ගියහ. සෙසු භික්ෂූහු දිවිරැක ගනු පිණිස පරතෙර ගියහ.
චූලසීව තෙරණුවෝ ඉසිදත්ත තෙරුන් වහන්සේ අමතා “ඇවැත්නි, මහාසෝණස්ථවිරයන් නිසා අනාගතයෙහි ශාසනපරම්පරාව පවතින්නේ ය. එබැවින් ඒ ආයුෂ්මතුන් අත නො හරිනු මැනව”යි කීහ. “නුඹ වහන්සේ කුමක් කරන්නහු දැ”යි ඇසූ කල්හි “මම මහසෑය වඳින්නට යෙමි”යි කීහ. උන්වහන්සේ අනුරාධපුරය බලා වැඩම කොට මහාවිහාරයට පැමිණියහ. දහස් ගණනින් භික්ෂූන් සිටි මහා විහාරය පාළුබිමක්ව තිබිණ. මහසෑමලූවෙහි එරඬු ගස් වැවී තිබිණ. සෑයෙහි සෙවෙල් බැඳී තැනින් තැන වල් පැළෑටිවලින් වැසී තිබිණ. තෙරණුවෝ ජීවමාන බුදුරදුන්ට සෙයින් ගෞරව දක්වා චෛත්‍ය වැඳ පැදුම්දිග ශාලාවකට පිවිස ඉමහත් සංවේගයෙන් චෛත්‍යයට සිදු වී ඇති විපත ගැන සිතමින් සිටියහ.
සමීපයේ ගසක වෙසෙන දෙවියෙක් තෙරුන් වහන්සේ දැක සකුරු හා සහල් නැළියක් ගෙන මගියකුගේ වෙසින් උන්වහන්සේ වෙත පැමිණ “ස්වාමීන් වහන්සේ කොහි වඩනා සේක්දැ”යි ඇසීය. “උපාසකය, මම දකුණට යෙමි”යි තෙරණුවෝ කීහ. “එසේ නම් මමත් නුඹ වහන්සේ සමඟ ම යෙමි”යි මගියා කීය. “උපාසකය, දුබල වූ මට ඔබ යන හැටියට නො යා හැකි ය. ඔබ යන්න” යයි තෙරණුවෝ කීහ. “මම ද නුඹ වහන්සේ යන පරිදිම යෙමි ය” කියා මගියා තෙරුන් වහන්සේගේ පා සිවුරු ගත්තේ ය. තිසා වැව සමීපයට පැමිණි කල්හි මගියා තෙරුන් වහන්සේට ගිලන්පසක් සාදා පිළිගැන්වී ය. එයින් තෙරුන් වහන්සේට තරමක ශක්තියක් ඇති විය. එයින් ගොස් වේණු නදී තීරයේ පාළු පන්සලකට පැමිණි මගියා තෙරුන් වහන්සේට වාසස්ථානයක් පිළියෙල කර දුන්නේ ය. පසු දින උදයේ මගියා තෙරුන් වහන්සේට කැඳ පිස පිළිගැන්වී ය. ඉක්බිති මගියා බත් පිස දාවල් කාලයේ තෙරණුවන්ට පිළිගැන්වී ය. තෙරුන් වහන්සේ “ඔබටත් බත ඉතිරි කර ගන්න”යි කියා පාත්‍රය අතින් වැසූහ. මගියා “මට තව වැඩිදුරක් යන්නට නැත” කියා සියල්ල තෙරුන් වහන්සේගේ පාත්‍රයට බෙදුවේය. තෙරුන් වහන්සේ වළදා අවසන් කළ පසු මගියා උන්වහන්සේගේ පා සිවුරු ගෙන යන්නේ දැදුරුඔය සමීපයට පැමිණ “ස්වාමීනි, අර දුමක් පෙනෙන්නේ කොළ කා ජීවත්වන මිනිසුන්ගේ වාසස්ථානයක ය, මම කලින් එහි යමි ය” කියා තෙරුන් වහන්සේ වැඳ මගීවෙසින් සිටි දෙවියා ඔහුගේ භවනට ගියේ ය. තෙරුන් වහන්සේ දුර්භික්ෂ කාලය ඉක්මෙන තුරු කොළ කන මිනිසුන් ඇසුරෙන් එහි විසූහ.
ඉසිදත්ත මහාසෝණ යන තෙරුන් වහන්සේලා දෙනම චාරිකාවෙහි හැසිරෙන්නාහු අළ ජනපදයට පැමිණියෝ ය. එහි එක් තැනක මිනිසුන් විසින් ඇට ගෙන ඉවත ලා ගිය මී පොතු රැසක් තිබිණ. ඉසිදත්ත තෙරුන් වහන්සේ ඒවා දැක “ඇවැත්නි, ආහාරයක් පෙනේ ය”යි මහාසෝණ තෙරුණුවන්ට කියා සිවුරු පොරවා ථවිකාවෙන් පාත්‍රය අතට ගෙන එහි සිටියහ. ගම්දරුවෝ තෙරුන් වහන්සේ පාත්‍රය ගෙන සිටිනු දැක “මුන්වහන්සේට මී පොතු වුවමනා වී ඇතැයි”යි සිතා ඒවා ගෙන වැලි පිස තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි බහා පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා දෙනම මී පොතු වැළඳූහ. උන්වහන්සේලාට සතියකට ම ආහාරය වූයේ එය ය. ක්‍රමයෙන් යන්නා වූ තෙරුන් වහන්සේලා චෝරියස්සර නම් විල්තෙරට පැමිණියෝ ය. මිනිසුන් මල් ගෙන ඉවත දමා ගිය නෙළුම් දඬු එහි තිබිණ. ඉසිදත්ත තෙරුන් වහන්සේ ඒවා දැක පෙර සේම පාත්‍රය අතට ගෙන ඒ සමීපයෙහි සිටියහ. ගම්දරුවෝ එසේ ඉන්නා තෙරුන් වහන්සේ දැක නෙළුම් දඬු පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා ඒවා වැළඳූහ. උන්වහන්සේලාට සතියකට ආහාරය වූයේ එය ය. මේ තෙරුන් වහන්සේලා දිවි යතත් තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති සිකපද කඩ නො කරන්නාහ. සෙසු මිනිසුන් මෙන් වනයෙහි ඇවිද ආහාරයට ගත හැකි කොළ පොතු අල සොයා උන්වහන්සේලා නො වළඳා මෙසේ දැඩි දුක් විඳින්නේ සිකපද කඩ නො වනු සඳහා ය.
මෙසේ ක්‍රමයෙන් යන්නා වූ තෙරුන් වහන්සේලා කැලෑ කොළ වලින් ජීවත් වන මිනිසුන් වෙසෙන ගමක් සමීපයට පැමිණියෝ ය. එහි එක් දැරියකගේ මාපිය දෙදෙන “ආර්‍ය්‍යන් වහන්සේ නමක් පැමිණිය හොත් යන්නට නො දී නවතා ගන්නය”යි දුවට කියා ආහාරයට යමක් සොයනු පිණිස වනයට ගියෝ ය. ඕ තෙරුන් වහන්සේලා දැක පාත්‍ර ගෙන අසුන් පනවා හිඳවා ගත්තා ය. උන්වහන්සේලාට ආහාරයක් සම්පාදනය කොට පිළිගැන්වීමට ගෙයි කිසිවක් නො තිබිණ. ඕ වෑය ගෙන ගසකින් පොතු ගලවා ඒවා ඔලිඳ කොළ ද සමග වනෙහි ලා කොටා ගුළි තුනක් සාදා එකක් ඉසිදත්ත තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි ද එකක් මහාසෝණ තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි ද තැබුවා ය. දැරිය ඉතිරි ගුළිය ඉසිදත්ත තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි තබන්නට අත දිගු කෙරෙත් ම මහාසෝණ තෙරුන් වහන්සේගේ පාත්‍රය දෙසට අත ඉබේම හැරී යාමෙන් ඉතිරි ගුලිය මහා සෝණ තෙරණුවන්ගේ පාත්‍රයෙහි තැබුවා ය. එකල්හි ඉසිදත්ත තෙරණුවෝ “බ්‍රාහ්මණතිස්ස භයේදී රුක්පොතු ගුළිය සම්බන්ධයෙන් විපාක දෙන කර්මය කාලසම්පත්තියේ දී කොපමණ විපාක දෙනු ඇති දැ”යි කීහ. උන්වහන්සේලා ඒවා වළදා දැරිය විසින් පෙන්වූ වාසස්ථානයට වැඩම කළහ. මාපියන් පැමිණි කල්හි දැරිය තෙරුන් වහන්සේලා පැමිණි ඇති බව ඔවුනට කීවා ය. මාපිය දෙදෙන තෙරුන් වහන්සේලා වෙත ගොස් වැඳ “ස්වාමීනි, අපිට ලැබෙන සැටියකින් නුඹවහන්සේලාට සත්කාර කරන්නෙමු. නුඹවහන්සේලා මෙහි ම වෙසෙන සේක්වා”යි ආරාධනා කළෝ ය. උන්වහන්සේ දෙනම භය දුරු වී රට සුභික්ෂ වන තුරු එහි විසූහ. සැදැහැවත් බෞද්ධයා විපතේ දී ද භික්ෂූන් වහන්සේ අමතක නො කරන බව මේ පුවතින් දත හැකිය.
විපත්තිකාලය ඉක්ම ගිය පසු මුහුදින් එතෙර ගිය භික්ෂූන් වහන්සේ පෙරළා පැමිණ මහාසෝණ තෙරුන් වහන්සේ වෙසෙන තැන අසා එහි ගියෝය. තෙරුන් වහන්සේ භික්ෂූන් පන්සියයක් සමඟ කාළක නම් ගම මණ්ඩලාරාම විහාරයට වැඩම කළහ. ඒ ගමහි පවුල පන්සියයක් විසූහ. එදින රාත්‍රියේ දේවතාවෝ ගමෙහි ගෙයක් නො හැර ගොස් “මහාසෝණ තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ හා මණ්ඩලාරාම විහාරයට පැමිණ සිටින්නාහ. සෙට හැමගෙයකින් ම කහවණුවක් අගනා පිණ්ඩපාතය සමග නවරියන් සළුවක් උන්වහන්සේට පිරිනමන්නය”යි කීවෝ ය.
පසු දින තෙරුන් වහන්සේලා කාළක ගමට පිඬු පිණිස පිවිසියෝ ය. ගැමියෝ උන් වහන්සේලා වඩා හිඳුවා කැඳ පිළිගැන්වූහ. ඒ පිරිසෙහි මණ්ඩලාරාමවාසී තිස්සභූති තෙරණුවෝ සංඝස්ථවිරයෝ වූහ. එක් මහා උපාසකයෙක් පැමිණ උන්වහන්සේ වැඳ “හිමියනි, මහාසෝණ ස්ථවිරයෝ නම් කවුරුදැ”යි ඇසී ය. එසමයෙහි මහාසෝණ තෙරණුවෝ නවකයෝය, උන්වහන්සේ වැඩ සිටියේ පිරිස කෙළවරය. තෙරුන් වහන්සේ අත දිගු කොට “මහාසෝණ ස්ථවිර මොහුය”යි දැක්වූහ. උපාසක තෙමේ තෙරණුවන් වැඳ පාත්‍රය ගන්නට තැත් කෙළේ ය. මහාසෝණ ස්ථවිරයෝ වැඩිමාළු තෙරවරුන් ඇති බැවින් තමන් ගේ පාත්‍රය උපාසක තැනට නො දෙති. එකල්හි තිස්සභූති තෙරණුවෝ “ඇවැත්නි සෝණ, මේ කිමෙක්දැයි ඔබ නො දන්නාක් මෙන් අපි ද නො දනිමු, පින් ඇතියනට දේවතාවෝද සංග්‍රහ කෙරෙති, එබැවින් පාත්‍රය දෙන්නය”ය කීහ. තෙරුන් වහන්සේ උපාසක තැනට පාත්‍රය දුන්හ. ඔහු කහවණුවක් අගනා පිණ්ඩපාතය එහි තබා නවරියන් සළුවක් පාත්‍රයට යටින් තබා ගෙනවුත් උන්වහන්සේට පිරිනැමීය. එසේ සත්සිය දෙනෙක් ම උන්වහන්සේට නවරියන් සළුවක් සහිත කහවණුව බැගින් අගනා පිණ්ඩපාතය පිරිනැමූහ.
තෙරණුවෝ තමන්ට වූ ලාභයෙන් මහාසංඝයාට සංග්‍රහ කොට මහසඟන හා අනුරාධපුරයේ මහාවිහාරයට ගොස් මහාබෝධිය හා මහසෑය වැඳ ථූපාරාම විහාරයෙහි සිට සිවුරු පොරොවා මහසඟන සමඟ දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙන්නාහු දොරටුවෙහි සිට වළඳනා ශාලාව තෙක් මාර්ගයේදී ම කහවණු සැටක් අගනා පිණ්ඩපාතය ලැබූහ. ඉන් ඔබ්බෙහි ලැබූ සත්කාර අප්‍රමාණ විය. මෙතෙක් ලැබීමට පින් ඇති සෝණ තෙරුන් වහන්සේට කාල විපත්තියේදී මීපොතු නෙළුම්දඬු හෝළුදඩු කැලෑ කොළ ද දුලබ විය. කාලසම්පත්තියේ සියගණනකට සෑහෙන්නට ප්‍රත්‍යය ලබා දීමේ ශක්තිය ඇති මහාසෝණ තෙරුන් වහන්සේගේ පින විපත්ති කාලයේදී කැලෑකොළ පමණවත් සෑහෙන්නට ලබාදීමට නො සමත් විය.