“ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං, අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො සෙය්‍යථිදං? සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මා ආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි”
(ධම්මචක්කප්පවත්තන සූ.)
“මහණෙනි, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ම දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය ය. ඒ කවරේ ද? සම්මාදිට්ඨී සම්මාසංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යන මේ අට ය” යනු එහි තේරුම ය.
දුකින් මිදීමේ ක්‍රමය: නියම සැපය, ථිර සැපය ලැබීමේ ක්‍රමය සෙවූ භාග්‍යවතුන් වහන්සේට කිසිවකුගෙන් නො අසා කිසිවකුගෙන් උපදේශයක් නො ලබා මේ අෂ්ටාංගික මාර්ගය නිවනට පැමිණීමේ මාර්ගය බව අවබෝධ විය.
තථාගතයන් වහන්සේ චක්ෂුස ඒකාන්ත දුකක් බවත් එය ඇති කරන ප්‍රධාන හේතුව තණ්හාව බවත් ඒ දෙක්හි නො පැවැත්ම නිවන බවත් අෂ්ටාංගික මාර්ගය නිවන් ලැබීමේ උපාය බවත් දැන වදාළ සේක. එසේ ශ්‍රෝත්‍රස දුක බවත් එය ඇති කරන මූල හේතුව තණ්හාව බවත් ඒ දෙක්හි නො පැවැත්ම නිවන බවත් අෂ්ටාංගික මාර්ගය ඒ නිවන ලැබීමේ උපාය බවත් දැන වදාළ සේක. මෙසේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද කාලත්‍රයට අයත් නො වූ ද සියල්ල සම්බන්ධයෙන් ම චතුස්සත්‍යය අවබෝධ කර වදාරා සර්වඥත්වයට පැමිණ වදාළ සේක.