නිරෝධ සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවේ, දුක්ඛනිරොධං අරියසච්චං, යො තස්සායෙව තණ්හාය අසෙස විරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො.”

(ධම්මචක්කප්පවත්තන සු.)

මේ නිරෝධසත්‍ය දේශනාව ය. “මහණෙනි, උපදානස්කන්ධ සංඛ්‍යාත භවය නැවත නැවත ඇති කරන ඒ තෘෂ්ණාවෙහි නිරවශේෂ නිරෝධයවූ යම් නිවනක් වේ ද යම් නිවනක් නිසා ඒ තෘෂ්ණාව අත් හැරීමක් විසි කර දැමීමක් දුකින් මිදීමක් වේ ද පඤ්චකාමගුණ සංඛ්‍යාත ඇලෙන තැන් නැති ස්වාභාවයක් වේ ද එය දුඃඛ නිරෝධාර්‍ය්‍යසත්‍යය ය” යනු එහි තේරුම ය. එහි කෙටි අදහස නිවන ම නිරෝධසත්‍යය යනු යි.

ජාති ජරා ව්‍යාධි මරණාදි දුක්වලින් පෙළෙමින් දුඃඛස්කන්ධයක් වන පඤ්චෝපාදානස්කන්ධයම ආත්ම කොට වෙසෙන සත්ත්වසමූහයාට පිහිටක් සොයන්නාවූ භාග්‍යවතුන් වහන්සේට ලෝකත්‍රයෙහි කිසිම තැනක කිසිම භවයක ඒ දුක්වලින් තොර තැනක් නැති බව, නිත්‍යසුඛයක් ඇති තැනක් නැති බව පෙනිණ. පඤ්චෝපාදානස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධය දරන්නා හට දුකින් තොරවීමට ඇති එකම පිහිට නිත්‍ය වූ එකම පිහිට ඒ දුඃඛස්කන්ධයාගේ නිරෝධය ම බව කිසිවකුගේ උපදේශයකින් තොරව ස්වශක්තියෙන්ම තථාගතයන් වහන්සේ අවබෝධ කොට වදාළ සේක. ඒ දුඃඛස්කන්ධයාගේ නිවීම දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි වදාළ සේක. දුඃඛස්කන්ධයාගේ පැවැත්මට දුඃඛස්කන්ධය නැවත නැවත ඇති වීමට හේතුව වන තණ්හාව නැති වුවහොත් දුඃඛස්කන්ධයාගේ නිරෝධය හෙවත් නො පැවැත්ම එයින් සිදුවන බැවින් නිරෝධසත්‍යය විස්තර කිරීමේදී තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධය දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය යි වදාළ සේක.

දුඃඛස්කන්ධයාගේ නිරෝධය වූ නිර්වාණධාතුවෙහි මමය අනිකාය කියා සැලකෙන නාමරූපයන්ගෙන් කිසිවක් නැත. ඒ නිරෝධයට පැමිණිය හොත් එය ලැබුව හොත් තමාත් නැතිවෙති යි සිතා ඇතැම්හු නිවනට බිය වෙති. ඇතැම්හු නිවන පලක් නැති දෙයකැ යි ද සිතති. නිවන පිළිබඳව එබඳු අදහස් ඇති වන්නේ දුඃඛසත්‍යය නො දැනීම නිසාය. ජරාව හා මරණය නාමරූපයන්ගේම අංග දෙකක් වන බැවින් සත්ත්වයන් වශයෙන් සලකන නාමරූප ඇත හොත් ජරාමරණයද ඇත්තේ ය. ජරා මරණය නැතිවීමට නම් නාමරූපයන් නැතිවිය යුතු ය. ව්‍යාධියත් එවායේම අංගයෙකි. නාමරූප ඇතොත් ව්‍යාධිය ඇත. ව්‍යාධිය නැතිවන්නට නාමරූප නැතිවිය යුතුය. සත්ත්වයා වශයෙන් සැලකෙන රූප කය හා නාමයන් ඇති කල්හි වැස්සෙන් පින්නෙන් අව්වෙන් සුළඟින් වන නොයෙක් පීඩා ඇත්තේ ය. උකුණන්ගෙන් මකුණන්ගෙන් පණුවන්ගෙන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් නපුරු සතුන්ගෙන් නපුරු මිනිසුන්ගෙන් නොයෙක් පීඩා ඇත්තේ ය. රූප කයක් නැතහොත් ඒවා ඇතිවන්නට තැනක් නැත. රූප කයක් ඇති කල්හි එය පැවැත්වීමට බොහෝ දේ සොයා ගන්නට සිදුවේ. එසේ සොයාගත් දේ ගිනි දිය ආදියෙන් නැසෙන්නේය. සොරු ගන්නාහ. සතුරෝ නසන්නාහ. රූප කයක් නැතහොත් තමාගේය කියා දෙයක් නැති බැවින් සොරසතුරන්ගෙන් පීඩාවක්ද නැත. කියන ලද අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය වන්නේ නාමරූප ඇති කල්හිය. ඒ දුඃඛය නො වීමට නම් පඤ්චස්කන්ධයක් නැතිවිය යුතුය. පඤ්චස්කන්ධයක් ඇතහොත් ප්‍රියවස්තු ප්‍රිය පුද්ගල කොටසක් ද ඇත. ඒවා ඇති කල්හි ප්‍රිය විප්‍රයෝග දුඃඛය ඇත. එය නැතිවීමටත් පඤ්චස්කන්ධයක් නො තිබිය යුතුය. පඤ්චස්කන්ධයක් ඇති කල්හි නොයෙක් ආශාවල් ඇති වේ. ආශා ඇතිවන තරමට ඒ දේවල් ලැබෙන්නේ ද නො වේ. ඒ කැමති වන දෑ නො ලැබීමේ දුක නැති වන්නට ද පඤ්චස්කන්ධය නැතිවිය යුතු ය. පඤ්චස්කන්ධය ඇති කල්හි එය පවත්වා ගැනීම සඳහා දිවි හිමියෙන් බොහෝ වෙහෙසිය යුතු ය. පඤ්චස්කන්ධය ඇතොත් ඒ වෙහෙසීමේ දුක ද ඇත්තේ ය. එය මුල් කොට තවත් බොහෝ දුක් ද ඇතිවන්නේ ය. එවායින් මිදිමට නම් පඤ්චස්කන්ධයක් නැති විය යුතු ය. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් ඇත්තේද පඤ්චස්කන්ධය ඇති කල්හිය. පඤ්චස්කන්ධයක් නැතහොත් ඒවාට ඇතිවන්නට තැනක් නැත. හිසරදය ඇතියකුට එය ඉතිරි කරගෙන සුවය නො ලැබිය හැකි ය. වනයක් ඇතියකුට වනය ඉතිරි කරගෙන සුවය නො ලැබිය හැකි ය. ගෙඩියක් ඇතියකුට ගෙඩිය ඉතිරි කර ගෙන සුවය නො ලැබිය හැකි ය. එමෙන් පඤ්චස්කන්ධයට සංඛ්‍යාත දුඃඛස්කන්ධය ඉතිරි කරගෙන දුක් නිවීම් සුවය නො ලැබිය හැකි ය. දුකට නො කැමැති නම් පඤ්චස්කන්ධයට නො කැමති විය යුතු ය. පඤ්චස්කන්ධයක් නැතිවෙනවාට බිය නො විය යුතු ය.