නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්‍ධස්ස
මේ බුද්ධජයන්ති කාලයේ කලකින් සිදු නො වූ අන්දමට බොහෝ දෙනකුන් ගේ සිත් භාවනාවට නැමී තිබේ. පෙර භාවනාවක් ගැන සැලකිල්ලක් නො දැක්වූ ගිහි පැවිදි බොහෝ දෙනෙක් මෙකල ඉතා ඕනෑකමින් භාවනාවෙහි යෙදී සිටිති. තවත් බොහෝ දෙනා භාවනා කරනු කැමැත්තෙන් භාවනා ක්‍රම සොයති. බුදුසස්නෙහි උසස් භාවනාව විදර්ශනා භාවනාව ය. සත්ත්වයා සසර සයුරෙන් ගොඩ නඟා නිවනට පමුණුවන භාවනාවත් එය ය. එය කරන පින්වතුනට සාර්ථක වන පරිදි එය කළ හැකිවීම සඳහා දතයුතු කරුණු මහත් රාශියකි. භාවනා කරන්නවුන් විසින් දතයුතු කරුණු වලින් කොටසක්වත් පැහැදිලි කරදීම් වශයෙන් සතිපට්ඨාන විපස්සනා භාවනාව කරන පින්වතුන්ට උපකාර වීමේ අභිලාෂයෙන් මේ ලිපි පෙළ ලියන්නට ආරම්භ කරන ලදි.
“නෛර්‍ය්‍යාණික ශ්‍රී සද්ධර්ම ය, නෛර්‍යාණික සර්‍වඥ ශාසනය යන මේ වචන බෞද්‍ධයන්ට නිතර අසන්නට ලැබෙන ඒවාය. බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය වනාහි එහි කියැවෙන සැටියට පිළිපදින තැනැත්තා සංසාරයෙන් බැහැර කොට සකල දුඃඛයන්ගේ ක්ෂය ය වූ නිර්‍වාණයට ඒකාන්තයෙන් පමුණුවන්නකි. එහි වැරදීමක් නැත. එබැවින් ඒ ධර්‍මයට නෛර්‍ය්‍යාණික ධර්‍මය යි කියනු ලැබේ. නෛර්‍ය්‍යාණික ශාසනය යන්නෙහි තේරුමත් එය ම ය. මේ නෛර්‍ය්‍යාණික තථාගත ධර්‍මයෙහි නිර්‍ය්‍යාණ නාමයෙන් කරුණු අටක් හා නිර්‍ය්‍යාණාවරණ නාමයෙන් කරුණු අටක් ද දක්වා ඇත්තේ ය. නිර්‍ය්‍යාණ යන්නෙහි තේරුම ද සත්ත්වයන් සංසාරයෙන් බැහැර කර නිවනට පමුණුවන ධර්‍මයෝ ය යනුයි. නිර්‍ය්‍යාණාවරණ යන්නෙහි තේරුම, නිවන් මඟ අවුරවන, නිවන් මඟ වසන, නිවන් මඟ යන්නහුට බාධා කරන කරුණු ය යනුයි. ඒ ධර්ම නිවන් යනු රිසියෙන් භාවනා කරන පින්වතුන් විසින් විශේෂයෙන් ම දැන සිටින යුතු ය. මෙතැන් පටන් පිළිවෙළින් නිර්‍ය්‍යාණ අට හා නිර්‍ය්‍යාණාවරණ අට විස්තර කරනු ලැබේ.