ඤාණං අරියාණං නිය්‍යානං. තෙන ච ඤාණෙන අරියා නිය්‍යන්ති. අවිජ්ජා නිය්‍යානාවරණං. තාය ච අවිජ්ජාය නිවුතත්තා ඤාණං අරියානං නිය්‍යානං න පජානාතීති අවිජ්ජා නිය්‍යානාවරණං.
තේරුම :-
නාමරූපාදිය තත්ත්වාකාරයෙන් දක්නා විදර්ශනා ඥානය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙකි. ඒ ඥානයෙන් ආර්‍ය්‍යයෝ සංසාරයෙන් නික්ම යති. නාමරූපාදීන්ගේ සැබෑ තත්ත්වය වසන අවිද්‍යාව නිර්‍ය්‍යාණාවරණයෙකි. ඒ අවිද්‍යාවෙන් වසනු ලැබීම නිසා ඥානය නමැති ආර්‍ය්‍යයන් ගේ නිර්‍ය්‍යාණය නො ලබති. එබැවින් අවිද්‍යාව නිර්‍ය්‍යාණාවරණයෙකි.
ස්වසන්තානයෙහි ඒ ඒ අවස්ථාවල උපදින උපදින නාමරූපයන් සිහිකිරීම් වශයෙන් සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට අරමුණු කරා නැමි නැමී ඇදි ඇදී ස්වසන්තානයෙහි චක්ෂුරාදි ද්වාර සයෙහි ඇති වන්නා වූ ධර්ම රාශිාය නාමයෝ ය කියා ද, එසේ ම ස්වසන්තානයෙහි ඇතිවන අරමුණු කරා නො නැමෙන නො ඇදෙන අන් අරමුණක් හා සම්බන්ධකමක් නැති ධර්ම රාශිය රූපයෝ ය කියා ද නාම රූප පිළිබඳ නිවැරදි දැනීම ක්‍රමයෙන් ඇති වේ. එය නාමරූප පරිච්ඡේද ඤාණ නම් වූ විදර්ශනා ඥානය ය. ඒ ඥානය දියුණු වූ පසු යෝගාවචරයාහට ක්‍රමයෙන් ඒ නාමරූපයන් ඇතිවීමේ හේතූන් ද පෙනෙන්නට වන්නේ ය. ඒ පෙනීම පච්චය පරිග්ගහ ඤාණය ය. උත්පත්ති හේතූන් ද සහිතව නාමරූපයන් දක්නා ඒ ඥානය දියුණු වීමෙන් පසු යෝගාවචරයාහට දක්නා ලද නාමරූපයන්ගේ අනිත්‍ය ලක්‍ෂණය පෙනෙන්නා වූ නුවණ ද දුඃඛ ලක්‍ෂණය පෙනෙන්නා වූ නුවණ ද අනාත්ම ලක්‍ෂණය පෙනෙන්නා වූ නුවණ ද ඇතිවේ. ඉන්පසු යෝගාවචරයාහට ස්වසන්තානයෙහි නාමරූපයන් අතරක් නැතිව ඉපද ඉපද බිඳි බිඳී යන සැටි පෙනෙන උදයව්‍යය ඥානය ඇතිවේ. මෙසේ ක්‍රමයෙන් ඇතිවන්නා වූ නාම රූපයන්ගේ සැබෑ තත්ත්වය දැනගන්නා වූ ඥානබලයෙන් ආර්‍ය්‍යයෝ නිවන් පසක් කොට සංසාරයෙන් එතර වෙති. එබැවින් ඥානය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයකැයි කියනු ලැබේ.
ස්වසන්තානයෙහි උපදනා නාමරූපයන් නාම රූප සැටියට විදර්ශනා කිරීමක් නැතිව තමාගේ සිත ආරක්‍ෂා කිරීමක් නැතිව රිසි සේ සිතට අකුශල පක්‍ෂයෙහි ගමන් කිරීමට ඉඩහැර සිටින තැනැත්තාහට නාමරූප, නාමරූප හැටියට දක්නා නුවණ ඇති නොවේ. ඔහුට ඒ නාමරූප සම්බන්ධයෙන් ඇති වන්නේ ඒවා තමා සැටියට දෙවියන් මිනිසුන් තිරිසනුන් සැටියට පෙනෙන අවිද්‍යාව ය. නාමරූප නො දක්නා වූ ඔහුට නාමරූපයන්ගේ උත්පත්ති හේතු දක්නා නුවණ කවර ආකාරයකින්වත් ඇති නොවේ. ඔහුට ඇතිවන්නේ මමය සත්ත්වයා ය කියා අවිද්‍යාව නිසා වරදවා ගත් නාම ධර්ම සමූහයක් ඉබේම ඇතිවූ ඒවාය කියා හෝ අනිකකු විසින් මවන ලද ඒවාය කියා හෝ වරදවා ගන්නා අවිද්‍යාව ය. ඔහුට නාමරූපයන්ගේ අනිත්‍ය භාවය දුඃඛ භාවය අනාත්ම භාවය පෙනෙන නුවණ ඇති නොවේ. ඇතිවන්නේ ඒවා නිත්‍ය ඒවාය, සැපය, ආත්මයෝය කියා වරදවා ගන්නා අවිද්‍යාවය. සත්ත්ව සන්තානයෙහි දීර්ඝකාලයක පටන් මුල් බැස තිබෙන ඒ අවිද්‍යාව ඉතා ශක්තිමත් ය. දුරු කිරීමට ඉතා දුෂ්කර ය.
උපදින උපදින නාමරූප සිහිකිරීම් වශයෙන් විදර්ශනාවක් නැතිව වාසය කරන්නවුන්ගේ සන්තානයෙහි ඒ අවිද්‍යාව නිතර ඉපදීම් වශයෙන් ඉතා ඝනට ඉතා තදට පවතී. දීර්‍ඝ කාලයක් අවිද්‍යාව තුළම සියල්ල කළ පුද්ගලයාහට විදර්ශනාවට බටුයේ ඒ අවිද්‍යාව ලෙහෙසියෙන් දුරු කළ හැකි නොවේ. ප්‍රඥප්තිය ඉක්මවා සංස්කාර ඝනය බිඳපියා පරමාර්ථය ලෙහෙසියෙන් දැකිය හැක්කේ නොවේ. සන්තානයෙහි දීර්ඝ කාලයක් පැවැත්තාවූ අවිද්‍යාව අලුත් යෝගාවචරයාගේ භාවනා චිත්තය ඉදිරියෙන් ගමන් කරන්නාක් මෙන් පවතී. අලුත් යෝගාවචරයාගේ භාවනා චිත්තය අවිද්‍යාව තුළ පවත්වන්නාක් වැනි ද වේ.
යමක් පෙනුණු කල්හි පෙනේය යි සිහිකරන්නා වූ යෝගාවචරයාහට චක්ෂුර්විඥානය ය, වර්‍ණායතනය යන පරමාර්ථ ධර්ම දෙක හසුවුවහොත් සත්‍ය දර්ශනය ඇති වූයේ වෙයි. දැකීම සිහි කරන්නා වූ අලුත් යෝගාවචරයා හට දකිමියි සිහිකරනු සමගම ඉදිරියට එන්නේ, දක්නේ මම ය, පෙනෙන්නේ අසවල් දෙයය යන අවිද්‍යා සහිත හැඟීම් ය. අලුත් යෝගාවචරයාගේ භාවනා චිත්තයට ඉදිරියෙන් අවිද්‍යාව ගමන් කරන්නාක් මෙන් පවත්නේ යයි ද භාවනා චිත්තය අවිද්‍යාව තුළ පවත්නාක් වැනි වේ ය යි ද, කියනුයේ එහෙයිනි. එසේ භාවනාවට පටන් ගත් තැනැත්තන්ගේ භාවනා චිත්තය ඉදිරියෙන් ගමන් කරන බැවිනුත් භාවනා චිත්තය වටකරගෙන සිටින්නාක් මෙන් පවත්නා බැවිනුත් මේ අවිද්‍යාව ඥාන සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය ආවරණය කරන්නකි.