අවික්ඛෙපො අරියානං නිය්‍යානං. තෙන ච අවික්ඛෙපෙන අරිය නිය්‍යන්ති. උද්ධච්චං නිය්‍යානාවරණං. තෙන ච උද්ධච්චේන නිවුතත්තා අවික්ඛෙපං අරියානං නිය්‍යානං න පජානාතී ති උද්ධච්චං නිය්‍යානාවරණං.
තේරුම :-
අවික්ෂේපය හෙවත් සමාධිය ආර්‍ය්‍යයන් ගේ නිර්‍ය්‍යාණයෙකි, හෙවත් ආර්‍ය්‍යයාහට සංසාරයෙන් නික්ම යාමට උපකාර වන්නකි. ඒ සමාධියෙන් ආර්‍ය්‍යයෝ සංසාර දුඃඛයෙන් නික්මෙති. උද්ධච්චය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය ආවරණය කරන්නකි. ඒ උද්ධච්චයෙන් ආවරණය කරන බැවින් සමාධි නමැති ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය නො ලබන බැවින් උද්ධච්චය නිර්‍ය්‍යාණාවරණයකි.
සිත යම් අරමුණකට පැමිණේ නම් යම් අරමුණක් සිතට හසුවේ නම් ඒ අරමුණුවල සිත මනා කොට පිහිටවන්නා වූ එක්තරා චෛතසික ධර්‍මයකට සමාධිය ය යි කියනු ලැබේ. නැවත නැවත සිත එක ම අරමුණක පැවැත්වීම පුරුදු කිරීමෙන් ඒ සමාධිය දියුණු වේ. දියුණු වීමය යනු ක්‍රමයෙන් බලවත් වීම ය. විදර්ශනා කරන යෝගාවචරයා විසින් චක්ඛු සෝත ඝාණ ජිව්හා කාය මන යන සදොරට පැමිණෙන සෑම අරමුණක්ම ස්ත්‍රී පුරුෂ සත්ත්ව පුද්ගලාදි වශයෙන් වරදවා නොගෙන ඒ ඒ අරමුණු සම්බන්ධ ප්‍රඥප්තීන් නො ගෙන රූපයක් ය, ශබ්දයක් ය, ගන්ධයක් ය, රසයක් ය, ස්ප්‍රෂ්ටව්‍යයක් ය පරමාර්ථය පමණක් ගැනීම් වශයෙන් පැහැයක් ය, ස්වභාවධර්‍මයක් ය කියා ම ඒ ඒ අරමුණ විදර්ශනා කිරීම් වශයෙන් මෙනෙහි කරනු ලැබේ. එසේ කරන්නා වූ යෝගාවචරයාගේ සිත සමාධිය දියුණු වූ කල්හි ඒ සමාධිායෙන් ඒ ඒ අරමුණුවල මනා කොට පිහිටවනු ලැබේ. තදින් කාවද්දනු ලැබේ.
සමාධිය දියුණු වූ පසු යෝගාවචරයාගේ සිත තෙත් මැටිගුළි සමූහයක් ගෙන ගල්තලාවක් මත එකින් එක අතහරින කල්හි සෑම මැටිගුළියක් ම වැටෙන වැටෙන තැන ගල්තලාව බදා ගෙන එහි ම නිශ්චල වන්නාක් මෙන් ද, බර සහල් මිටි සමූහයක් රියකින් ගෙනවුත් එකින් එක බිම දමන කල්හි ඒවා වැටෙන වැටෙන තැන නිශ්චලව පිහිටන්නාක් මෙන් ද, ආරම්මණයෙහි නො සැලී පිහිටන්නේ ය. ලොකු කළුගල් කැට රාශියක් කරත්තයකින් ගෙනවුත් බුරුල් පොළොවකට එකින් එක විසිකරන කල්හි පොළොවට වැටෙන වැටෙන කළුගල් කැටය ඒ ඒ තැන ම පොළොවෙහ කාවැදෙන්නාක් මෙන් දියුණු වූ සමාධයෙන් යුක්ත වන සිත පැමිණෙන පැමිණෙන අරමුණෙහි කා වැදෙන්නේ ය. අරමුණෙහි සිත නිශ්චලව පිහිටන කල්හි සිත කාවැදෙන කල්හි එහි තත්ත්වය ඇති සැටියට පෙනෙන නුවණ ඒ අනුව ඇතිවන්නේ ය. ඒ නුවණ ක්‍රමයෙන් වැඩී ලෝකයේ සැබෑ තත්ත්වය දැක සැබෑ සැපය වූ නිවන දැක ආර්‍ය්‍යයෝ ගිනිගත් ගෙයකින් නික්ම පළායන්නවුන් මෙන් ගිනි එකොළොසකින් දැවෙන මේ ලෝකයෙන් නික්ම ශාන්ත ශීතල ස්වභාවය ඇති පරම සුඛය වූ ලෝකෝත්තර නිර්වාණයට පිවිසෙති. එබැවින් චිත්ත සමාධිය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයකැයි කියනු ලැබේ.
උද්ධච්චය යනු සිත වෙවුලන සොලවන එක්තරා චෛතසික ධර්මයෙකි. එයින් යුක්ත වන සිත නිතර ම ගන්නා ලද අරමුණෙන් ඉවතට පනින්නට තැත් කරන ස්වභාවයෙන් යුක්ත වේ. උද්ධච්චය අකුශල චෛතසිකයක් වන බැවින් විදර්ශනා භාවනා චිත්තය කිසි කලෙක උද්ධච්චයෙන් යුක්ත නො වේ. එහෙත් විදර්ශනා කරන යෝගාවචරයාගේ සන්තානයෙහි විදර්ශනා චිත්තයන් ගේ අතර උද්ධච්චයෙන් යුක්ත සිත් ඇති වන්නට පටන් ගත හොත් ඒවා නිසා විදර්ශනා චිත්ත සමාධිය දුබල වේ. උද්ධච්චය බලවත්ව ඇති වුවහොත් විදර්ශනා චිත්ත සමාධිය හොඳට ම දුබ වේ. තරමකට ඇති වුවහොත් තරමකට දුබල වෙයි. භාවනා කරන අතර උද්ධච්ච සහගත සිත් ඇතිවන්නට පටන් ගත හොත් විදර්ශනා කරන යෝගාවචරයාහට කිසි කලෙක ලෝකෝත්තර මාර්ගඵලයන් ඇතිවන තරමේ සමාධියක් ඇති නොවේ. එබැවින් උද්ධච්චය නිර්‍ය්‍යාණාවරණයකැයි කියනු ලැබේ.