තමාට වුවමනා විටෙක ගත හැකි මහා ධන නිධානයක් දුටුවකු එය අන් කිසිවකුට නො කියන්නාක් මෙන්, ආර්‍ය්‍යයෝ තමන් පැමිණ සිටින ලෝකෝත්තර ගුණ විශේෂයන් කිසිවකුට නො කියති. එය ආර්‍ය්‍යයන්ගේ ස්වභාවයෙකි. එබැවින් භාවනා කරන්නා වූ ඔබ “කිනම් සමාපත්තියකට-මාර්ගයකට-ඵලයකට පැමිණ සිටින්නෙහි ද?” කියා, යෝගාවචරයකුගෙන් කිසි විටෙක නො ඇසිය යුතු ය. එසේ ඇසීම යෝගාවචරයන්ට කරන කරදරයකි.
ජනයා අතර උසස් ලෙස පෙනී සිටීමට ආශාව ඇති, නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති සැටියට කීමෙහි බරපතලකම නො දක්නා වූ, ඇතැම් යෝගාවචරයෝ අනුන අසන කල්හි, තමන් ලැබූ දෙයක් නැතය යි කීමට ලජ්ජාවෙන් හෝ කීර්ති ප්‍රශංසා ලාභාදිය පිණිස හෝ තමන් කෙරෙහි නැති ධ්‍යාන මාර්ගඵල සඞ්ඛ්‍යාත උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති සැටියට ප්‍රකාශ කෙරෙති. එය මහා වරදෙකි.
“සදෙවකෙ භික්ඛවෙ! ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය. අයං අග්ගො මහාචොරො, යො අසන්තං අභූතං උත්තරීමනුස්සධම්මං උල්ලපති”
යනුවෙන් “මහණෙනි යමෙක් තමා කෙරෙහි නැත්තා වූ ධ්‍යානාදි උත්තරීමනුෂ්‍ය ධර්ම ඇතය යි කියා නම් දෙවියන් සහිත මනුෂ්‍යයන් සහිත මාරයන් බ්‍රහ්මයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන සහිත මේ ලෝකයෙහි ප්‍රධාන මහා චෞරයා වේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. නැත්තා වූ උත්තරීමනුෂ්‍ය ධර්මය ඇති සැටියට කීම භික්ෂූන්ට විශේෂයෙන් ම බරපතල කරුණකි. එබැවින්,
“උපසම්පන්නේන භික්ඛුනා උත්තරීමනුස්ස ධම්මෝ න උල්ලපිතබ්බෝ. අන්තමසෝ සුඤ්ඤාගාරෙ අභිරමාමීති”
යනුවෙන් “උපසම්පන්න භික්ෂුව විසින් අන්තිම වශයෙන් මම ශුන්‍යාගාරයෙහි සිත් ලවා වෙසෙමි” යි කියාවත් ඇත්තා වූ උත්තරීමනුෂ්‍ය ධර්මය වුව ද අනුන්ට නො කිය යුතු බව තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ ය. ඇත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මය පවා නො කිය යුතු වන කල්හි කිසි මාර්ගයකට ඵලයකට නො පැමිණ, බොරුවට උත්තරී මනුෂ්‍ය ධර්මය ප්‍රකාශ කිරීම මහා පාපයක් වන බව ගැන කියනු කිම?
“යො පන භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරීමනුස්ස ධම්මං උල්ලපති ඣානං වා විමොක්ඛං වා සමාධිං වා සමාපත්තිං වා මග්ගං වා ඵලං වා අස්සමණො හොති අසක්‍යපුත්තියො.”
යනුවෙන් “යම් භික්ෂුවක් ලාමක අදහස් ඇතිව, ලාමක අදහසින් මඩනා ලදුව, තමා කෙරෙහි නැත්තා වූ ධ්‍යානයක් හෝ විමෝක්ෂයක් හෝ සමාධියක් හෝ සමාපත්තියක් හෝ මාර්‍ගයක් හෝ ඵලයක් හෝ ඇත ය යි උත්තරීමනුෂ්‍ය ධර්මය ප්‍රකාශ කෙරේ නම්, ඒ භික්ෂුව අශ්‍රමණයෙක් අබුද්ධපුත්‍රයෙක් වන්නේ ය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. සෝවාන් වූයෙමි ය, සකෘදාගාමී වූයෙමි ය, අනාගාමි වූයෙමි ය, රහත් වූයෙමි ය යනාදීන් තමා කෙරෙහි නැති, තමා විසින් නො ලැබූ, උත්තරීමනුෂ්‍ය ධර්මයන් තමා කෙරෙහි ඇති බව කියුව හොත් ඒ භික්ෂුවට පරිජි ඇවැත වේ. ඔහු ගේ මහණකම එයින් කෙළවර වේ. භාවනාවට බැස පාරාජිකා වී කලින් තුබූ මහණකමත් නැති කර ගත හොත් එය මහා විපතෙකි. මාර්ග-ඵලවලට පැමිණෙන සැටි, ඵලසමාපත්තිවලට සමවදින සැටි, විස්තර කර ඇති මේ පොත කියවූ ඇතැම් භවතුන් විසින් සමහර විට, යෝගාවචර භික්ෂූන් වෙත එළඹ, “ඔබ වහන්සේලා කිනම් මාර්ගයකට ඵලයකට පැමිණියාහු ද” යනාදි ප්‍රශ්න අසනවා ඇත. එබඳු අවස්ථා ඇතිවුවහොත් භික්ෂූන් වහන්සේලා පරිස්සමෙන් ඒවාට පිළිතුරු දෙත්වා. තමන් ගේ දුබලකම් වසා ගැනීමට ගොස් තිබෙන මහණකමත් නැතිකර නො ගන්නට වග බලා ගනිත්වා!!
“යො පන භික්ඛු අනුසම්පන්නස්ස උත්තරී මනුස්ස ධම්මං ආරොචෙය්‍ය භූතස්මිං පාචිත්තියං.”
යනු විනය සිකපද බැවින් ඇත්ත වශයෙන් ලබා ඇති උත්තරීමනුෂ්‍ය ධර්මය පවා කිනම් කරුණක් නිසාවත් අනුපසම්පන්නයකුට නො කිය යුතුය. කියුව හොත් ඒ භික්ෂුවට පචිති ඇවැත් වේ.
අප විසින් මේ පොත ලියා ප්‍රසිද්ධ කරවන ලද්දේ මෙකල භාවනා ක්‍රම ගැන සොයන පින්වතුන් බහුල බැවින් ඔවුන්ගේ යහපත පිණිස ය. එහෙත් මේ පොතෙන් ලාමක අදහස් ඇති ඇතැමුන්ට මහත් අනර්‍ථයක් සිදු වන්නට ඉඩ නැත්තේ තද නො වේ. මේ පොත කියවා මග-පල ලබන සැටි, සමවත්වලට සමවදින සැටි දැන ගෙන ලෝකෝත්තර ගුණ තමා කෙරෙහි ඇති සැටියට පහසුවෙන් පෙනී සිටිය හැකි ය. එබඳු ලාමක වැඩ කරනු කැමතියන්ට නම්, මේ පොතෙන් සිදු වන්නේ මහත් ම නපුරෙකි. ලෝකයා අතර උසස්ව පෙනී සිටීමේ අදහසින්, ගරු බුහුමන් පූජාසත්කාර ලැබීමේ අදහසින්, එබඳු ලාමක වැඩ කොට අපාගත නො වන ලෙස කරුණා පෙරදැරිව සැම දෙනාට ම මෙයින් දැනුම් දෙනු ලැබේ.
මීට - ලෝ වැඩ කැමති,
රේරුකානේ චන්දවිමල ස්ථවිර.