33. සම්‍යක් ප්‍රතිපත්ති පූජා කථා

star_outline

තව ද: මිහිඳු මාහිමියන් වහන්සේ මේ ලක්දිවට වැඩ බුදුසසුන් පිහිටුවා කළ සම්‍යක් ප්‍රතිපත්ති පූජා නම් කවරහ? යත්; එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු:

මේ ශ්‍රී ලඞ්කාද්වීපය නම් අබුද්ධොත්පාද කාලයෙහි යක්‍ෂයන්ටම නිවාස වෙයි, බුද්ධෝත්පාද කාලයෙහි ම මනුෂ්‍යයන්ට වාසවෙයි. සමහර බුදුන්ගේ ප්‍රථම බොධියෙහි දී ම මෙහි යක්‍ෂයෝ ප්‍රලය ව මනුෂ්‍යයන්ට වාස වෙයි. සමහර බුදුහු තමන් වහන්සේ ම වැඩ යක්‍ෂයන් ප්‍රලය කොට මනුෂ්‍යවාසය කරවා සසුන් පිහිටුවන සේක. අනන්තාපරියන්ත වූ බුදුන්ගේ බොධිවල දක්‍ෂිණ ශාඛා හා ධර්‍මධාතු ශාසන ප්‍රතිෂ‍්ඨා වනු එකාන්ත හෙයින් මේ ලඞ්කාද්වීපය බුදුන්ගේ ම ය. තුනුරුවන් පිරූ භාණ්ඩාරයක් වැන්න. එසේ හෙයින් මේ ලක්දිව මිථ්‍යා දෘෂ්ටි ගතුවන්ගේ වාසය නම් පෙර යක්‍ෂයන්ගේ වාසය ස්ථිර නුවූවා සේම ස්ථිර නො වේ ම ය. මිථ්‍යාදෘෂ්ටි ගත් රජෙක් ලක්දිව බලාත්කාරයෙන් කිසි කලෙක රාජ්‍යය කෙළේ වී නමුත් ඔවුන්ගේ වංශ ප්‍රතිෂ්ඨා නො වනු බුදුන්ගේ ම ආනුභාව විශේෂයෙක් ම ය. එසේ හෙයින් මෙ ලක්දිව සම්‍යදෘෂ්ටි ගත් රජුන්ට ම සීහෙන හෙයින් උන්ගේ කුලප්‍රවෙණිය පවතින්නේ ම එකාන්ත ම ය. මේ මේ කාරණයෙන් ලංකාධිපති රජුන් විසින් බුදුන් කෙරෙහි ස්වභාව වූ ආදර බහුමානයෙන් ශාසන ප්‍රතිෂ්ඨාවෙහි අප්‍රමාද ව ආඥා චක්‍රය හා ධර්‍මචක්‍රය රක්‍ෂා කොට රාජ්‍යය කොට කුලප්‍රවේණිය රක්‍ෂා කට යුතු.