පූර්වයෙහි වූ සෙසු බුදුන් තබා මෙම කප පළමුව බුදුවූ කකුසඳ නම් බුදුරජාණන් සමයෙහි මේ ද්වීපය ඕජද්වීප නම. අනුරාධපුරය අභය පුර නම. රජ්ජුරුවෝ ද අභය නම්වූහ. මහමෙවුනා උයන මහාතීර්ථ වන නම; උයනට නැඟෙනහිර නුවර විය. පියල්කුළු නම් වූ මිහින්තලා ගල දේවකූට නම. එ කල ඒ අභය පුෂ්පය ආදිවූ ජනගහන ධන ධාන්‍යයෙන් සමෘද්ධ වූ මෙම ද්වීපය මුළුල්ලෙහි ජ්වර රෝගයෙක් ඇතිව, අප බුදුන් සමයෙහි විශාලා මහනුවර සේ ම ඉතා මහත්වූ ජනපීඩාවක්ව සකල සත්ත්‍වයෝ ම මියනට පටන් ගත්හ; බුද්ධානුභාවයෙන් යක්‍ෂයෝ ද්වීපයට වැද්ද නො හී මිනීකුණප ගන්‍ධයන් බල බලා පුල පුලා මුහුදු පිට සිසාරා සිටිති. එ කල කකුසඳ බුදුහු නො මඳ වූ මේ ඕජ ද්වීප වාසීන්ගේ පින් මඳ වූ බැව් දැන, උපන් මහා කරුණා ඇතිව, සතළිස් දහසක් පමණ ආර්‍ය්‍යගණයා පිරිවරාගෙන එ කෙණෙහි ම ආකාශයෙන් වැඩ, තරුපිරිවර සඳක් සේ දෙවකූටයට බැස සවනක් රසින් දසදිග් බබුළුවා “මේ ඕජ ද්වීපයෙහි සියලු මනුෂ්‍යයෝ ම මා දකිත්ව යි, මා දුටු කෙණෙහි ම සියලු රෝග අන්තර්ධාන වේව යි, නිදුක් ව ඇසිල්ලෙකින් අවුත් මා පිරිවරා සිටිත්ව”යි, අධිෂ්ඨාන කළ සේක.
එ කෙණෙහි ඒ අධිෂ්ඨාන චිත්තය හා සමඟ ගුවන් සඳ දක්නා වුන් සේ සියළු ද්වීපවාසීහු ම බුදුන් දැක නොයෙක් ජ්වරරෝග අන්තර්ධාන ව අමා දිය ලද්දවුන් සේ හොත් හොත් පොළින් පැන නැඟී ගමක් මැද ශාලාවකට රැස්වන්නවුන් සේ පර්වතය සිසාරා රැස්වූහ. එ කෙණෙහි රජ යුවරජ මහ ඇමතියෝ බුදුන් වැඳ මහත් වූ උත්සවයෙන් මහා තීර්‍ථ වන උයනට පවරා ගෙන ගොස් අලංකෘතවූ මණ්ඩපයක් නිමවා අනැඟි වූ බුද්ධාසනයක් හා සතළිස් දහසක් ආසන නිමවා මහත් වූ පූජාවෙන් උයන බුදුන්ට පිළිගැන්වූහ. එකෙණෙහි මහපොළොව ගුගුරා පැනනැගී සියලු උයනෙහි ගස් මුල පටන් අග දක්වා අකාල කුසුමයෙන් සැදී සිටගත. මේ පෙළහරෙහි පහන් සත්ත්‍වයෝ මහත් වූ පූජාවෙන් බුදුපාමොක් මහසඟ පිරිසට චතුමධුර දාන වළඳවා භෝග පමණින් ගන්‍ධ-පුෂ්පාදීන් බුදුන් පුදා එකත්පස් ව උන්හ. එ කල්හි බුදුහු බණ වදාරා සතළිස් දහසක් ප්‍රාණීන් සසරින් මුදා එ තෙන දිවා විහාර කොට, සවස මහ බෝ මලුවට වැඩ මොහොතක් ධ්‍යාන සුවයෙන් වැඩහිඳ නැඟී පූර්ව බුද්ධචරිතය කෙරෙමි යි සිතා දක්‍ෂිණ ශ්‍රී හස්තය බෝමැඬ දිසාවට දිගුකොට “මාගේ ශාසනයෙහි සෘද්ධිමත් භික්‍ෂුණීන් කෙරෙහි අග්‍ර වූ රුචිනන්දා නම් ශ්‍රාවිකා මාගේ ශ්‍රී මහා බෝධියෙහි දක්‍ෂිණ ශාඛාව ගෙන අවුත් මෙතැන්හි පෙනේව”යි අධිෂ්ඨාන කළ සේක.
එ කෙණෙහි ශ්‍රාවිකාවන් වහන්සේ ද බුදුන් සිතූ සිත දැන ඛෙමවතී නම නුවර ඛෙමවතී නම් රජහු ලවා සිරියෙල් රෙඛා දෙවා තෙමේ ම ස්වච්ඡින්නව ආකාශයට පැනනැඟී දක්‍ෂිණ ශාඛාව රන්තලියෙන් ගෙන, මහත් වූ දිව්‍ය පූජාවෙන් පන්සියයක් භික්ෂුණීන් හා සමඟ ආකාශයෙන් අවුදින්, බුදුන් දිගු කළ ශ්‍රීහස්තයට වඩාලූ දෑ ය. එ වේලෙහි බුදුහු අභය රජ්ජුරුවන් මුහුණ බලා “මහරජ! පෙර තොපගේ මේ ද්වීපයට ඉසුරු වූ පින්වත් රජුන්ගේ සිරිතක් කරව”යි ඒ රජහු ලවා ම බෝධි ප්‍රතිෂ්ඨාව කරව. එතෙනට උතුරු දිග්භාගයෙහි වූ එ කලට සිරීසමාලක යයි කියන ලද ලෝවාමහපා තන්හි වැඩහිඳ ධර්‍මදේශනා කොට විසිදහසක් ප්‍රාණින් සසරින් මුදා එයින් වැඩ ථූපාරාම භූමියෙහි වැඩහිඳ ධ්‍යානයෙන් නැගී බණ වදාරා එ විට දසදහසක් දෙනා සසරින් මුදා “මෙ තෙන වසා චෛත්‍යයක් කොට වැඳ පුදා සසරින් මිදෙව”යි තමන් වහන්සේගේ ධර්‍මකරකය පාවාදී, එම රුචිනන්‍දා නම් ශ්‍රාවිකාවන් හා පන්සියයක් භික්ෂුණීන් හා මහාදෙව නම් මහ තෙරුන් වහන්සේ හා දහසක් භික්ෂූන් මේ ද්වීපයෙහි ම රඳවා එයින් වැඩ දේවකූටයෙහි ආදිවූ මහසල සෑ පිහිටි තන්හි ම වැඩ සිට, සියලු ද්වීපවාසීන්ට අනුශාසනා කොට, සියලු සතුන් බල බලා සිටියදී ම, ජම්බුද්වීපයට වැඩි සේක. එ තැන් පටන් ඒ බුද්ධෝත්පාදය මුළුල්ලෙහි ම උපනුපන් රජදරුවෝ ද තුනුරුවන් පුදා නිවන් පුරම ගියහ.
තව ද: දෙවන කොණාගමන නම් බුදුන් සමයෙහි මෙම ද්වීපය වර දීප නම. මහමෙවුනා උයන මහා අනෝම වන නම. උයනට දකුණු දිග නුවර වඩ්ඪමානක පුර නම. සමිද්ධ නම් රජක්හු විසින් සියල්ලෙන් සමෘඬ විය; දේව කූටය සුමන කූට නම. එ කල්හි ශ්‍රීවන්ත චාතුර්‍වර්ණයන් විසින් හා දෙවඟනන් බඳු වරඟනන් විසින් හා ගවමහිෂාදි සියලු සම්පත්තීන් ශ්‍රීවන්ත වූ වර දීපය කලාතුරක් වැසි නැති ව, අප බුදුන් සමයෙහි බැමිණිටියා සාය සේ ම මහත් වූ දුර්භික්‍ෂ භයකින් ආකුල ව, ආහාර විපත්තියක් විය. බුදුන්ගේ දේශනාව නම් තිලකුණු පර්‍ය්‍යන්ත කොට ඇති හෙයින් බුදුහු කල් බලා සත්ත්‍වයන්ට උපන් දුර්භික්‍ෂ භය දැක, දුඃඛයක් උපන්කල සත්ත්‍වයන් ශ්‍රද්ධාවෙහි පිහිටුවාගත හැක්කැයි සිතා තිස් දහසක් රහතන් හා සමඟ ආකාශයෙන් වැඩ සුමනකූට මස්තකයෙහි පෙර බුදුන්ගේ පාදලාඤ්ජන ස්ථානයෙහිම වැඩ සිට දසදිග් බලා “මේ ද්වීපයෙහි වැවු අමුණු පුරා මෙකෙණෙහි වැසි වසීව”යි සිතා වදාළ සේක.
එ කෙණෙහි ස්වාමිදරුවන් සිතූ සිත හා සමඟ ම අහස් නමැති දර්පණයෙහි පර්‍වතයන්ගේ ඡායා පෙනෙන්නා සේ නීල මෙඝකූට ශතයෝ පෙනෙන්නට පටන් ගත්හ; අහස් කුස්හි මනන්නට ඉන්‍ද්‍ර නීලමාණික්‍ය යෂ්ටීන් ඔසවා ගන්නා සේ ශත සහස්‍ර ගණන් මේඝ යෂ්ටීහු පෙනෙන්නට පටන් ගත්හ; බුද්ධපූජාවට දෙවියන් තූර්‍ය්‍ය ඝෝෂාව පටන් ගන්නා සේ අහස මේඝනාදයට පටන්ගත: බුද්ධපූජාවට දෙවියන් නැඟූ දිවතොරණ සේ දෙවුදුනු දහස් ගණන් පෙනෙන්නට පටන්ගත; ඒ ඒ දිග්හි දෙවියන් පුදන ධ්වජ මාලාවක් සේ විදුලිය දහස් ගණන් පෙනෙන්නට පටන්ගත. දෙවියන් බුදුන්ට පුදන මුක්තා කලාපයන් සේ ජලධාරා සහස්‍රයෝ නීලමේඝ කූටයන් පළා නික්මුණහ. වර්ෂාවෙහි නො තෙමෙම්හ යි පිල්කුඩ ඉසට ගත්තා සේ මයුරසහස්‍රයෝ පිඤ්ජාවර්‍තනයට පටන් ගත්හ. එ කෙණෙහි මේ ද්වීපය මුළුල්ලෙහි ඝන මහ වැස්සෙක් වැසි වැස වැවු-අමුණු-ගං හෝ පුරා ගෙන කෝපයෙන් රක්ත ව ඝර්‍ම නමැති සතුරා කොයි වන් දෝ හෝ යි සොයා ඇවිදිනා සේ තඹ වතුරු ධාරා ඒ ඒ දිග්හි දිවන්නට පටන්ගත. මෙසේ අකාල මේඝයෙන් බුදුහු ඝර්‍ම නිර්‍වාපණය කොට, වැසි අන්තර්ධාන කොට, තමන් වහන්සේ සියලු සතුන්ට පෙනී අපෝකසිණ සමාපත්තියට සමවැද සියලඟිනු දු දිය කඳු හැර ජන ශාන්ති කොට, පර්‍වත මුදුනෙහි රන්කඳක් සේ වැඩ සිටි සේක. මේ පෙළහරෙහි පහන් සියලු මේ වරද්වීපවාසී සත්ත්‍වයෝ බුදුන් කරා රැස් ව චරණනඛමයූඛයෙහි ගැලි ගැලී වැඳ බුදුන් මහා අනෝම නම් උයනට වඩා ගෙනාහ.
බුදුහු එ දා මහ පොළොව ගුගුරුවා ඒ උයන පිළිගෙන වළඳා අන්තයෙහි බණ වදාරා තිස්දහසක් ප්‍රාණීන් සසරින් ගළවා සවස් වේලෙහි පෙර සේ ම ඉටා ශෝභන නම් නුවර ශෝභන නම් රජහු ලවා උදුම්බර බොධියෙහි දක්ෂිණ ශාඛාව යට කී ක්‍රමයෙන්ම ස්වච්ඡින්න කරවා කනකදත්තා නම් ශ්‍රාවිකාවන් ප්‍රධාන වූ පන්සියයක් භික්‍ෂුණීන් ලවා මොහොතක් කලින් ගෙන්වා, සමිද්ධ නම්රජහු ලවා බෝධි පිහිටුවා එ කල නාගමාලක නම් වූ ලෝවා මහ පා භූමියෙහි වැඩහිඳ බණ වදාරා විසිදහසක් දෙනාට මාර්ග ඵල දී එයින් ගොස් ථූපාරාම භූමියෙහි වැඩහිඳ ධර්‍මදෙශනා කොට, දස දහසක් ප්‍රාණීන් සසරින් මුදා, විදුලියයක් වන් පටී ධාතුව හා එම කනකදත්තා නම් ශ්‍රාවිකාවන් ප්‍රධාන වූ පන්සියයක් භික්ෂුණීන් හා සුධර්‍ම නම් මහා ස්ථවිරයන් ප්‍රධාන වූ දහසක් භික්ෂූන් හා මේ ද්වීපයෙහි රඳවා එයින් සුදස්සන මාලක නම් වූ මහසල සෑ පිහිටි තැන වැඩසිට සියලු සතුන්ට අවවාද දී මේ ද්වීපයෙන් ජම්බුද්වීපයට ම වැඩි සේක. එ තැන් පටන් ඒ බුද්ධෝත්පාදය මුළුල්ලෙහි උප‘නුපන් රජදරුවන් හා හැම මනුෂ්‍යයෝ තුනුරුවන් පුදා නිවන්පුර පුරා ගියහ.
තව ද: තුන්වනු ව බුදු වූ කාශ්‍යප නම් බුදුරජාණන් සමයෙහි මේ ද්වීපය මණ්ඩද්වීප නම. මහමෙවුනා උයන මහාසාර උයන නම. ඊට පශ්චිම දිශාභාගයෙහි නුවර විශාලාපුර නම. ජයන්ත නම් රජෙක් රාජ්‍යය කෙරෙයි, සුමන කූටය ශුභ කූට නම; එ කල මේ ද්වීප වාසීන් හා රජ-යුවරජ-මහ ඇමතියෝ දෙභාග ව ඔවුනොවුන් කෙරෙහි මන් බැඳ මහත් වූ සංග්‍රාමයක් කරන්නාහු සිවුරඟ සෙන් ගෙන යුද්ධයට සන්නද්ධව ඔවුනොවුන් මරා ලේ මුහුදු කරම්හ යි ප්‍රහාරයට පටන් ගත්හ. එකල ඒ බුදුහු ඒ සංග්‍රාමයෙහි නස්නා බොහෝ දෙනා දැක උපන් මහා කරුණා ඇති ව විසි දහසක් රහතන් පිරිවරා ආකාශයෙන් වැඩ ශුභකූටයට බැස මහ අඳුරක් මවා දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙත් ව යි අධිෂ්ඨාන කොට අන්‍ධකාරයෙන් මුර්ඡා කරවා දෙවනු ව ඒ අඳුර දුරුකළ සේක. තව ද: සත්ත්‍වයෝ යුද්ධයට පටන් ගත්හ. නැවත සියලු ද්වීපය දුමවා, තව ද සත්ත්‍වයන්ගේ ක්‍රෝධය නුසුන් සේ දැක තෙජොකසිණ සමාපත්තියට සමවැද විසිරියන් උස බුද්ධකායයෙන් ගිනිකඳු හැර මුළු හෙළදිව එක ගිනි ගත් ගෙයක් සේ භයපත් කළ සේක.
එ කල සත්ත්‍වයෝ අහසින් දිවන ගිනිකඳු හා ගෙයි ගෙයි ඉස ඉස හෙන ගිනිපුලිඟු දැක “කොල! මේ කුමන භයෙක් ද, කප නස්නා දවසෙක් වන; අප ඔවුනොවුන් හා යුද්ධ කරනුයේ රාජ්‍යය නිසා වේ ද, දන් ඒ රජය දයි, අඹුදරුවෝ දති, සැපත් දයි, කෙත්වත් දසිදස් අපි ද දා මියම්හ, අප කරන්නේ කුමන යුද්ධ දැ”යි මරණ භයින් වෙවුලා අත අත තුබූ ආයුධ හෙළා ඔවුනොවුන් කෙරෙහි දයා බැඳ දෙ සෙනග සමඟ වූහ. මෙසේ බුදුහු කටුයෙන් කටු නැඟුවා සේ, සුගතාග්නියෙන් කෝපගිනි නිවා දෙ ගිනි අන්තර්ධාන කොට, ගුවන් සඳක් සේ සියලු සතුන්ට ම පෙනුණු සේක. එ වේලෙහි මනුෂ්‍යයෝ හැම දෙන ම බුදුන් දැක දොහොත් මුදුන් දී සිට “ස්වාමිනි! ගිනිදෙවියා නම් නුඹ ද, නොහොත් සූර්‍ය්‍ය දේවතාවා ද, නුඹ මුහුණ පුන්සඳක් වැන්න, සියලඟ අමාකඳක් වැන්න. එසේ බවක් මිස නුඹ ඇඟින් දිවු ගිනි ඉතා කර්කශ ය, දියෙනුත් ගිනි නැඟේ ද, ස්වාමීනි! නුඹ කෙසේ වූ කෙනෙක් දැ” යි විචාරා ලොවුතුරා බුදුන් බැව් දැන උදාර වූ සන්තෝෂයෙන් උත්සව කළහ.
ඉක්බිත්තෙන් බුදුහු එ දවසුදු මහපොළොව ගුගුරුවා එම උයන පිළිගෙන වළඳා අන්තයෙහි, දේශනා රශ්මින් විනේය ජන කුමුදු පුබුදුවා, විසි දහසක් ප්‍රාණීන්ට මාර්‍ගඵල දී සවස ශ්‍රී මහා බෝධි භූමියට වැඩ පෙර සේ ම අධිෂ්ඨාන කොට බරණැස බ්‍රහ්මදත්ත නම් රජහු ලවා නිග්‍රෝධ බෝධි දක්‍ෂිණ ශාඛාව ස්වච්ඡින්න කරවා සුධර්මා නම් ශ්‍රාවිකාවන් ප්‍රධාන වූ පන්සියයක් භික්‍ෂුණින් ලවා මොහොතක් කලින් ගෙන්වා ජයන්ත නම් රජහු ලවා බෝධි පිහිටුවා අශෝකමාලක නම් වූ ලෝවාමහපා භූමියෙහි වැඩහිඳ කළා වූ දේශනාවෙන් සාරදහසක් ප්‍රාණින් සසරින් මුදා එයින් ථූපාරාමස්ථානයට වැඩ බණ වදාරා දහසක් ප්‍රාණීන්ට මාර්‍ගඵල දී තමන් වහන්සේගේ ජලසාටකය හා සුධර්‍මා නම් භික්‍ෂුණින් ප්‍රධාන වූ පන්සියයක් භික්ෂුණීන් හා සර්‍වනන්‍ද නම් මහතෙරුන් ප්‍රධාන වූ දහසක් භික්‍ෂූන්වහන්සේ මේ ද්වීපයෙහි රඳවා, එයින් සෝමනස්ස මාලක නම් වූ තුන්වන මහසල සෑ තන්හි වැඩසිට සියලු මණ්ඩ ද්වීප වාසින් හා දෙවි මිනිසුන්ට අනුශාසනා කොට අහස්කුසයට පැන නැඟී තරු පිරිවරූ සඳක් සේ දඹදිව් ම වැඩිසේක.
මෙසේ විසිදහසක් හවුරුදු පැවැත්තාවූ ඒ කාශ්‍යප බුදුන්ගේ බුද්ධෝත්පාදයෙහිද මෙහි උපනුපන් සරාගික වූ සත්ත්‍වයෝ ද තුණුරුවන් පුදා නිවන් පුර පුරා ගියහ.
මෙ කප බුදු වූ තුන් බුදුන් මෙලක්දිවට වැඩි කථා සංක්‍ෂෙපයෙන් මෙසේ දතයුතු.