ප්‍රත්‍යන්ත දේශයන්හි බුදු සසුන් පිහිටුවීම

star_outline

එ කල පෙර කී මොග්ගලිපුත්ත තිස්ස මහ තෙරුන් වහන්සේ ධර්මාශෝක රජහුගේ සහායයෙන් ඔහුගේම අශෝකාරාමයෙහිදී, යට කී සේ තුන්වන ධර්‍මසංගායනාවසානයෙහි දසදහසක් රහතන් අතුරෙන් මජ්ඣන්තික මහ තෙරුන් වහන්සේ ය, මහාදෙව නම් මහ තෙරුන් වහන්සේ ය, රක්‍ෂිත නම් මහ තෙරුන් වහන්සේ ය, යොනක ධර්‍මරක්ෂිත නම් මහ තෙරුන් වහන්සේ ය, මහා ධර්‍ම රක්ෂිත නම් මහ තෙරුන් වහන්සේ ය, මහාරක්ෂිත නම් මහ තෙරුන් වහන්සේ ය, මධ්‍යම නම් මහ තෙරුන් වහන්සේ ය, සොණ නම් මහ තෙරුන් වහන්සේ ය, ධර්මාශෝක රජ්ජුරුවන් දරු මිහිඳු මා හිමියන් වහන්සේ යයි ගිය ගිය තන්හි අනුබුද්ධව බණ වදාරන්ට සමර්ථ වූ මහත් ඍද්ධි ප්‍රතිහාර්‍ය්‍ය ඇතිව මහා ස්ථවිරයන් කැඳවා “ආයුෂ්මත්නි! මතු හීන කාලයෙහි මධ්‍යමණ්ඩලයෙහි ජනශූන්‍ය වෙයි, ප්‍රත්‍යන්තයෙහි දේශවල් සමෘද්ධ වෙයි, එසේ හෙයින් තෙපි තෙපි ද අපි සසරින් ගැළවුණුමෝ වේ දැ යි උපේක්ෂා නොව ඒ ඒ දේශවලට ගොස් ශාසන පිහිටුවා තොපට මෙ බඳු වූ අමා මහ නිවන් සුවයක් දීලූ බුදුරජාණන්ට කෘතොපකාරයෙන් යෙදී උතුම් වූ ප්‍රතිපත්ති පූජා කරව”යි නියෝග කොට වදාළසේක.

එකල එයින් මජ්ඣන්තික නම් මහතෙරුන් වහන්සේ හිමාලය වන ප්‍රාන්තයෙහි කාශ්මීර–ගන්‍ධාර දේශයට මැද වූ අරාවාල නම් නාගරාජයාගේ ආරවාල නම් විලට වැඩ විලපිට සක්මන් කරන සේක. එ වේලෙහි නාගරාජයා “මාගේ පවිත්‍ර වූ විල පැන් තමාගේ පාද රජසින් අපවිත්‍ර කරනුයේ ඡන්න-භින්න. පට ධාරී වූ මේ කොයි මුඩු මහණෙක් දැ”යි කිපී විසඳුම් හැර, විසගිනි හැර නොඑක් අව්වැසි වස්වා, කර්කශ වූ වාක්පරුෂයෙන් ආක්‍රොශ කොට, තෙරුන් වහන්සේට කිසි පීඩාවක් කොටගත නොහී, තෙරුන් වහන්සේගේ ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය දැක “මොහු මහ තෙද ඇති රහත්කෙනෙක, නන්‍දෝපනන්ද නම් නාරජහු වැනි, අභිච්ඡත්ත නම් නාරජහු වැනි, පන්නක නම් නාරජහු වැනි, මට ශතසහස්‍ර ගුණයෙන් වඩනා නාගරාජයෝ පවා රහතනන්ට මන් කොට පස්වා දහස් මුළුල්ලෙහි ලෝකවාසීන් අතින් නින්‍දා අසමින් සිටියහ, දැන්දක් මොහු බඹවෙසක්-ගුරුළු වෙසක් මැවු නම් මා ගිරිගැඩවුලකු නො වටනා වන් කරවා පියති, මම් ම පළමුකොට ඔවුන් පා වැඳකළ වරද ක්‍ෂමා කරවමි”යි සිතා මහ තෙරුන් වැඳ ක්‍ෂමා කරවා අනර්ඝ වූ මිණිපලඟක් මවා එහි මහ තෙරුන් වඩා හිඳුවා තෙමේ එකත්පස්ව නා නළුවන් පිරිවරා හුන්නේ ය.

එ වේලෙහි මහ තෙරුන් වහන්සේ බුදුකෙනකුන් සේ වැඩහිඳ බණ වදාරා සුවාසූදහසක් නයින් හා ලක්‍ෂගණන් යක්‍ෂ–ගරුඩ ගන්‍ධර්වාදීන් ද සරණ සිල් ගන්වා, පඤ්චක නම් යක්‍ෂ සේනාධිපතිහු හා භාරිති නම් යක්‍ෂණිය හා පන්සියයක් දරුවන් සෝවාන් කොට, ඉක්බිත්තෙන් කාශ්මීර–ගන්‍ධාර දේශවාසීන් හවුරුදු පතා එම නාගරාජයාට දෙන නාග බලි පූජාව ගෙන, රැස්වූ මහපිරිසට එම අස්නේ වැඩහිඳ සංයුත්සඟියැ සළයින් වග බුදුන් වදාළ ආසීවිසෝපම සූත්‍රය බණ වදාරා, සුවාසූ දහසක් දෙනාට මාර්‍ගඵල දී, ලක්‍ෂයක් පුරුෂයන් මහණකොට, එ තැන් පටන් ඒ කාශ්මීර ගන්‍ධාර දෙ දේශයෙහි ධර්‍ම ශාසනය පිහිටුවා ලෝවැඩ කොට බුදුන්ට උත්තම ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

තව ද: දෙවන මහාදෙව නම් මහතෙරුන් වහන්සේ මහිස මණ්ඩලයට වැඩ මැදුම්සඟියෙහි උපරි පණස වදාළ දේවදූත සූත්‍රයෙන් බණ වදාරා, සතලිස් ලක්‍ෂයක් ප්‍රාණීන් නිවන් දක්වා සතලිස් දහසක් පුරුෂයන් මහණ කොට එහි සසුන් පිහිටුවා ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

තව ද: තුන්වන රක්ෂිත නම් මහතෙරුන් වහන්සේ ද දහම් අනාවාස ව තුබූ වනවාස නම් දනව්වට වැඩ, අහස්කුස පුන් සඳක් සේ දිලිහි දිලිහී වැඩහිඳ, සියලු සතුන්ට ම පෙනි පෙනී සංයුත් සඟියෙහි වදාළ අනමතග්ග සූත්‍රය දෙශනා කොට, සැට දහසක් ප්‍රාණීන් නිවන්දක්වා, සැත්තෑදහසක් මනුෂ්‍යයන් මහණ කොට, පන්සියයක් මහා විහාර ඇති කරවා ලෝවැඩ කොට අප්‍රමාණ වූ ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

තව ද: සතර වන යෝනක ධර්‍මරක්ෂිත නම් මහතෙරුන් වහන්සේ ද අපරන්ත නම් ජනපදයට වැඩ අංගොත්තර සඟියෙහි වදාළ අග්ගික්ඛන්‍ධෝපම සූත්‍රයෙන් බණ වදාරා, සත් තිස් දහසක් ප්‍රාණීන් එක දා නිවන් දක්වා, රජකුලයෙන් ම දහසක් පුරුෂයන් හා දහසක් බිසෝවරුන් මහණ කරවා, එහි සද්ධර්‍ම ප්‍රදීපය බබුළුවා උත්තම ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

තව ද: පස්වන මහා ධර්‍මරක්ෂිත නම් මහතෙරුන් වහන්සේමහාරාෂ්ට්‍ර නම් ජනපදයට වැඩ කුදුගත් සඟියෙහි වදාළ මහා නාරද කාශ්‍යප ජාතකයෙන් බණ වදාරා එ ම දා ම සුවාසූදහසක් ප්‍රාණීන් නිවන් දක්වා, තෙළෙස් දහසක් මනුෂ්‍යයන් මහණ කොට එහි ධර්මාශාසනය පිහිටුවා සම්‍යක් ප්‍රතිපත්තීන් බුදුන්ට පූජා කළ සේක.

තව ද: සවන මහා රක්ෂිත නම් මහ තෙරුන් වහන්සේයෝනක දේශයට වැඩ දික් සඟියෙහි ශීලස්කන්‍ධ වර්‍ගයෙහි වදාළ කාළකාරාම සූත්‍ර දේශනාවෙන් බණ වදාරා, එක්ලක්‍ෂ සැත්තෑ දහසක් ප්‍රාණීන් එකදා ම නිවන් දක්වා, දස දහසක් යොනුන් මහණ කොට දහස් ගණන් විහාර ඇති කොට, මෙසේ යෝනක දේශයෙහි ධර්‍මශාසනය පිහිටුවා, බුදුන්ට උත්තම ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

තව ද: සත් වන මජ්ඣිම නම් මහතෙරුන් වහන්සේද පඤ්ච මහා ස්ථවිරයන් සමග හිමවන්ත නම් දනවුවට වැඩ, පළමු වන දම්සක් පැවතුම් සූත්‍රයෙන් බණ වදාරා, එක දා අසූකෙළක් ප්‍රාණීන් නිවන් දක්වා, පස් ලක්‍ෂයක් රහත් සඟුන් ඇති කොට, මෙසේ බුදුන්ට අප්‍රමාණ වූ ප්‍රතිපත්තීන් පුජා කළ සේක.

තව ද: අට වනු වූ සෝණ නම් මහතෙරුන් වහන්සේ ද ස්වර්‍ණභූමි නම්දනවුවට වැඩ, එරට රජකුලෙහි උපනුපන් දරුවන් කා පියා පලා යන කර්කශ වූ යකින්නක දැක, එ දවසු දු උපන් රජකුමරුවා බිලිගනිමි යි ආ වේලෙහි, නො එක් පෙළහරින් තමන් වහන්සේ ඒ කුමරුට අරක්ගෙන යකින්න භය ගන්වා, ඇය දුරලවා දිවයින සිසාරා යක්‍ෂයන් වැද්ද නො හැකි සේ සීමා බැඳ, ඒ පෙළහරෙහි විස්මය පත් ව රැස් වූ මනුෂ්‍යයන්ට බ්‍රහ්මපාල සූත්‍රයෙන් බණ වදාරා, සැටදහසක් ප්‍රාණීන් නිවන් දක්වා තුන්දහස් පන්සියයක් පුරුෂයන් හා එක්දහස් පන්සියයක් ස්ත්‍රීන් මහණ කරවා මෙසේ ධර්මාසනය පිහිටුවා, දිවි පමණින් බුදුන්ට අප්‍රමාණ වූ උතුම් වූ ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

මෙසේ ලොවුතුරා බුදුන් පවා ලෝභය කරවන නිවන් සුව ලදින්, ධ්‍යාන සුවයෙන් ඒ ඒ තැන්හි වැඩහිඳ සුව විඳ නො පියා මේ ස්ථවිරයන් පවා නිවන් සුව හැර, ඒ ඒ තැන්හි ඇවිද, ලෝ වැඩ කළ කල, මතු සංසාරයෙහි දවස් යවන්නට සිතන්නාවූ නුවණැති කවර පුද්ගල කෙනෙක් ලෝවැඩෙහි උපෙක්‍ෂාවෙද් ද? එසේ හෙයින් නුවණැත්තා වූ ශාසනගත භික්ෂූන් විසින් ලෝවැඩ සසුන් වැඩෙහි අප්‍රමාද ව දවස් යැවිය යුතු. එසේ හෙයින් ලදුයේ මැයි:

මහාදයස්සාපි ජිනස්ස කඩ්ඪනං

විහාය පත්තං අමතං සුඛම්පි තෙ

කරිංසු ලොකස්ස හිතං තහිං තහිං

භවෙය්‍ය කො ලොකහිතෙ පමාදවා-යි.