තෘතීය සඞ්ගායනා

star_outline

මෙසේ ඒ කාලාශොක නම් රජහු අයාමෙන් ඔහුගේ දරුවෝ: භද්‍රසෙන ය, කොරණ්ඩ ය, මංගුර ය, සර්වංජහ ය, ජාලික ය, උසභක ය, සඤ්ජය ය, කොරව්‍ය ය, නන්‍දිවර්ධන ය, පඤ්චමක ය යි යන දසබෑ රජහු රජ කළාහ. ඔවුන් අයාමෙහි උග්ගසේන නන්‍ද ය. පණ්ඩුක නන්‍ද ය, පණ්ඩුගති නන්‍ද ය, භූතපාල නන්‍ද ය, රට්ඨපාල නන්‍දය, ගොවිසාන නන්‍දය, දසසිද්ධක නන්‍දය, කෙවට්ට නන්‍ද ය, ධනපාල නන්‍දය යි යන නවනන්‍ද රජදරුවෝ එම නුවර හිඳ රාජ්‍යය කළහ. ඔවුන් අයාමෙන් පෙර විඩූඩභ යුද්ධයෙහි රටින් ගියා වූ ශාක්‍යපුත්‍රයන් විසින් කරන ලද මෝරිය නම් නුවර උපන්නා වූ එම ශාක්‍යවංශයෙහි උද්ගතවූ චාණක්‍ය නම් බමුණා ගෙන් උපදෙස් ලදින් චන්‍ද්‍රගුප්ත නම් රජෙක් එම පාටලීපුත්‍ර නම් නුවර රාජ්‍යය කෙළේ ය. පසුව ඔහු පිත් බින්දුසාර රජහුගේ එක්සියයක් පමණ පුත් කුමරුවෝ වූහ, ඔවුන් අතුරෙන් ධර්මාශෝක නම් කුමර පියරජහු අයාමෙන් පැනනැඟී තමා හා කුසහොත් තිස්ස නම් රජ කුමරුවා හැර, නව අනුවක් පමණ මල් රජුන් මරා, තමන් ගේ බාහු බලයෙන් ම ජයගෙන මුළු දඹදිවට සේසත් නඟා, දඹදිව හැමරජුන් තම හට සේවයට එන සේ ආඥා පතුරුවා එම පාටලීපුත්‍ර නම් නුවර රජ කෙළේ ය.

ධර්මාශෝක නම් රජ ඉතා මහත් වූ තෙජස් ඇතියේ ය. මහත් වූ ශ්‍රද්ධා ඇතියේය, මහත් වූ පින්බල ඇතියේ ය, ඔහුගේ ආඥා පොළොවින් යොදනෙක හා ආකාශයෙන් යොදනෙක පැතිරෙයි. අනවතප්ත විලින් සොළොස් කලයක් පැන් දවස දවස දෙවියෝ රජගෙට ගෙන දෙත්. එ රජ සැට දහසක් පමණ සංඝයා වහන්සේ තමාගේ යටිමාලේ දී දවස් පතා වළඳවයි. සොළොස් දහසක් පමණ පුර ස්ත්‍රීන් පිරිවරකොට ඇති අසන්‍ධිමිත්‍රා නම් අග බිසෝ කෙනෙක් ඇත, ඒ බිසොවු නම් කේශාන්තය පටන් පාදාන්තය දක්වා, අසවල් තෙනෙක සන්‍ධියෙක් ඇතැයි දැනගත නො හැක්ක. ජාම්බුනදයෙන් මවාලු කනක රූපයක් වැනියාහ, ඕතොම සැඟවී තිබෙන සන්‍ධි ඇති හෙයින් අසන්‍ධිමිත්‍රා නම් වෙති. ඒ බිසොවු මෙසේ වූ රූප ඓශ්වර්‍ය්‍ය පිනක් ගිය ජාතියෙහි මී දන් දෙන් ගෙයක් අත නඟා පෑලූ කුශලයෙන් ලදහ යි දත යුතු. මේ නාටක ස්ත්‍රීන්ටත්, භික්ෂුන්වහන්සේටත්, හිමාලයෙන් නාලිය දැවටි දවස් පතා දෙවියන් ලවා ගෙන්වා දෙති.

තව ද: දිව්‍යමය වූ ඇඹුල ද, දිව්‍යමය වූ අරළු ද, මහ දියකළ සා අඹ ද, දවස් පතා ම දෙවියෝ හිමාලය වනයෙන් ගෙනවුත් රජහට දෙති. තව ද: දවස් පතා පස්වනක් පෑ ඇති දිව්‍යශාටක යුග්මයක් හා රන්වන් අත්පිස්නාවක් හා දෙවියෝ ගෙන දෙත් ම ය. තව ද: දවස් පතා දිවසුවඳ හා දිවසමන්මල් පටක් හා දිව්‍යමය අඳුන්කැටක් හා නාගභවනයෙන් නයි ගෙනවුත් දෙති. තව ද: ඡද්දන්ත විලින් ස්වයඤ්ජාත වූ රත් හැල් නවදහසක් යාල ගිරවු ගෙනවුත් දවස් පතා බඩසල් පුරා යෙති. ඒ වී මීයෝ පොතු ගළවා සාල් කොට යෙති. හැම දාම රජහට ඒ රත්හැල් සාලේ බත් ම අනුභවයට වෙයි. මීමැස්සෝ අවුදින් මහා භාජන-කන්කුළු ආදි ස්ථානයෙහි මී බැඳ පුරා පෙදකුත් නො බී යෙති. චලස්සු යකඩ කර්‍මාන්තයෙහි කුළු ගසති. දිවියෝ දාවල් ම සරක් රැක සවස ආනා ගෙනවුත් ගෙරි ගාල්වල ලාලා රාත්‍රිභාගයෙහි තුමූ ගොදුරු සොයා කති. මධුරනාද ඇති පක්‍ෂීහු අවුදින් රජගෙයි පලපදනම් පිට හිඳ මධුරනාද පවත්වා සේවය කොට යෙති. මයුරයෝ අවුදින් රජහට පෙනෙන තෙන සිට නටා සේවය කොට යෙති.

ඒ ධර්මාශොක රජ මෙසේ වූ ආඥා තේජසක් කෙසේ වූ පින් බලයෙකින් ලදුයේ ද? යත්; ගිය දවස ගිලන් භික්‍ෂු කෙනකුන් දැක මී පාත්‍රයක් පුරා දන් දී “මේ පාත්‍රයෙහි මී ඉතිර බිම වැගිර ගියා සේ ම, මතු මුළු දඹදිවු තෙලෙහි මාගේ ආඥාව පැතිර පොළොවින් යොදනෙක දක්වා පවතීව යි, ඉතිර නැගි මධුබින්‍දු සේ ම මාගේ ආඥා ආකාශයටත් නැඟේව” යි කියා ප්‍රාර්ථනා කෙළේ ය. එ දා ඒ මී පාත්‍රය පුරා දන් දුන් පිනින් මෙ දා ධර්මාශෝක නම් රජ වි ය. එ දවස් ඒ භික්‍ෂූන්ට මී පිලට අත නගා පෑලූ ස්ත්‍රී මෙදා සොළොස් දහසක් ස්ත්‍රීන්ට නායක ව අසන්‍ධිමිත්‍රා නම් අගමෙහෙසින් වූහ යි දතයුතු.

තව ද: මේ ධර්මාශෝක රජ මෙසේ තුනුරුවන්හි ප්‍රසන්න වූ සිතින් දඹදිව රාජ්‍යය කරනුයේ දවසෙක ඇමැතියන් කැඳවා “බුදුන් සමයෙහි උපනිම් නම් මුළු දඹදිව රාජ්‍යය බුදුන්ට ම පූජා කෙරෙමි, මා පින් මඳ හෙයින් බුදුන් නො හැඳින්නෙමි, බුදුන් හඳුනන්නාහු කවුරු දැ”යි විචාළේ ය. අමාත්‍යයෝ “මාඤ්ජෙරික නම් නාගභවනයෙහි මහා කාළ නම් නාරජ්ජුරුවෝ කපකට ආයු ඇතියහ. මෙ කප බුදුවූ සතර බුදුන්ම දුටුවාහු ය”යි කීහ. රජ එ බස් අසා “ඒ නාරජු ගෙන්වා බුදුන් රූ බලම්හ”යි සිතා රන්හැකිල්ලක් කරවා තමන් අතින් ගෙන “තුණුරුවන්හි සැබවින් පැහැදියෙම් නම්, සැබැවින් ම සැදෑ ඇතියෙම් නම්, මේ හැකිල්ල ගොස් ඒ නාරජු බදා ගෙනෙව”යි සත්‍යක්‍රියා කොට පොළොවට ගැසීය. එකෙණෙහි මහපොළොව කපාගෙන පර්‍වතයක් පළා දිවන කඟ වෙණකු සේ ඒ හැකිල්ල පැකිල්ලක් නැති ව ඇසිල්ලෙකින් දිව ගොස් ඒ නාරජහු වාලධිය ගත නාරජ දිවසින් බලා රජ්ජුරුවන්ගේ අචල වූ ශ්‍රද්ධාබල හා තෙජස් දැක, එ කෙණෙහි ම දහස් ගණන් නා නළුවන් පිරිවරා රාජාංගනයෙහි පොළොව පළා පැන නැඟී රජ්ජුරුවන් පෙරට ව දෘශ්‍යමාන ව පෙනී සිටගත.

රජ්ජුරුවෝ ඒ කාළ නම් නා රජ්ජුරුවන් දැක උපචාර කරවා “සතර බුදුන් දුටුදැ”යි විචාළහ. “මහරජ! දිටිමි”යි කීහ. එ බසට රජ්ජුරුවෝ සාධුකාර දී දොහොත් මුදුනෙහි තබා ගෙන “සතර බුදුන්ගේ වෙස් මවා මා දක්වව” කීහ. නා රජ්ජුරුවෝ “මම සරා ගියෙමි, බුදුහු අරාගි සේක, මා තබා මහබඹු වී නමුත් බුදුන් රූපය සකසා දක්වාලිය නොහේ ම ය. එසේ වී නමුත් බුදුන් රුව ඒකලේශයක් බැලුව මැනවැ”යි කියාලා කකුසඳ බුදුන්ගේ සතලිස් රියන් බුද්ධකාය මවාගෙන සතළිස් දහසක් රහතන් පිරිවරා ඒ බුදුන්ගේ ලීලා දක්වා මොහොතක් කල් අහස්කුස සිටියේ ය. එ කෙණෙහි රජ්ජුරුවෝ ප්‍රීතිමත් ව “ජීවිතයෙහි ඵල ලදිමි”යි කියා සාධුකාර දුන්හ. දෙවනු ව කෝණාගමන නම් බුදුන්ගේ තිස්රියන් බුද්ධකාය මවා තිස්දහසක් පමණ රහත් ගණයා හා සමඟ අහස්කුස පෙනීගියා සේ දක්වාලීය. එවේලෙහි රජ්ජුරුවන් හා මහපිරිස සාධුකාර සහස්‍රයෙන් පූජා කළ හ. තුන්වනු ව කාශ්‍යප නම් බුදුන්ගේ විසිරියන් පමණ බුද්ධකාය මවා විසිදහසක් පමණ රහත් ගණයා සමඟ අහස්කුස වැඩසිටියා සේ දක්වා ලී ය. එ වේලෙහි ද මහත් වූ උත්සවයෙන් පූජා වි ය. සතරවනු ව අප මහා ගෞතම බුදුන් වහන්සේගේ දෙතිස්මහා පුරුෂලක්‍ෂණ අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් විරාජමාන වූ අටළොස් රියන් බුද්ධකාය මවාගෙන බෝමඬ වජ්‍රාසන පැනනැඟී මාරපරාජයෙහි වැඩහුන්නාවූ ශ්‍රීවිලාශය දක්වා ලී ය. එකෙණෙහි රජ්ජුරුවෝ බුද්ධාලම්බන ප්‍රීතීන් පිනා මුළු දඹදිව රාජ්‍යය බුදුන්ට පුදා සොළොස් දහසක් පුරස්ත්‍රීන් හා සමඟ අනිමිස ලෝචනයෙන් බුදුන් වැඳ සිට සත් දවසක් මුළුල්ලෙහි පූජා කළහ.

එ තැන් පටන් දවස දවස වඩ වඩාලා තුනුරුවන්හි ප්‍රසන්න වූ රජ්ජුරුවෝ මුළු දඹදිවු තෙලෙහි සුවාසූ දහසක් රාජධානි ඇති කරවා බුදුන්ගේ එකි එකී ධර්මස්කන්‍ධයට එකි එකී රජමහා විහාරයක් බැගින් කරවමි”යි සිතා සයානූකෙළක් ධන වියදම් කොට සුවාසූදහසක් රාජධානියෙහි සුවාසූදහසක් දාගබ් බඳවා ධාතු පූජා කළ හ. සුවාසූදහසක් බෝධි පිහිටුවා බෝධි පූජා කළහ. සුවාසූදහසක් රත්වත් මහපා සඞ්ඝාරාම කරවා සඞ්ඝපූජා කළ හ.

මෙසේ තුන් හවුරුද්දක් මුළුල්ලෙහි සුවාසූදහසක් විහාර නිමවා රහතන් කරා ගොස් “ස්වාමීනි! මාගේ විහාරවල කොත්මඟුල් පූජා එක දා ම කරවනු කැමැත්තෙමි. හැම දක්නාත් කැමැත්තෙමි. දඹදිව මහත, කෙසේ මාගේ චිත්තප්‍රසාදය කොට ගනිම් දැ”යි විචාළහ. එ වේලෙහි රහතන් වහන්සේ “මැනැව මහරජ! සියලු වෙහෙරවල එක දවස් එක වේලෙහි ම පූජා කොට කොත් පලඳවන සේ නියෝග කොට කියා යව”යි වදාරා එ වේලෙහි රජ්ජුරුවන් අත අල්වා ගෙන ආකාශයට පැනනැඟී “සියලු විහාර පූජා ම මෝහට පෙනේව”යි අධිෂ්ඨාන කොට වදාළ සේක.

එකෙණෙහි රජ්ජුරුවෝ සුවාසූදහසක් විහාරපූජා ම විශේෂයෙන් දැක පස්වනක් ප්‍රීතින් පිනා දොහොත් මුදුනෙහි තබාගෙන සාධු සාධු බුද්ධශාසනයට හිමි වීමි, හිමි වීමි යි තුන්යලක් කීහ.

එ වේලෙහි රහතන් වහන්සේ “මේ රජ්ජුරුවන්ගේ දරුවන් නිසා ම මතු ශ්‍රීලඞ්කාද්වීපයෙහි සසුන් පිහිටවයි දැන ඔවුන් මහණ කරවනු සඳහා මහරජ ශාසනයට තව හිමි නුවූයෙහි වේ දැයි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ “ස්වාමීනි! මා වැනි ශ්‍රද්ධාවන්ත රජක්හු නුඹවහන්සේගේ ශාසනයට දායා ද නො ලද්දෝතින් කවරෙක් ලැබේ දැ” යි විචාළහ. මහරජ! දරු කෙනකුන් වදා වඩා බුදුසස්නෙහි මහණ කරවාලු කෙනෙක් ශාසනයට හිමියාහු ය. එසේ නො කළ කෙනෙක් කොතෙක් පින් කළාහු වූ නමුත් හිමි නො වන්නාහු ම වේ දැ”යි වදාළ සේක.

රජ්ජුරුවෝ “ඒ පිනත් පුරමි” යි සිතා දකුණැ’ළයෙහි සිටි මිහිඳු නම් පුත් කුමාරයන් මුහුණ බැලූහ. එ වේලෙහි මිහිඳු කුමාරයෝ පියාණන් ගේ අදහස් දැන “ස්වාමීනි! මම දැන් ම මහණ වෙමි” යි කීහ. වමැ’ළයෙහි සිටි සඞ්ඝමිත්තා නම් දියණියන් මුහුණ බැලූ හ. ඕ ද දැන්ම මහණ කැරවුව මැනැව”යි කීහ. එ වේලෙහි රජ්ජුරුවෝ ඉතා සතුටු ව එම පූජාවෙහි ඒ මිහිඳු නම් කුමාරයන් හා සඞ්ඝමිත්තා නම් දියණියන් හා දෙබිහින්නන් මහණ කරවා, බුදුසස්නට හිමි වූහ. මෙසේ ශ්‍රද්ධාවන්ත වූ රජ්ජුරුවෝ “මිථ්‍යා දෘෂ්ටි ගතුවන්ට බත් නො ලන්නේ ය”යි මුළු දඹදිව බෙර ලැවූහ.

එ කල දඹදිවු තෙලෙහි අළු ගා මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ එක ද සත්ත්‍වයෙකුත් නැත. තීර්‍ථකයෝ බත් නොලදින් මහණවනු සඳහා විහාරවලට එති. භික්‍ෂූන් වහන්සේ ශාසනය භේද කෙරෙති යි සිතා ඔවුන් මහණ නො කරවන සේක. එ කල ඔහු තුමූ තුමූ සිවුරු සොයා ගෙන සැටදහසක් පමණ මිථ්‍යාදෘෂ්ටිගතුවෝ මහණව වෙස් වළා අලජ්ජීන් හා එක් ව ශාසනය කිලුටු කළහ. එ කල සත්හවුරුද්දක් මුළුල්ලෙහි රහතන් වහන්සේ පුද්ගලයන් නපුරු හෙයින් උපොෂථය නො කළ සේක. එ කල මොග්ගලි පුත්ත තිස්ස නම් මහ තෙරුන් වහන්සේ දසදහසක් පමණ රහතන් වහන්සේ හා සමඟ එම නුවර ධර්මාශෝක රජ්ජුරුවන් කරවූ අශෝක නම් ආරාමයෙහි වැඩහිඳ බුදුන් පිරිනිවි දෙසිය අටළොස් අවුරුද්දකින් එම ධර්මාශෝක රජ්ජුරුවන්ට සතළොස් වන්නෙහි එම රජ්ජුරුවන්ගෙන් ආරක්‍ෂා ලදින් නව මසකින් තුන්වන ධර්‍මසඞ්ගායනාව කොට සැට දහසක් පමණ අලජ්ජීන් දුරුකොට ශාසනය පරිශුද්ධ කොට වදාළ සේක.

මෙසේ තමන්වහන්සේ පිරිනිවී දෙසිය අටළොස් අවුරුද්දක් ඇතුළත පරිනිර්‍වාණ දිනයෙහි වර වාරණ නම් දිව්‍යපුත්‍රයා මාල ජාලාවෙන් කළ පූජා ය, දෙතිස් මහා පූර්වනිමිත්ත පූජා ය, එම වේලෙහි දසදහසක් සක්වළ දිව්‍යරාජයන් කළ පරිනිර්වාණ පූජා ය, මල්ල රජුන් කළ ආදාහන පූජා ය, සත් අවුරුදු සත් මස් සත් දවසක් මුළුල්ලෙහි අජාසත් රජ්ජුරුවන් දවස් පතා කළ ධාතු පූජා ය, සෙසු රජුන් ශක්ති පමණින් දවස්පතා කළ ධාතු පූජාය, අජාසත් රජ්ජුරුවන් සත්මසක් මුළුල්ලෙහි දවස් පතා කළ ප්‍රථම සංගායනා පූජා ය, කාළාශෝක රජ්ජුරුවන් අටමසක් මුළුල්ලෙහි දවස්පතා කළ ද්විතීය සංගායනා පූජා ය, ධර්මාශෝක රජ්ජුරුවන් නවමසක් මුළුල්ලෙහි දවස්පතා කළ තෘතීය සංගායනා පූජා ය, තව ද: එම ධර්මාශෝක රජ්ජුරුවන් කළ ජම්බුද්වීප පූජා ය, ඔවුන්ම කළ සුවාසූදහසක් පමණ චෛත්‍යඞ්ගණ පූජා ය, සුවාසූ දහසක් පමණ බොධ්‍යඞ්ගන පූජා ය, සුවාසූදහසක් පමණ සඞ්ඝාරාම පූජාය, තව ද: එම ධර්මාශෝක රජ්ජුරුවන් විසින් ම කරනලද අනිමිසලොචන පූජා ය, සාධුනාද පූජා ය, මිහිඳු කුමාරයන් හා සඞ්ඝමිත්‍රාවන් දෙදෙනාගේ මහණ පූජා ය.

තව ද, සත්ලක්‍ෂ පන්සියයක් ක්‍ෂීණාශ්‍රව ස්ථවිරයන් හා සමඟ මහාකාශ්‍යප ස්ථවිරයන් සද්ධර්‍ම ප්‍රතිෂ්ඨාවෙන් කළා වූ සම්‍යක් ප්‍රතිපත්ති පූජා ය. යශ නම් මහා ස්ථවිරයන් දොළොස් දහසක් මහ රහතන් හා සමඟ ශාසනප්‍රතිෂ්ඨාවෙන් කළාවූ විශේෂ වූ ප්‍රතිපත්ති පූජා ය, මොග්ගලි පුත්තතිස්ස නම් මහා ස්ථවිරයන් දසදහක් මහ රහතන් හා සමඟ ශාසන ශුද්ධතාවෙන් කළා වූ විශේෂ වූ ප්‍රතිපත්ති පූජා ය, මතු ලබන ධාතුපරිනිර්‍වාණ පූජා ය යි මෙසේ තුදුස් ලක්‍ෂ සත්පණස් දහස් නවසිය සයානූවක් පමණ උද්දෙසික පූජා ලත් හෙයිනුත්, මෙයින් පිටත් වූ අප්‍රමාණ පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේ කැ යි කියමි. එසේ හෙයින් පූර්වාචාරීන් විසින් කියන ලදුයේ මැයි;

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි.

මේ පූජාවලියෙහි අප බුදුන් ධර්මාශෝකාදි ජම්බුද්වීප රජුන් ගෙන් ලද

උද්දේසික පූජා කථා නම් වූ දෙතිස් වන පරිච්ඡෙදය නිමි