ගෞතම බුදුන්ගේ තෘතීය ලඞ්කාගමන

star_outline

තව ද: අප බුදුහු බුදු වූ අට වන හවුරුද්දෙහි සුනාපරන්ත නම් මහ තෙරුන්ගේ ආරාධනාවෙන් පන්සියක් රහතන් හා සමඟ සක්දෙවු රජහු මවා දුන් පන්සියක් රුවන් මඬු නැඟී සුනාපරන්ත දනවුවෙහි මුහුළු නම් අරම චන්‍දන ශාලාව පිළිගෙන කීප දවසක් එහි දවස් යවා, දේශනාරශ්මින් බොහෝ වූ විනෙය ජන පද්මයන් ප්‍රබෝධ කරවා, එයින් නර්‍මදා නම් ගඟට වැඩ එහි, වසන නර්‍මදා නම් දිව්‍ය නාගරාජයා විසින් දෙන ලද දිව්‍යාහාරය සහපිරිවරින් වළඳා, ඕහට බණ වදාරා, සරණසීලයෙහි පිහිටුවා, අමාමහ නිවන් දක්වා, එම නාරජහුගේ ආරාධනාවෙන් ඒ ගංතෙර රළින් මුවා වන තැන ඕහට ශ්‍රීපාදයක් ඔබා එයින් සච්චබද්ධක නම් පර්‍වතයට වැඩ, එහි පෙර බොහෝ කලක් මිථ්‍යා දෘෂ්ටි ගෙන විසූ සච්චබද්ධක නම් ජටිලයන්ට බණ වදාරා, ඔහු සරණ සීලයෙහි පිහිටුවා ඒහිභික්‍ෂු භාවයෙන් පැවිදි දී, එම සච්චබද්ධක නම් මහ තෙරුන්ගේම ආරාධනාවෙන් ඒ ගල් මුදුනේ හිඳ, ඉටියෙහි එබූ හසක් සේ පාදලක්‍ෂණ හා සමඟ ශ්‍රීපාදයක් ඔබා, එයින් මහෝදර නාරජහු මයිල් මිණි ඇසී නම් නාගරාජයාගේ ආරාධනාවෙන් වෙසඟ මැදි පොහෝ දිනයෙහි ලක්දිව් වැඩ, කැළණි මහසෑය පිහිටි තැන වැඩහිඳ, ඔහු විසින් මවන ලද දිව්‍යමණ්ඩපයෙහි අනර්ඝ වූ දිව්‍යාසන නැඟී වැඩහිඳ, ඔහු විසින් ම දෙනලද දිව්‍යභොජන සහපිරිවරින් වළඳා, බණ වදාරා, එම නාරජහුගේ ආරාධනාවෙන් කැළණි ගඟ යට ද ඕහට පාද ලාංඡනයක් දී නේ සුවහස් නයින් තිසරණ ගන්වා ඔවුන් විසින් කරන ලද අප්‍රමාණ වූ දිව්‍යපූජා ලත් සේක.

එ කෙණෙහි දිව්‍යනාගරාජයන් බුදුන්ට කරන පූජා කෝලාහලයෙන් පැළදිග් බැලූ සමනො කුළළ වසන සමන් දෙවි රජ්ජුරුවෝ “අප බුදුහු අද ලක්දිව් වැඩි වන්හ. අද මාගේ මනදොළ සිද්ධ වන වැන”යි සන්තුෂ්ට වූවාහු එ කෙණෙහි දෙවිපිරිස් පිරිවරා පර්‍වත මුදුනෙන් බුද්ධ පූජාවට අතුට තුබූ පියවිළි පටක් බඳුවූ කැළණි ගඟ අනුසාරයෙන් ආකාශයෙන් දිව, බුදුන් සහපිරිවරින් වැඳ, දොහොත් මුදුන් දී සිට “කරුණා නිධාන වූ තිලෝගුරු බුදුරජාණෙනි! මේ නැගෙනහිරි දිශාභාගයෙහි පස් ගවුවක් උසින් ඉඳු මිණිගල් පර්‍වතයක් සේ ආකාශයෙහි ගැහැටි ගැහැටි සිටිනා සේ පෙනෙන්නාවූ සමන්තකූට පර්වතය නම් එසේ මෙසේ වූ පර්වතයෙක් නො වෙයි, අනන්තපරියන්ත වූ බුදුන්ගේ පාද ශ්‍රී ලබන්නා වූ පර්‍වතයෙක. දැනුදු නුඹවහන්සේ ද, මාගේ කුළු නමැති ඔටුන්නෙහි තෙල ශ්‍රී පාද නමැති අගමිණිරුවන පලඳවා ලෝවැඩ කළ මැනැවැ”යි ආරාධනා කළහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ පූර්වදිග් බලා ලංකා නමැති අඞ්ගනාව තමන් වහන්සේට පෙරමඟ බලා, කර නඟා සිටියාක් වැනි වූ, මුදුන් කුළු නමැති කේශ කලාපයකින් හා පෙර මීට දෙවාරයක් වැඩ මට පාද ස්පර්ශය නුදුන් සේකැ යි ශෝකයෙන් හඬන කඳුළු ධාරා දෙකක් වැනි මහවැලි ගඟ හා කැළණි ගඟ වැනි ගංගා යුග්මයකින් හා තව ද: පාදවියෝගයෙන් ඛෙද ව ඇය විසින් කඩා ඉස්නා ලද රත්නාභරණ සමූහයක් සේ වනය සිසාරා පිහිටි සියදහස් රත්නාකර සමූහයෙන් හා ශ්‍රීමත්ව දිලියෙන සමනොලකුළ දැක “අද මම ද පෙර බුදුන්ගේ සිරිත් කොට ලඞ්කාඞ්ගනාව සතුටු කරවමි” යි සිතා වදාරා දිව්‍යනාග-ගන්‍ධර්වාදී පූජා විඳ විඳ පන්සියයක් මහ රහතන් හා සමඟ ආකාශයෙන් වැඩ පර්වත මුදුනෙහි ඝනරන් කඳක් සේ දිලිහි දිලිහී වැඩසිටි සේක. එකෙණෙහි පර්‍වතය වෙවුලා මුදුන් කුළ ආකාශයට නැඟී බුදුන්ගේ ශ්‍රීපාදය පිළිගෙන අහසින් බැස පෙර සේම පිහිටා ගිය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ මුරු බඹ කැලන් කරන මහ පූජා විඳ විඳ පැළදිග බලා වැඩසිට මේ ශ්‍රී ලඞ්කාද්වීප නමැති තුණුරුවන් භාණ්ඩාගාරය තමන් වහන්සේට හිමිනියාවටම හසක් එබුවා සේ, අටතුරා සියක් මඟුල් ලකුණෙන් ශ්‍රීමත් වූ දෙවි බඹුන්ට මුදුන් මල්කඩ වූ, එක්රියන් නව අඟුලක් පමණ අයම් විතර ඇති වාම ශ්‍රීපාද සලක්‍ෂණ කොට ඔබා වදාළ සේක.

එ කෙණෙහි බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ශ්‍රීපාද වියෝගයෙන් ශෝකී වූ ලඞ්කාඞ්ගනාව එකෙණෙහි නිශ්ශොකී ව, එම විට ම පහළ වූ අකාල මෙඝජල නමැති අමාදියෙන් ස්නානය කොට, මුළු දිව ව්‍යාප්ත වූ ෂට්වර්ණ බුද්ධරශ්මි නමැති අනෙකවර්ණ වූ පූජා වස්ත්‍රයන් ධරා, දිවමල් වර්ෂා නමැති අංගරාගයන් තවරා, රුවන් වර්ෂා නමැති ආභරණ පැලඳ, සමුද්‍රඝෝෂා නමැති තූර්‍ය්‍යනාද පතුරුවා, භෘඞ්ගනාද නමැති ගායනා කොට, අකාල කුසුම් නමැති මල්දම් පැළඳ, මහීනාද නමැති සාධුකාරයෙන් ස්තුති ගීතිකා කිය කියා, මෙඝනාද නමැති අත්පොළසන් දිදී නටා, සන්තෝෂයෙන් පූජා කළා ය.

මෙසේ ස්වාමිදරුවෝ ලඞ්කාඞ්ගනාව සතුටු කරවා සමනොළ ශ්‍රීපාදය ඔබා එ ගල් පාවිට වූ භගවත් නම් ලෙන වැඩහිඳ සමවත් සුවෙන් දිවා විහාර කොට එයින් සිරිලක ඇතුළත් කොට, අනුරාධපුරයට වැඩ, දකුණු මහසෑය පිහිටිතැන, මහමෙවුනා උයන් මැද ශ්‍රී මහා බෝධිය පිහිටි තැන ය, ලෝවාමහාපාය පිහිටි තැන, පිරිත්ලාගෙය පිහිටි තැන ය. දන්තාදර නම් පොකුණ පිහිටි තැන, ථූපාරාමය පිහිටි තැන, පතස්භූමියෙහි රුවන්මැලි මහ සෑය පිහිටි තැන ය. මිහින්තලයෙහි මහසල සෑ පිහිටි තැන ය යි යන මේ අටමස්ථානය පූර්වබුද්ධවරයනුදු වැඩහුන්බිම් හෙයින් තමන්වහන්සේ ද ධ්‍යානසුවයෙන් වැඩහිඳ, එ තෙනට රැස් වූ දෙවියනට බණවදාරා, නො එක් දෙවියන් සසරින් මුදා, එයින් වැඩ රුහුණු දිගානක පිහිටි තැන ය යි මෙසේ මේ ලක්දිව තුන්වාරයෙන් කැටිව තුදුස් තැනෙක තුදුස් මොහොතක් කල් තුදුස් සමවතෙකින් තුදුස් බුද්ධකාරක ධර්‍මයකින් යෙදුණා වූ අප බුදුහු මෙසේ පාරිභොගික ධාතූ ප්‍රතිෂ්ඨාවෙන් ලක්දිවට අරක් දී දෙවුරම් වෙහෙර ම වැඩි සේක.

මෙසේ තමන් වහන්සේ මොහොතක් කල් වැඩහුන්නා වූ තුදුස් තැනට දෙවිමිනිසුන් දැන් දක්වා කරනලද මහත් වූ උද්දෙසික පූජා ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

තෘතියා ගමන කථා යි.