අනුරාධපුර උත්පත්තිය

star_outline

තව ද: ලක්දිව රජුන් ඇති ව මනුෂ්‍යවාස වූ පරිදි කෙසේ ද යත්? එහි විස්තර කථාව මහාවංශයෙහි එන බැවින් මෙතෙන වනාහි රාජවංශ සංක්‍ෂේපයෙන් දක්වා ශාසන කථා සංක්‍ෂේපයෙන් දක්වම්හ:

පෙර කලිඟු රජහු දු වඟුරට වඟු රජහු කෙරේ වැස දුවක ලද. ඕ වැඩී කිසියම් අකුශලයෙකින් එකලා මල් ගොස් අතර මඟ සිංහයක්හට හසු ව ඔහු කෙරේ වැස සිංහබාහු ය සිංහවල්ලි ය යි පුතකු හා දුවක ලදහ. පසු ව සිංහබාහු රජ සිංහවල්ලී නම්

තමාගේ නඟ ම බිසෝ කොට ලාට රට රජ කොට විසී ය. මොවුන් දෙදෙනා දරු විජය කුමර අප බුදුන් පිරිනිවි වේලෙහි සක්දෙවු රජහුගෙන් අරක් ලදින් සත්සියයක් යෝධයන් ගෙන තම්මැන්නා දිවයින් බැස කුවේණි නම් යකින්නගේ සහායයෙන් අතරතුරෙහි නො ගොසින් හුන් යක්‍ෂයන් මරා ලුහුබැඳ එම තම්මැන්නායෙහි නුවරක් කරවා එහි අටතිස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. පසු ව ඔහුගේ උපතිස්ස නම් අමාත්‍යයෙක් තෙමේ හවුරුද්දක් රාජ්‍යය කොට දඹදිව් යවා විජය රාජයන්ගේ බැහැනන් පඬුවස්දෙව් රජහු ගෙන්වා ඇලසර තමා කැරවූ උපතිස්ස නම් නුවර ලා තිස්හවුරුද්දක් රාජ්‍යය කැරවී ය.

බුදුන් සුළුපිය අමිතෝදන නම් ශාක්‍ය රජ්ජුරුවන් දරු වූ පාණ්ඩුශාක්‍යයන් දූ කසයින් දේවී තමන් හා කුසහොත් දසබෑ කෙනෙකුන් සමඟ ලක්දිව් බැස ඒ පඬුවස්දෙව් රජහු කෙරේ වැස පුතුන් දසදෙනකු හා දුවක ලද. මහලු පිත් අබා නම. බාල නං උන්මත්සිත් නම, ඔවුන්ගේ යටකී මයිලන් දසදෙනා අතුරෙන් රාම නම් ශාක්‍යයන් විසූ තැන් රාමගෝන නම් විය. රෝහණ නම් ශාක්‍යයන් විසූ තැන් රෝහණ නම් විය. දිශා නම් ශාක්‍යයන් විසු තැන් දිගාමඬුළු නම් විය. උරුවෙල නම් ශාක්‍යයන් විසු තැන් මහවැලිගම නම් විය. අනුරාධ නම් ශාක්‍යයන් විසු තැන් අනුරාධ පුර නම් විය. විජිත නම් ශාක්‍යයන් විසු තැන් විජිතපුර නම් විය. ඒ පඬුවස්දෙව් රජ්ජුරුවන් මාලු පිත් අභය නම් රජ විසි හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය.

ඔවුන් නං උන්මත්සිත් නම් බිසොවුන් තමන් මයිල් දිය නම් ශාක්‍යයන් දරුවූ දීඝගාමණී නම් කුමරුවා කෙරේ වැස දෙවන පණ්ඩුකාභය නම් කුමරහු වැදුව. එ කුමර වැඩි තමාගේ මයිලන් නව දෙනෙකු මරා තමා මයිල් [1]ගිරිකණ්ඩ නම් රජහු දු රන්පෙලි නම් බිසොව රක්‍ෂා කොට අනන්තාපර්‍ය්‍යන්ත වූ සර්‍වඥ නමැති රාජහංස ශ්‍රී ලබන සරසියක් වැනි වූ ලංකා නමැති අංගනාවට සිරිකතක් වැනි වූ අනුරාධපුර නුවර ශ්‍රී මහා බොධිස්ථානයට උත්තර දිශා භාගයෙහි සතර ගව්වෙක් පමණ අයම් විතරින් හා සොළොස් ගව්වක් තැන් වටින් ගෙන දිව්‍ය පුරයක් සේ නුවරක් මුල්පිස කරවා භයා වැව බඳවා බඳවා සැත්තෑ හවුරුද්දක් රාජ්‍යය කෙළේය. මුටසිව නම් රජ මහමෙවුනා උයන කරවා සැට හවුරුද්දක් රාජ්‍යය කෙළේය. එකලට අප බුදුන් පිරිනිවී දෙසිය සතිස් හවුරුද්දක් ගිය කල්හි මුටසීව නම් රජහු පිත් දෙවනපෑතිස් නම් රජෙක් විය. එ රජ සැළයට නැඟු පහනක් සේ අන්තොගත ශ්‍රොතාපත්ති, මාර්‍ග නමැති ප්‍රදීපාලොකයෙන් දිලියෙන මහ පින් බල ඇත්තේ ය, දඹදිව අග රජ කරන පින් ඇතිව ද කිසියම් අකුශලයෙකින් හෙළදිව උපන. හේ කෙසේ ද යත්?

පෙර තුන්දෑ කෙනෙක් වල් ගොස් මී සලා මී වෙළඳාම් කොට ජීවත්වෙති. දවසෙක මහලු දෙබෑයන් මී සලා වලට යාදී ගමහුන් මල්, පිල හිඳ මී විකුණනුයේ, ගිලන් භික්‍ෂු කෙනකුන් දැක මී පාත්‍රයක් පුරා දන් දී සවස මහලු දෙබෑයන් ගෙට ආ කල “සන්හුන් ගුණෙන් යුත් ගිලන් මහණ කෙනෙකුන් දැක මී පාත්‍රයක් දන්දින්මි, පින අනුමෝ ව”යි කී ය. එ බස් අසා මහලු දෙබෑයෝ “ අපි වල ඇවිද මී සොයා දුක් ගනුමෝ ද, තෝ ගම හිඳ වියදම් කෙරේ දැ”යි කිපී එකෙක් “තාගේ මහණ ගෙන සැඩොල්ගම ලා පියව”යි කී ය. එකෙක් කියනුයේ “තාගේ මහණ ගෙන මුහුදින් එතෙර ලා පියව”යි කී ය. එබසට මල්, මුයෙන් නො බැන ඉවසා පසුව දෙදෙනා සන්හුන් කල අවවාද කියා කළ පින් දෙදෙනා ම සමාදන් කැරවීය. ඒ පිනින් පසු ජාතියෙහි මල්, මුළු දඹදිවට අග රජ ව ධර්මාශෝක නම් රජ විය. සැඩොල්ගම ලා පියව යි කී බෑයෝ ඒ ජාතියෙන් මිය රජක් හට දාව, බිසොවක බඩ හෙව, සැඩොල්ගම මැදෙක නුග ගසක් මුල අනාථ ව ඉපැද වැඩ පසුව සමාදන් වූ පිනින් බුදුසසුන් වැද මහණව අමාමහ නිවන් දැක නිග්‍රොධ නම් මහතෙර විය. අනික් බැහැ මුහුදින් එ තෙර ලා පියව යි කී පවින් දඹදිව නො ඉපැද ලක්දිව මුටසීව රජහට පුත් ව දෙවන පෑතිස් රජ ව, සිරිලක ඔටුන් පැළඳ අභිෂේක විය. දාන සමාදාන පින්බල ඉතා මහතැ යි දතයුතු. එසේ හෙයින් කියන ලදී−

නත්‍ථි චිත්තෙ පසන්නම්හි - අප්පිකා නාම දක්ඛිණා,

තථාගතෙ වා සම්බුද්ධෙ අථවා තස්ස සාවකෙ−යි.

මෙසේ දෙවනපෑතිස් රජහු සිරිලක ඔටුනු පැලඳ අභිෂේක මඟුල් කළදවස් සිරිලකට අද්භූතවූ නො එක් රුවනු දු පහළවිය. මුහුදින් ශ්වෙත අශ්ව ආකෘති ඇති හය නම් මුතු ය, ශ්වේත හස්ති ආකෘති ඇති ගජ නම් මුතු ය, මහ ඇඹුල පක් සා ආමලක නම් මුතු ය, සක්වළලු බඳුවූ සටහන් ඇති වළය නම් මුතු ය, සක් මුදු බඳු වූ සටහන් ඇති අංගුලි මුද්‍රිකා නම් මුතු ය, කුඹුක් පක් බඳු වූ සටහන් ඇති කකුධ ඵලක නම් මුතු ය, හුණපුරුකේ සටහන් ඇති වෙණුක නම් මුතු ය, ස්වභාව මුතු ය යි මෙසේ උතුම් උතුම් වූ මුතු අට ජාතියෙක් උපන.

තව ද: එක් හුණ පඳුරෙක ලතායෂ්ටි ය, කුසුමයෂ්ටි ය, ශකුණ යෂ්ටි යයි රථ කැවිටි සා හුණලී තුනෙකුදු දිව්‍ය නිර්මිතයක් සේ උපණ. එයින් ලතා යෂ්ටිය තෙමේ රිදී කඳක් සේ අති ධවල ය, මුල පටන් අග දක්වා විසිතුරු කොට සිතියම් කළා සේ රන්වන්වූ ලියසමූහයෙන් දිලියෙන්නේය. කුසුම් යෂ්ටිය ඉන්‍ද්‍ර නීලයක් සේ නිල්ව පස්වන පැහැ ඇති නන්විසිතුරු මල්ජාතීන් අතුරු නැති ව විසිතුරු විය. ශකුණ යෂ්ටිය ප්‍රවාල වර්ණය. නො එක් ජාතියෙහි නන් පැහැ ඇති පක්‍ෂි සමූහයා විසින් විසිතුරු ව බලා ඇස් හයාගත නො හැකියේ ය. මේ ආදී වූ උතුම් උතුම් රුවන් හා පඤ්ච රාජ කකුධ භාණ්ඩයන් හා ධර්මාශෝක රජ්ජුරුවන්ට යවා උන්හා යහළු ව පූර්‍වසන්නිවාස හෙතුයෙන් ඔවුනොවුන් කෙරෙහි ප්‍රේම ඇතිව වෙසෙති. ධර්මාශෝක රජ්ජුරුවෝ ද දඹදිවින් නො එක් පඬුරු හා:-

අහං බුද්ධ ච ධම්මං ච - සංඝං ච සරණං ගතො,

උපාසකත්තං වෙදෙසිං - සක්‍යපුත්තස්ස සාසනෙ–යි.

යනාදීන් තුනුරුවන් පඬුරු හා ගඳකලල්–පිරිත් පැන් ආදි වූ නො එක් පඬුරු එවා යහළුව හිඳිති. දෙවනපෑතිස් රජ්ජුරුවෝ ද තුණුරුවන් පඬුරෙහි අසුන් අසා “මෙහි කවර දවසෙක සසුන් පිහිටුවා ගනිම් දෝ හෝ”යි සිතසිතා සක්රුවනක් පතන සක්විති රජකු සේ තුණුරුවන් පත පතා හිඳිතී. එකලට අනුරාධපුර නුවර උඩුමහල් නව ලක්‍ෂයකින් හා බිම්මහල් අනූලක්‍ෂයකින් හා ශ්‍රීවන්ත වූ චාතුර්වර්ණයන් විසින් හා හස්ති අශ්ව රථ වීණා මෘදඞ්ග ශඞ්ඛ සම්ම තාල බාද්‍ය භොජ්‍ය යන දශවිධ නාදයෙනුත් සම්පූර්ණව, සම්පත්ති භාරයෙන් දෙවුලොවින් බැස මිහිමඬලෙහි රඳාගිය දිව්‍ය පුරයක් සේ ශ්‍රීවන්ත විය.

අනුරාධපුර උත්පත්ති කථා යි.

  1. ගිරිකණ්ඩ නම් රජහු