ඉක්බිත්තෙන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මොහාන්‍ධකාරයෙන් වැසී තුබූ ශ්‍රී ලංකාද්වීපයෙහි සද්ධර්ම සූර්‍ය්‍යයා නැඟී සද්ධර්‍ම රශ්මි පතුරුවා, උදා වුව මනා කල්හි, එදා නව වනු වූ මිහිඳු මාහිමියන් වහන්සේ ද ගුරුන් වදාළ තෙපුල් මුදුනෙන් පිළිගෙන, ඉට්ඨිය නම් මහ තෙරුන් වහන්සේය උත්තිය නම් මහ තෙරුන් වහන්සේ ය, සම්බල නම් මහතෙරුන් වහන්සේය, භද්‍රශාල නම් මහ තෙරුන් වහන්සේ ය යි තමන් වහන්සේ ඇතුළු වූ මහතෙර පස් නමක් හා නැඟණියන් සංඝමිත්‍රාවන් වැදූ සත්හැවිරිදි සුමණසාමණේර නම් බෑනණුවන් හා අනාගාමී ව, මහණ වනු කැමති ව, ආ දෙබි හින්නන් දරු භණ්ඩුක නම් බෑනණුවන් හා මෙසේ රහතන් සද්දෙනකු ගෙන පියරජ්ජුරුවන් විසින් දෙන ලද රජ පඬුරු හා දහම් පඬුරු ගෙන්වා ගෙන එයින් ආකාශයට පැනනැඟී ශ්‍රී ලංකාද්වීපයට වැඩ අප බුදුන් පිරි නිවි දෙසිය සතිස් වන හවුරුදු, ධර්මාශෝක රජ හට අටළොස් වන හවුරුදු, දෙවන පෑතිස් රජහට පළමු වන හවුරුදු, පොසොන් පුර පසළොස් වක මිහින්තලා බැස ඡායා සම්පන්න මී අඹගසක් මුල වූ අඹතලා නම් ගලතළ සද්දෙනා වහන්සේ පිළිවෙළින් වැඩහුන් සේක.
දෙවන පෑතිස් රජ්ජුරුවෝ පළමු සද්දවසෙක පටන් නුවර දෙවු පුරයක් සේ සරහා සැණකෙළි කෙළනාහු එ දවස් මහ තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් “අද මුව දඩ යෙමි” යි සිතා සතළිස් දහසක් පමණ කැමැති කැමැති ඇමැති සෙනග පිරිවරා ඒ වනයට පැන නැංගහ. එ වේලෙහි ඒ පර්‍වතයෙහි අරක් ගත් දෙවියා මහ තෙරුන් වහන්සේ රජහට දක්වමි යි සිතා රෝහිත මුව වේසය මවා, තණ කන ආකාරයෙන් පිරිසට නො පෙනී රජහට ම පෙනී ගිය. රජ්ජුරුවෝ ඔහු දැක, “ගොදුරු කන මුවා සොරා සිට විදීම පුරුෂ බලයෙක් නොවෙයි, මෝහට පෙනී විදිමි”යි සිතා දුනුදිය අත් පොළා මුවා උගුලුවා සැරයක් අළහ. ඒ මුවදෙවියා සැරය පා හස්සෙන් යවා රජහු ලජ්ජා කරවා මහතෙරුන් වැඩහුන් ගල තළ කරා දිව අන්තර්ධාන විය. රජ්ජුරුවෝ ද යෝධයන් පසු කොට මුවා පසුපස්සෙහි හීසැරවේගයෙන් දිව එ තෙනට පත්ව මුවා ආ ගිය අත් නො දැක ඔබිනොබ බලති.
එ වේලෙහි මිහිඳු මාහිමියන් වහන්සේ රජ්ජුරුවන් දැක “මෙ රජ මහණ වෙස් නො හඳුනයි, හැමදෙනා හා සමග පෙනෙම් නම් රජ භය ගන්ති”යි සිතා සෙසු සදෙනා නො දකීවයි” අධිෂ්ඨාන කොටලා තමන් වහන්සේ ම රජහට පෙනී “තිස්සය මා කරා වරැ”යි වදාළ සේක. එ බසට රජ්ජුරුවෝ “මෙ ලක්දිව මුළුල්ලෙහි මට තිස්ස ය යි කිය හෙන සතෙක් නැත, කවරෙක් දෝ හෝ “බලා මහ තෙරුන් වහන්සේ දැක කිපී “ඉස මුඩු
වූ, දතහුදු වූ රත් පවුල් පෙරෙවි ජින්න-භින්න පටධාරිය! තෝ කවරෙක්හි දැ” යි කීහ. එ බසට මහ තෙරුන් වහන්සේ සුරතල් කියන පුතක්හු දුටු පියාණ කෙනකුන් සේ රජහු මහ කුළුණෙන් බලා:
සමණා මයං මහාරාජ!-ධම්මරාජස්ස සාවකා
තමෙව අනුකම්පාය–ජම්බුදීපා ඉධා”ගතා–යි.
යන මේ ගයින් බණ වදාරා, වන දෙවියන් ලවා සාධුකාර දෙවා “මහරජ! තොප කෙරෙහි කළ අනුකම්පාවෙන් දඹදිවින් ලක්දිවට ආමෝ බුදුන් දරු වම්හ, අප බුදුන්ගේ සසුන් වැඳ මහණ වූ බිළිඳි දරුවන් පවා එදා පිසපු බිස්ස මහබඹුට මුදුන් මල්කඩ වෙයි තුන් ලෝ වාසි සියලු සත්හු ම තුනුරුවන් දාසයහ, එසේ නො කියව”යි වදාළ සේක.
රජ්ජුරුවෝ ද පෙර ම තුනුරුවන් පවත් අසා, තමන් ද තුනුරුවන් පත පතාම වසන හෙයින්, “බුදුන් දරු වම්හ”යි කී බසට සියලඟ ලොමු දහ ගන්වමින් සන්තෝෂයෙන් මත් ව අත තුබූ ආයුධ බිම හෙළා, මහතෙරුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එ කෙණෙහි සතළිස් දහසක් යෝධයෝ ද ගොසින් රජහු පිරිවරා හුන්හ. එ කෙණෙහි අනිත් සදෙනා වහන්සේ ද දක්වා වදාළ සේක. එ කෙණෙහි රජ්ජුරුවෝ “මේ සදෙනා වහන්සේ කවර විට අවුදැ”යි විස්මය පත් ච විචාළහ. “මහරජ! මා හා කැටි ව ම අවු ය, තොප නුදුටු බව මුත් කැලත් මෙ තෙන ම උන්හ”යි වදාළසේක. රජ්ජුරුවෝ මේ පෙළහර දැක “ස්වාමිනි දඹදිව තවත් රහත්හු ඇද්දැ” යි විචාළහ. එ බසට ස්වාමිදරුවෝ,
තෙවිජ්ජා ඉද්ධිප්පත්තා ච–චෙතොපරියාය කොවිදා,
දිබ්බසොතා ච අරහන්තො-බහු බුද්ධස්ස සාවකා–යි.
යන මේ ගය කියා “මහරජ! දඹදිව සෘඬිවන්ත වූ රහත්හු පමණ නැතියහ”යි වදාළ සේක. රජ්ජුරුවෝ “නුඹ වහන්සේ මීට කෙසේ වැඩිසේක් දැ”යි විචාළහ. “මහරජ! දියෙනුත්, ගොඩිනුත් නො ආම්හ”යි වදාරා “ආකාශයෙන් වැඩිසේක්වනැ”යි රජ්ජුරුවන් සිතූ කල “රජහුගේ නුවණ ප්‍රශ්නයෙකින් පරීක්ෂා කෙරෙමි”සිතා එ තෙන සිටි මී අඹගස බලා “මහරජ! මේ කිනම් ගසෙක් දැ”යි වදාළ සේක. රජ්ජුරුවෝ අඹගස ය යි කී ය. මහ රජ! මේ හැර තවත් අඹගස් ඇද්දැයි වදාළ සේක. රජ්ජුරුවෝ බෙහෙව ස්වාමිනි යි කීහ. එයින් පිටත් ගස් ඇද්දැයි විචාළසේක. අඹයෙන් පිටත් සෙසු ගස් පමණ නැත ස්වාමිනි යි කීහ. සෙසු අඹගසුත් නො අඹගසුත් හැර පිටත්ගස් කවරේ දැ යි විචාළ සේක. මේ අඹගස එයින් පිටත් වේ ද ස්වාමිනි යි කීහ. මහරජ! මේ පැනය තොප කී සේ මැනවැ යි වදාරා තව පැනයක් විචාරනු කැමැති ව “මහරජ! තොපගේ නෑයෝ ඇද් ද, නැද් ද”යි විචාළ සේක. බෙහෙව, ස්වාමිනී යි කීහ. නො නෑයෝ ඇද් ද නැද් ද මහරජයි කී සේක. නෑයන්ට වඩා නො නෑයෝ බෙහෙව ස්වාමිනි යි කීහ. තොපගේ නෑයන් හා නො නෑයන් හැර අනික් කවුරු මෙහි ඇද්දැ යි විචාළ සේක. මම ඇත්තෙම් වෙම් ද ස්වාමීනි යි කීහ. එවේලෙහි මිහිඳු මාහිමියන් වහන්සේ “රජ්ජුරුවෝ ධර්‍මවිනය දැනගන්නා තරම් බුද්ධි ඇත්තාහු ය”යි දැන එවේලෙහි මැදුම් සඟියෙහි බුදුන් වදාළ චූළ හත්‍ථිපදෝපම සූත්‍රයෙන් බණ වදාළ සේක. එ කෙණෙහි රජ්ජුරුවෝ සෝවාන් වූහ. සතළිස්දහසක් ඇමැතියෝ කැමැති ව ම තුනුරුවන් සරණ ගියහ.
රජ්ජුරුවෝ දැන දැන ද “ස්වාමීනි! රාත්‍රියෙහි අනුභව කරන්නෝ ඇද්ද නැද්ද”යි විචාළහ. මහරජ! විකල් බොජුන් දුරුකළ මෝ වේදැ යි වදාළ කළ “එබැවින් දැන් ම රජගෙට වැඩිය මැනවැ”යි ආරාධනා කොට “මහරජ! අද රෑ මෙතැන්හි ලගිනා කටයුතු ඇද්දැ”යි වදාළ කල “එසේ වී නම් ස්වාමිනි! මේ භණ්ඩුකයන් අප ලා කැටිව එව වදාළ මැනවැ”යි කීහ. එ බසට “මහරජ! ඔහු අනාගාමීහ. ගිහිගෙයි නො ලගිතී, අද රෑ ම මහණ වෙති”යි වදාළ සේක. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ “සෙට මඟුල් රථය එවාලමි, එයින් වැඩිය මැනවැ”යි ආරාධනා කොටලා භණ්ඩුකයන් තනි කොට විචාරා ධර්මාශෝක රජ්ජුරුවන් අගබිසෝ වේටිස මහා දේවීන් කුසින් උපන් ශාක්‍යකුලයෙන් ආ උභයකුල පරිශුද්ධ වූ සංඝමිත්‍ර ස්ථවිරීන් බෑ මිහිඳු මා හිමියන් වහන්සේ බව අසා “සක් රුවනක් හා සිතුමිණි රුවන් එකක් වූවාසේ, මාගේ අණසකට දහම් සකත් රජකුලෙන් ම ලදිමි”යි කිය කියා සතුටින් පින පිනා රජගෙට ගියහ.
එ කෙණෙහි හිරු හස්තගත විය, පුන්සඳ උදා වී ය; මාහිමියන් වහන්සේ භණ්ඩුකයන් කෙස් බාවා මහණ කොට ගෙන සුමන සාමණේරයන් වහන්සේ හඬගා ළඟට කැඳවා “සුමනයෙනි! බණ අසන්ට දෙවියන් හඬගාව”යි වදාළ සේක. එ බසට බෑනනුවන් වහන්සේ “ස්වාමීනි! සක්වළදහසෙක දෙවියන් හඬගා කැඳවම් ද, සියක් සක්වළ දෙවියන් හඬගා කැඳවම් ද, නොහොත් සතිස් ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් වට ඇති මේ මඟුල් සක්වළට ඇසෙන සේ හඬගාම් ද, නොහොත් මේ සියක් යොදුන් ලක්දිවට ඇසෙන සේ හඬගාම් දැ”යි විචාළ සේක. එබසට මාහිමියන් වහන්සේ “මේ ලක්දිව පමණකට හඬ ගාව”යි වදාළසේක. ඉක්බිත්තෙන් මේ ලංකාද්වීපය මුළුල්ලට ඇසෙනසේ තුන්යලක් සුමන සාමණේරයන් වහන්සේ හඬ ගා වදාළ කල, ඒ හඬ අසා මහත් වූ දිව්‍ය සමාගම විය. එ වේලෙහි මිහිඳු මාහිමියන් වහන්සේ බුදුන් වදාළ සමචිත්ත පරියාය නම් සූත්‍ර දේශනාව කොට අසඞ්ඛෙය්‍යක් දෙවියන් අමාමහ නිවන් දක්වා නාග-සූපර්ණාදීන් ශරණ ශීලයෙහි පිහිටුවා වදාළසේක.
ඉක්බිත්තෙන් පහන් වූ කල රජ්ජුරුවන් එවූ මඟුල් රථයට නො නැඟී පළමු කොට රථාචාරීහු යවා තමන් වහන්සේ සිවුරු වැළඳ පාත්‍ර සිවුරු දරා, රහත් සදෙනා හා සමග ආකාසයට නැගී රථාචාරීහු පසු කොට කොළොම් හෝ තෙරට බැස සන්හුන් ගුණෙන් වැඩ නැගෙනහිරි මහවාසලට අභිමුඛ වූ සේක. එපවත් රථාචාරී රජ්ජුරුවන්ට දැන් විය. රජ්ජුරුවෝ ද මෙ පවත් අසා සතුටු සතුටු ව පෙර මඟට දිව පසඟ පිහිටුවා වැඳ පාත්‍රය ගෙන, දිව්‍ය පුරයක් සේ නො එක් පූජා පෙළහරින් සදනලද රාජවීථි මධ්‍යයෙන් රජගෙට වඩා ගෙන ගොස්, රන්මල් සේසතින් සැදුම් ලද සිංහාසන මතුයෙහි වඩා හිඳුවා රාජ භෝජනයෙන් සන්තර්පණය කොට මල් සුවඳින් පුදා අන්තඃපුර හා සමග රාජාඞ්ගණය පුරා පිරිවරා උන්හ.
එ වේලෙහි මාහිමියන්වහන්සේ විමන වස්තුය - ප්‍රේතවස්තුය- සච්චසංයුත් සූත්‍රය-දෙශනා කොට අනුලා දේවීන් ප්‍රධාන වූ පන් සියයක් බිසෝවරුන් සෝවාන් කොට, නාළාගිරිහු වන් රජගහා නුවර සේ තමන් වහන්සේගේ දර්ශන ශ්‍රීයට හැළලුණා වූ මනුෂ්‍ය යන්ට අන්තඃපුරය සම්බාධ හෙයින් පස්වරු හස්ති ශාලාවෙහි දහම් පලක් නැගී වැඩහිඳ දෙවදුත සූත්‍රය දෙශනා කොට, දහසක් පුරුෂයන් සෝවාන්කොට, එ තෙනත් සම්බාධ හෙයින් නුවරට දකුණුදිග නන්‍දා නම් උයනෙහි ධර්මාසන නැඟී වැඩ හිඳ, මැදුම් සඟියෙහි උපරිපණ්ණාසකයෙහි බුදුන් වදාළ බාලපණ්ඩිත සූත්‍රය දෙශනා කොට, දහසක් පමණ කුලස්ත්‍රීන් සෝවාන් කොට, එදා රෑ මහමෙවුනා උයන දවස් යවා;
දෙවන දා උදාසන මහපොළොව ගුගුරුවා මහමෙවුනා උයන පිළිගෙන එ කෙණෙහි අකාල කුසුමාදීන් නොඑක් පෙළහර දක්වා, රජ්ජුරුවන් පහදවා, එයින් මතු මහාසංඝයා රැස් වන රාශිමාලක නම් භූමියෙහි පුලිල ගස මුල ය, එයින් මතු බොහෝ රහතන් දැවටි කෘත්‍යය කරන්නාවූ උත්තම ස්ථානයෙකැයි දන්තාධර නම් පොකුණු භූමියට වැඩ, එයින් ශ්‍රීමහා බෝධිය පිහිටුවන තෙනට වැඩ, එයින් ලෝවා මහ පාය පිහිටන්නාවූ මහ මිදෙල් ගස මුලට වැඩ, එයින් මතු පිරිත් ශාලා ගෙය වන පැනඹ මලුවට වැඩ, එයින් මතු බොහෝ රහතන්ට බත් බෙදන චතුශ්ශාලා නම් භූමියට වැඩ එයින් මතු රුවන්මැලි මහසෑය පිහිටන රත්න මාලකස්ථානයට වැඩ, මේ සප්ත ස්ථානය ම උත්තම ස්ථානය යි, බුදුන් රහතන්ගේ පාරිභෝගික භූමි ය යි ස්තුති කොට, සමන් මල් අට අට මිටින් පුදා, සත් විටක් මහපොළොව ගුගුරුවා, නො එක් අද්භූත දක්වා, එයින් රජගෙට වැඩ, දහවල් වළඳා අන්තයෙහි අඞ්ගොත්තර සඟියෙහි වදාළ අග්ගික්ඛන්‍ධොපම සූත්‍රයෙන් බණ කියා දහසක් දෙනා නිවන් දක්වා.
තුන් වන දවස් ආශිර්විෂොපම සූත්‍රය වදාරා දහසක් පුරුෂයන් සෝවාන් කොට, සතර වන දවස් අනමතග්ග සූත්‍රයෙන් බණ වදාරා, දහසක් පුරුෂයන් නිවන් දක්වා, එ දවස් නුවර සිසාරා සීමා බඳවා, පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි පවත්නා සේ බුද්ධාණත්ති ප්‍රතිෂ්ඨාව කොට, පස් වන දවස් ඛජ්ජනීය පරියාය සූත්‍ර යෙන් බණ වදාරා දහසක් දෙනාට මාර්‍ගඵලදී, සවන දවස් ගොමය පිණ්ඩනම් සූත්‍රය දේශනා කොට දහසක් දෙනාට මාර්‍ගඵල දී, සත් වන දවස් ධම්සක් පැවතුන් සූත්‍රයෙන් බණ වදාරා දහසක් දෙනාට නිවන්ඵල දී මෙසේ නුවරට වැඩි සත්දවස ඇතුළත අටදහස් පන්සියයක් මනුෂ්‍යයන් නිවන් දක්වා, රජ්ජුරුවන් විසින් කරවා පිළිගන්වන ලද සෑගිරි වෙහෙර වස්වැස, වස් අන්තයෙහි සුමන සාමණේරයන් වහන්සේ ශක්‍ර දේවේන්‍ද්‍රයන් කරා යවා, ඔහු කෙරෙහි තුබූ දකුණු අකුධාතුව ගෙන්වා ථූපාරාමයෙහි පිහිටුවා, පළමුවන ධාතු ප්‍රතිෂ්ඨාවෙන් එ දවසු දු මහපොළොව ගුගුරුවා,
නැවත එම සුමන සාමණේරයන් වහන්සේ දඹදිව් යවා ධර්මාශෝක රජ්ජුරුවන් කෙරෙහි තුබූ බුදුන් වැළඳු පාත්‍ර ධාතුව හා ධාතු පාත්‍රයක් ගෙන්වා ලක්දිව ඒ ඒ තැන්හි ධාතු පිහිටුවා රජ්ජුරුවන් බෑනනුවන් අරිට්ඨ නම් කුමාරයන් අත කියා යවා නැඟණියන් සංඝමිත්‍රා නම් මහාස්ථවිරීන් ලවා මහබෝ වඩා ගෙන්වා එමශ්‍රී මහා බෝධිය පිහිටුවා, මහපොළොව ගුගුරුවා, එ දවස් පඤ්ච මහා ශාඛාවෙන් වුහුටු පඤ්ච මහා ඵල ශාඛා රජ්ජුරුවන් ලවා ම රෝපණය කරවා, පිරිත් පැන් ඉස ඵකි එකී ඵලයෙන් අට අට පැළයක් බැගින් පැනනැඟී වනස්පති ව සිටි, සතළිස් මහා බෝධිය ලක්දිව සතළිස් මහා ස්ථානයෙක පිහිටුවා සඞ්ඝමිත්‍රා තෙරින් ලවා අනුලා දේවීන් ප්‍රමුඛ වූ පන්සියයක් බිසෝවරුන් හා ලක්‍ෂගණන් ස්ත්‍රීන් මහණ කරවා, භික්ෂුණී ශාසනය ද පිහිටුවා,
තමන් වහන්සේ රජ්ජුරුවන් මලනුවන් මත්තාභය නම් රාජ කුමාරයන් හා අරිෂ්ට නම් අග මැතියාණන් ප්‍රධානවූ දහස්ලක්‍ෂ ගණන් පුරුෂයන් මහණකොට භික්ෂුශාසනය ද පිහිටුවා බුදුන් වදාළ සුවාසූදහසක් ධර්‍මස්කන්‍ධය දඹදිවින් පොතක් පතක් නො ගෙන්වා, තමන්වහන්සේගේ සිත් නමැති භාණ්ඩාගාරයෙන් පිටත් කොට, දහස් ගණන් ස්ථවිරයන්ට ආගම උගන්වා, සද්ධර්‍ම ප්‍රතිෂ්ඨාවෙන් අද දක්වා ශ්‍රී ලඞ්කාද්වීපයෙහි බුද්ධශාසනය නිෂ්කලංක ව පවත්නා සේ ලෝවැඩ සසුන් වැඩ කළ සේක.
මෙසේ මාගේ බුදුරජාණන් වහන්සේ මේ එක මිහිඳු මාහිමියන් වහන්සේ විසිනු දු කළාවූ ශ්‍රී ලඞ්කාද්වීපයෙහි බුද්ධාණත්ති ප්‍රතිෂ්ඨා ය, බෝධි ප්‍රතිෂ්ඨාය, ධාතු ප්‍රතිෂ්ඨාය, ශාසන ප්‍රතිෂ්ඨාය, සද්ධර්‍ම ප්‍රතිෂ්ඨා ය යි යනාදීවූ අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත් නොකියන ලද අප්‍රමාණ වූ ස්ථවිරයන් විසින් කරනලද අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත් අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදී:
පූජාවිසෙසං සහපච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො,
අත්‍ථානුරූපං “අරහං” ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං-යි
මේ පූජාවලියෙහි අප බුදුන් මිහිඳු මාහිමියන් ගෙන් ලද
ප්‍රතිපත්ති පූජා කථා නම් වූ තෙතිස් වන පරිච්ඡෙදය නිමි.