තව ද: අප බුදුහු බුදු වූ පස් වන හවුරුදු බග අව පසළොස්වක් දිනෙහි එදා උදය මුළු ලෝ බලා වදාරන සේක් චූලෝදර මහොදර නම් දෙමයිල් නාරජුන්ගේ සීමාන්තරයෙහි පැනනැඟි මිණිපලඟක් නිසා කරන යුද්ධයෙහි නස්නා බොහෝ නයින් දැක, ඔවුන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් පූර්‍වභක්තයෙහි දෙවුරම් වෙහෙරින් නික්ම, දෙවුරම් දොරටුව සමීපයෙහි පිහිටි කිරිපලු රුක අරක් ගත් සමිද්ධි සුමන නම් දිව්‍යරාජයා විසින් උදුරා සිරසට කරන ලද එම කිරිපලු රුක් නමැති ඉඳුමිණි නිල් සේසත් ධරා නිල් මේ කුළක් යට ගමන් ගත් පූර්ණ චන්‍ද්‍රයාගේ ලීලා පරදවමින්, ආකාශයෙන් ම මණිනාග දිවයිනට වැඩ ඝොර වූ යුද්ධයට පටන් ගත් නාගසේනාවට පෙනී අහස පලග් බැඳ වැඩහිඳ, නො එක් පෙළහර දක්වා සාමග්‍රිතාවට නිසි වූ බණ වදාරා, දේශනා නමැති අමෘත වර්ෂායෙන්, නයින්ගේ කෝපාග්නි සන්හිඳුවා සමඟි වූ දෙමයිල් නාරජුන් විසින් පිළිගන්වනලද මිණිපලඟ මතුයෙහි වැඩහිඳ, ඔවුන් විසින් ම දෙන ලද දිව්‍යභොජනය වළඳා අනුමෝදනා බණ වදාරා, අසූ කෙළක් නයින් ශරණශීලයෙහි පිහිටුවා “මතු මා දුටුවා සේ වඳුව – පුදව”යි කිරිපලු රුක හා සමඟම මිණිපලඟ නයින්ට ම පාවාදී ධාතු ප්‍රතිෂ්ඨාවෙන් ලක්දිවට අරක් දී දෙවුරම් වෙහෙරට ම වැඩි සේක.
මෙසේ තමන් වහන්සේ මොහොතක් කල් වැඩහුන් ආසනයට පවා ශාසනාන්තය දක්වා දිව්‍යනාගරාජයන් විසින් අද දක්වා කරන ලද පූජා මහිම ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.
ද්විතීයා’ගමන කථා යි.