අනාදිමත් කාලයත් තුළ කෙලෙසුන්ගෙන් ලැබුණු පීඩා විපත්තීන් ගණනින් දක්වාලිය නොහැකිය. තාවකාලිකව මේ කෙලෙස් යටපත් කරන අවස්ථාවන් දෙකක් (රූපාවචර හා අරූපාවචර) පිළිබඳවය මෙයට මුලින් සඳහන් කළේ. ඒ යටකිරීම දීර්ඝ කාලීන වුවත් හැමදාම ඒවා යටපත් නොවී යනු ඇත. එසේ නම් ඒවා පැන නැගීමට සුදුසු කරුණු ඉදිරිපත් වනවිට යළිත් මතුවී පීඩා කරන්නට විපත් සාදා දෙන්නට සැරසෙන බව කිව යුතු නොවේ.
මාර්ග-ඵල ලැබීමෙන් සැලසෙනුයේ සදාකාලිකව කෙලෙස් බලය සිඳ දැමීමය. එයින් ලැබෙන සැනසිල්ලද සදාකාලිකය. එය සිදුවනුයේ ලෝකෝත්තර බල ශක්තිය සැලසීමෙනි. එය සඳහා උපයෝගී වනුයේ විදර්ශනා භාවනා ක්‍රමයයි. මේ විදර්ශනා කථාව ඒ සඳහාය.
මැනවින් පුරුදු කළ සති සම්පජඤ්ඤය ඇති යෝගාවචරයාහට හා වැරදී ආනිසංස රැසෙක්ම ලැබෙන්නේ වෙයි.
1. භාවනා මනසිකාරය පවත්වන්නේ සංස්කාර ධර්මයන් අරමුණු කරගෙනය. එසේ සංස්කාර ධර්මයන් අරමුණට ගෙන මනසිකාරයේ යෙදෙන විට, මුලින් සිතට ලැබෙන්නේ ප්‍රඥප්ති[1] (සම්මුති) යයි. සල්ලක්ඛණ නම් වූ මේ මනසිකාර චිත්ත පරම්පරාව මේරීමට පත්වන කල්හී, ප්‍රඥප්තිය බිඳගෙන, පරමාර්ථය මතුවන්නට පටන් ගනියි. එකල්හි යෝගාවචරයාහට වැඩියෙන් පහළ වන්නේ ලක්ඛණාරම්මණික[2] විපස්සනා සිත් සමූහයයි. එවිට සංස්කාර ධර්මයන් පිළිබඳවැ පච්චත්ත ලක්ඛණය හා සාමඤ්ඤ ලක්ඛණයද ප්‍රකට වී දැනෙන්නට පටන් ගනියි. මේවාට අභිඥා ඥාන-පරිඥා ඥාන යන නම් ව්‍යවහාර කරනු ලැබෙති. මේ චිත්ත පරම්පරාවන් නිතර නිතර පහළවන සන්තානයෙක ශක්තියද උසස් වෙයි. මේවා ත්‍රි හේතුක කුශල ජවන[3]යෝය. ඒ ජවනයන්ගේ දිට්ඨධම්මවේදනිය[4] වාරය ඉතා දීප්තිමත්වැ මේ ආත්මයෙහි විපාක දෙන සුළු වෙයි. මෙය උසස්මැ ලාභයෙකි.
2. විදර්ශනා භාවනා මනසිකාරය ආරම්භ කරන යෝගාවචරයා ප්‍රතිඵල ගැන සිත යෙදිය යුතු නොවේ. ප්‍රථිඵලයන් ගැන විශ්වාසය තිබිය යුතුය. එහෙත් ඒ ප්‍රතිඵලයන් ගැන ආශා බන්ධනය හානිකරය. මැනවින් භාවනා මනසිකාරයේ යෙදෙන්නාහට ආරම්භයේ පටන්මැ සන්තානයෙහි ප්‍රතිඵලයෝ එක්රැස් වන්නාහ. ඒවා ඔහුට තේරුම් ගතහැකි වන්නේ භාවනා ක්‍රියාවේ තරමක් ඈතට ගමන් කිරීමේදීය.
3. භාවනා මනසිකාරයේ පහසුව ක්‍රමයෙන් ඉබේම සිදුවෙයි. අවටින් ගලා එන විතර්ක සාගරය මඳක් හෝ මැඬ ගන්නට පුළුවන්වීම බලවත්ම ශක්තියෙකි. මේ අනුව පහළ වන වීථි පස්සද්ධි ආදියට නොරැවටී, මනසිකාරයේ යෙදෙතොත් තව තවත් විශේෂ ලාභ රාශියකට හිමිකම් කීමට හැකි වන්නේය.
කරුණු මෙසේ හෙයින් ප්‍රථිඵලයන් ගැන නොසලකා මනසිකාරය කඩ නොකොට කරගෙන යාමට අවවාද කරමි.
4. තවද භාවනා මනසිකාරයේ යෙදෙන්නා විශේෂ ගුණ රාශියක් තමා තුළ යත්නයෙන් පහළ කරගත යුතුය. තමාගේ පුළුවන්කම් හපන්කම් අනුව නගින අත්තුක්කංසනය[5] ද, අනුන් පහත් කොට සැලකීම හෝ ප්‍රකාශ කිරීම වන පරවම්භනය[6] ද තමන්ගේ සිත තුළ පහළ වෙන්නට ඉඩ නොදිය යුතුය.
5. භාවනා මනසිකාරයේ යෙදෙන බොහෝ දෙනාට ඒ භාවනාව ඒ තරමක් දුරට දියුණු පැත්තට හැරෙන අවස්ථාවේ තමා තුළ පහළ වී ඇති ශක්තිය ගැන සැලකීමෙන් තමාට උපදෙස් දෙන ගුරුවරයන්ගේ දැනුම් පසු කරගෙන තමාගේ දැනීම දියුණු වී ඇති බව ද වැටහෙන්නට පටන් ගනියි. එයින් හෙතෙම මුළාවේ වැටෙයි. උපදෙස් ගැන තැකීම අඩුවෙයි. තෙමේද නොයෙක් විදියේ අත්හදා බැලීම් ආදියෙහි යෙදෙයි. ඇතැම් විට ගුරුවරයාගේ උපදේශයට වඩා තමා සලකාගත් උපදේශය අර්ථ සාධක බව පෙනෙයි. මෙයින් හෙතෙමේ වැරදි හැඟීමක් පහළකර ගනියි. “දැන් මට ගුරුන්ගේ උපදේශ අවශ්‍ය නැත.” යනුවෙනි. මේ පුද්ගලයා ද ඉක්මනින් පිරිහෙයි.
6. යෝගාවචරයන් තුළ බොහෝ විට මුල් කාලයේදී විතර්ක නිසා මනසිකාරයට බලවත් බාධා පහළ වෙයි. නො සිතූ අන්දමේ විතර්ක ඉදිරිපත් වී භාවනා මනසිකාරයට හරස් වී බාධකව පවති යි. ඇතැම් විට මේ විතර්ක ඇතැමුන්හට එක්තරා වේලාවක වැඩි වැඩියෙන් පහළ වන්නට පටන් ගනියි. මේ විතර්ක පැමිණි පසු වළක්වා ගැනීම පහසු නැත. කමටහන් නවත්වා එහිම සිත් යොදා ගෙන ඉන්නටද සිදුවනු ඇති. මෙය හොඳින් සැලකිය යුතු තැනෙකි. මෙහි මුල් වැරැද්ද තමා නොදනිතත් තමා අතේමය. විතර්කයක් වශයෙන් යම් සිතිවිල්ලක් පහළවන විටම, නොසලකා හැරීම, එයට ඉඩදීම, එක්තරා ආශ්වාදයක් එයින් ගැනීම එයට යම්තම් හෝ සතුටුවීම යන මේ වැරදි ඔහුගෙන් සිදුවෙයි. මේවා වැරදි යයි ඔහුට නොවැටහෙයි. එහෙයින් එයට ඉඩ ලැබීමෙන් එය දියුණුවට පත්වෙයි. අන්තිමයේදී නවත්වා ගැනීමට යත්නයක් කළත් එයද අසාර්ථක වේ. නොයෙක් ලෙසින් පෙළෙන්නට සිදුවීම හෝ භාවනාව නවත්වා සිටින්නට හෝ සිදුවීම මෙහි ප්‍රතිඵල යයි. එහෙයින් පළමුවෙන්ම විතර්කයනට ඉඩ නොලැබෙන ලෙසට පරිස්සම් වීම සුදුසුය.
මෙයට කළ යුතු ප්‍රතිකර්මය:-
මේ විදියේ විතර්ක නිසා පීඩා නොවිඳින්නට නම් සතියත් සම්පජඤ්ඤයත් හොඳට තබාගෙන ඒ අනුව සිහියත් නුවණත් යොදාලීම ප්‍රධානම ප්‍රතිකර්මයයි. සුළු හෝ ප්‍රමාදයක් හේතු කරගෙනය විතර්කයන් තමන්හට ඉඩ ලබාගන්නේ. සති සම්පජඤ්ඤය තිබෙන තැන ප්‍රමාදයට ඉඩ නැත. එහෙයින් විතර්කයෝ අධිපතිකම් නොකෙරෙති. පින්වත් යෝගාවචරය, ඔබම මෙය මැනවින් සලකා බලන්න.
දෙවන වරද නම් පහළ වූ විතර්කයට ඉඩදීමය. එනම් ඒ ගැන එක්තරා අන්දමකින් සතුටු සිතක් පහළ කරගැනීමය. මෙයින් බලය ලැබූ විතර්කය නැවත නැවතද පහළ වන්නට පටන් ගනියි. එයින් පටන්ගත් හොඳ විතර්කාවලිය අන්තිමට නරක අතට හැරී යයි. යළිත් විතර්කය බලපා නම්, නුවණ යොදා මැනවින් මෙනෙහි කළ යුතුය. නුවණ යොදා මැනවින් මෙනෙහි කිරීම නම්, පහළවූ විතර්කයත් ඒ සම්බන්ධ සිතත් ආදීනව සහිතවැ සැලකීම එක් ක්‍රමයකි. අනෙක් ක්‍රමය නම්, ඒ විදියේ විතර්කයක් පහළවීමට හේතුව සැලකීමය. ඒ හේතුව වූ සිතිවිලිවලට හේතුව මෙනෙහි කිරීම යනාදී ක්‍රමයෙන් මුල දක්වා මෙනෙහි කරගෙන යාමය. මෙසේ මෙනෙහි කරගෙන යන්නාහට ගලාගෙන ගිය විතර්ක ධාරාව නවතින්නට පුළුවන. මෙසේත් ඒ විතර්ක නොසංසිඳුනේ නම් පාඩම් ඇති ධර්ම කොටසක් සජ්ඣායනා කළ යුතු නොයෙක් විදයේ දහම් කොටස් සඳහන් අත්පොත එළියට ගෙන එහි සඳහන් බුදුගුණ ආදිය තරමක් හඬ නඟා සජ්ඣායනා කළ යුතුය. කුඩා වතක් පිළවෙතක් සලකා බලා එයට ම සිත යොදා කරගෙන යා යුතුය. ලොකු වැඩට අතගැසීම හොඳ නැත. මේ ක්‍රමයන් අනුගමනය කිරීමෙන් ඉක්මනින්ම ගලන විතර්ක ධාරව නැවතී යනු ඇත. සිත තැන්පත් වීමෙන් තම අභිමතාර්ථ සිද්ධිය මුදුන් පත් වෙනවා ඇත.
සිත් තුළ පහළ වන විවිධ සිදුවීම්:-
තවද, ඇතැම් විටෙක යෝගාවචරයාගේ සිතේ පුදුම ආකාරයෙන් විවිධ සිදුවීම් පහළ වෙයි. ඇතැම් විටෙක නැවතී තිබීම සිදුවෙයි. ඇතැම් විටෙක ඉහළයාමද, පහත වැටීමද සිදුවෙයි. මේ සිදුවීම් පිළිබඳව කල් ඇතිවැ යෝගාවචරයා තේරුම් ගෙන විසිය යුතුය. එයින් සිතේ පහළ වන නො සන්සුන්ගතිවලට ඉඩ නොලැබේ.
මෙයින් පළමු කොට සිතේ වැටීමේ ස්වභාවය ගැන යම් කිසිවක් කිවයුතුය. කෙලෙසුන් හා මුසු වූ සිතුවිලි යෝගාවචරයා හට පරිහානිකරය. ඇතැම් විට පින්කම් ස්වරූපයෙන් මේවා පහළ වෙති. ඇතැම් විට ඉතා සියුම් ලෙසින් පහළ වෙති. කවර ක්‍රමයක හෝ එබඳු සිත් පැවතුමක් පහළ වුවහොත් ඒ යෝගාවචරයාගේ සිත පුදුම ලෙසින් නො සිතූ අන්දමෙකින් පිරිහී යයි. මේ සිදුවීම උසස් යෝගාවචරයනට ද කම්මාරාමතා, සංගණීකාරමතා, රෝගිතාදී වශයෙන් ප්‍රමාදයේ වැටීම හේතුකොට ගෙන ලැබේ. ඔහුට එය යළිත් මුල් තත්ත්වයට ගැනීම දුෂ්කර කාර්‍ය්‍යයෙක් වෙයි. ඔහුට බොහෝ කලක් තැවෙන්නටද සිදුවෙයි. එසේ හෙයින් තමා ලබාගත් ගුණය නොපමාව රැක ගැනීම හැමදෙනා විසින් ම උත්සාහ ගතයුතු බව සැලකිය යුතුය.
සිතේ පහත වැටීමේ ස්වභාවය තේරුම්ගැනීම අපහසු නැතැයි සිතමි. නැවතී යාමද ඇතැම් යෝගාවචරයන්ගේ වැඩ අනුව දකින්නට ලැබී තිබේ. මෙය කමටහන් මෙනෙහි කිරීමේ ක්‍රමය වරදවා ගැනීමෙන් බෙහෙවින් සිදුවනු දක්නට ලැබේ. එය නිසි අයුරින් පවත්වන විට, නුවණ මෙහෙයවාලීමෙන් මෙනෙහි කරන විට ඉදිරි ගමන මැනවින් සිදුවෙයි. උනන්දුවේ පමණට වැඩ නැතිවීමද තවත් කරුණකි.
අතීත භවයන්හි තබාගත් පැතුම් ද ඇතැමුන්ගේ භාවනාවේ ඉදිරිගමන වැළකී යාමට හේතුවන සැටි දක්නා ලැබේ. එබඳු නැවතුම් විදර්ශනා ඥානය දියුණුවට ගොස් සංඛාරුපෙක්ඛා අවස්ථාවේදීය ලැබෙන්නේ. එහිදී එබඳු සිදුවීම් තීරණය කර ගැනීම අපහසු නැත. ඒ පුද්ගලයාටමැ එහි තතු මැනවින් එළිපෙහෙළි වී යන හෙයිනි. අධිෂ්ඨානාදිය එයට උපකාර කරගත හැකිය.
මේ භවයේදී හෝ අතීත භවයෙකදී හෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහිද, නවලොවුතුරා දහම් කෙරෙහිද, පර්යාප්ති ධර්මය කෙරෙහිද, ප්‍රතිපත්ති ධර්මය කෙරෙහිද, ආර්‍ය්‍ය සංඝයා කෙරෙහිද, තමන්ගේ කයින්ද, වචනයෙන් හා සිතින් ද යන තුන් දොරින් සිදු වූ යම්කිසි වරදක් ඇත්නම් එයට උපවාද අන්තරාය කර්මයයි කියනු ලැබේ. එය තුනුරුවන් හා ගුණවතුන් ද කමා කරවා ගැනීමෙන් සන්සිඳීයයි. බාධාව මගහැරෙයි. ඉදිරි ගමන සැලසෙයි.