මෙහි භාවනා විධි සියල්ල ඇතුළත් කොට තේරුම් ගත යුතුය. සියලු සංස්කාරයන් කෙරෙහි එකවර අනිච්චානුපස්සනාව පැවැත්විය නොහැකිය. අනිච්චානුපස්සනාව පවා සබ්බ සංඛාරයන් තේරුම් නොගෙන පැවැත්විය නොහැකිය. සබ්බ සංඛාරයන් පවා එකවරට එකට අල්ලා මනසිකාරය පැවැත්විය නොහැකිය.
(අ) එහෙයින් පළමුවෙන් ඔබ විසින් කළ යුත්තේ සංඛාර නම් කිමෙක් ද? කියා පැහැදිලිව නිශ්චිතව තේරුම් කර ගැනීමයි. සමාධිය මතුකරගෙන එයම දියුණුවට පත්කර ගැනීමෙන් පසු තැන්පත් සිතින් ආනාපානය හෝ කේසාදී කොටස් කමටහන් අරමුණට ගෙන යෝනිසොමනසිකාරය පවත්වන්න.
තවත් පහසු ක්‍රමයක් ඔබට මතුකර දෙමි. ඔබ මේ ගත් කමටහන අරමුණම අනුව යෝනිසොමනසිකාරය පවත්වන්න. එසේ මනසිකාරය පවත්වන්නාවූ ඔබට වැඩිපුර වැඩක් වන්නේ ඔබේ සතිය (සිහිය) ගැන සැලකිලිමත්වීමය. කමටහනට සිත් යොදන ඔබට එයින් පිටත සිත යෙදීමෙන් විදර්ශනා භාවනාව සම්පූර්ණ නොවනු ඇතැයි කියන අතත්වඥයන්ගේ[1] කෙඳිරීම් සවන් මඟින් සිතට ඇතුළුවී පීඩා කරනු ඇත. එයින් සම්පූර්ණයෙන් සිත පිරිසිදු කරගන්න. ඒ ගැන බින්දුමාත්‍ර සැකයකුදු නවතා ගන්න එපා.
- සතිය ගැන විමසිලිමත් වන්න.
- සිත හා සිතිවිලි ගැන විමසිලිමත් වන්න.
- වේදනා හා විතක්ක ගැන විමසිලිමත් වන්න.
විමසිලිමත්වීම නම් උපදනාතාක් නාමරූප සංස්කාරයන් නුවණින් මෙනෙහි කිරීමයි. භාවනාරම්භය මනසිකාර භූමියයි සබ්බාසව සූත්‍ර අටුවාවේ දැක්වුණේ, සූත්‍රයේ සඳහන් “සො ඉදං දුක්ඛන්ති යොනිසො මනසිකරොති” යන දේශනාව අනුවය. භාවනාව මැනවින් සිදුවන විට ඉබේම ලෙහෙසියෙන් මනසිකාරය පැවැතෙනු ඇත.
(ආ) මීළඟට ඔබේ සති සමාධි මැනවින් දියුණුවට පත්වීමේදී සිතට හමුවන තාක් ධර්මයන් ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට ඔබට පිළිවන් වෙයි. “සො සබ්බං ධම්මං අභිජානාති” මේ “අභිජානාති” යන පදයෙන් දැක්වෙන, හැඳින්වෙන අභිජානනය නම් ඒ ඒ හමුවන (කමටහන් අරමුණෙහි පැතිරී එයට සම්බන්ධ වස්තු ධර්මයන්හිද, පැතිර ඉදිරිපත් වන) සියලු ස්කන්ධ, ධාතු, ආයතන ආදී ධර්මයන් ලක්ඛණ, රස, පච්චුපට්ඨාන[2] වශයෙන් තේරුම් බේරුම් වී සිතින් වටහා ගැනීමයි.
(ඇ) මේ අභිඤ්ඤා අවස්ථාවෙන් සිත මේරීමට පත්වීමේදී ඉබේටම පත්වන්නේ එහි (ඒ හමුවන හැම ධර්ම කොටසකම) සාමඤ්ඤ ලක්ඛණාවබෝධයයි. “සො සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති” මේ මුල සඳහන් අනිච්චානුපස්සනාවට දොර විවෘත වීමයි.