විදර්ශනා තුන්වර්ගය

1. මාර්ග විදර්ශනාය, 2. ඵල සමාපත්ති විදර්ශනාය, 3. නිරොධ සමාපත්ති විදර්ශනාය[1] යයි විදර්ශනා තුන් වර්ගයකි. එහි 1. මාර්ග විදර්ශනා නම් මීට ප්‍රථමයෙන් දක්වන ලද පරිදි, ලෝකෝත්තර මාර්ගයක් සඳහා කරන විදර්ශනාවය. එය තික්බින්‍ද්‍රිය, මුදින්‍ද්‍රිය ආදී වශයෙන් වූ පුද්ගලයන්ට අනුරූපව ලැබෙන තියුණු විදර්ශනාවය, මෘදු විදර්ශනාව යයි දෙයාකාරයෙකින් සිදු වන්නේය.

ඵලසමාපත්ති විදර්ශනාව නම් ප්‍රථමයෙන් ලබාගත් මාර්ගයට අයත් ඵලය යළිත් ලබාගෙන නියමිත කාලයක් තුළ වාසය කිරීම සඳහා කරනු ලබන විදර්ශනාවය. ඒ සඳහා කරන විදර්ශනාව තියුණු විදර්ශනාවක්ම විය යුතුය. නිරෝධ සමාපත්තිය සඳහා කරන විදර්ශනාව මෙයට වෙනස් වේ. එය මෘදු විදර්ශනාවක්ම විය යුතුය.

උපරිමාර්ග සඳහා කරන විදර්ශනාව මාර්ග විදර්ශනාවක් හෙයින් පුද්ගලානුරූපව තියුණු හෝ විය හැකිය. මෘදු හෝ විය හැකිය. එම විදර්ශනා භාවනාවේ යෙදෙන අවස්ථාවේ දී යෝගාවචරයාහට වෙනදාට වඩා තද වේදනාදිය දැනෙන්නට ඉඩ තිබේ. එබඳු අවස්ථාවලදී සැක සංසිඳුවාගෙන ඉදිරියට භාවනාව ගෙනයා යුතුය. මේ ක්‍රමයෙන් අර්හත් මාර්ගය දක්වා භාවනා ක්‍රමය සිතා ගැනීම අපහසු නැත.

ඵල සමාපත්තියට සමවැදීම

“ද්වෙ ඛො අවුසො පච්චයා අනිමිත්තාය චෙතො විමුත්තියා[2] සමාපත්තියා සබ්බනිමිත්තානං ච අමනසිකාරො අනිමිත්තාය ච ධාතුයා මනසිකාරො”[3] යනු හෙයින් “ඇවැත්නි, අනිමිත්ත චෙතො විමුත්ති සංඛ්‍යාත ඵලසමාපත්තියට සමවැදීමට ප්‍රත්‍යයෝ දෙදෙනෙකි. (කරුණු දෙකකි) රූපාදී සියලු සංස්කාර නිමිති මෙනෙහි නොකිරීමය (එයින් හිත වෙන් කර ගැනීමය) අනිමිත්ත ධාතු සංඛ්‍යාත නිවන මෙනෙහි කිරීම ද යනුයි.

සෝවාන් ආදී මාර්ග-ඵල ලබාගත් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් විවේකස්ථානයට පැමිණ සිත තැන්පත් කරගෙන සංස්කාරාම්මණයන්ගෙන් සිත වෙන් කොට ගෙන නිවන් අරමුණට සිත යොමුකර ගෙන තමා ලබා ගත් මාර්ගයේ ඵලය ලබම්වායි අධිෂ්ඨානය කරගත යුතුය. එසේ අධිෂ්ඨාන කරගෙන උදයබ්බයාදී වශයෙන් සංස්කාරයන් මෙනෙහි කළ යුතුය. මෙසේ විදර්ශනා ක්‍රමයෙන් සම්පූර්ණ වීමේදී සංඛාරාරම්මණ ගොත්‍රභූ ඥානයට අනතුරුව ඵලසමාපත්ති වශයෙන් (ඵලයට පැමිණීම් වශයෙන්) නිවනෙහි සිත පිහිටයි. මෙහි ගොත්‍රභූ යයි සඳහන් කරන ලදදේ වෝදාන නමින් ලැබෙන චිත්තය සඳහාය. එය සංඛාරාරම්මණය. ප්‍රථම මාර්ගයේදී සඳහන් කරන ලද ගොත්‍රභූ චිත්තය නිබ්බානාරම්මණය. ඵලසමාපත්තියට අධිෂ්ඨාන කරන අවස්ථාවේදී කාල ප්‍රමාණය නියම කර ගැනීම අවශ්‍යය. නියම කාලයේදී උට්ඨානය සිදුවේ.

  1. නිරෝධ සමාපත්තිය සඳහා කෙරෙන විදර්ශනාව

  2. සංස්කාර නිමිත්තෙන් (අරමුණෙන්) තොරවූ ඵල සමාපත්තිය

  3. ම. නි. මහාවෙදල්ල සූ.