2. අනුලොම ඛන්තිය

star_outline

අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා යන අනුපස්සනා තුන, අනුපස්සනා සතේ ද, අනුපස්සනා දහයේ ද, අනුපස්සනා එකොළසේ ද, අනුපස්සනා අටළොසේ ද, අනුපස්සනා සතළිසේ ද, මුල බව සලකාගත යුතුය.

මෙහි අනිච්චානුපස්සනාව අනිත්‍ය ලක්ෂණය අවබෝධයට උපකාර වෙයි. දුක්ඛානුපස්සනාව දුක්ඛ ලක්ෂණය අවබෝධයට උපකාර වෙයි. අනත්තානුපස්සනාව අනාත්ම ලක්ෂණය අවබෝධයට උපකාර වෙයි. තවද අනිත්‍ය ලක්ෂණය ඉතා විසිතුරු අන්දමින් වැටහීම සිදුවුවහොත් ඉතුරු ලක්ෂණ දෙකත්, ආර්‍ය්‍ය සත්‍ය සතරත් පහසුවෙන් වැටහීමට පත් වන්නේය. සෙසු ලක්ෂණ දෙක ගැනද මෙසේ ම බව සැලකිය යුතුය. අනුලොම ඛන්තිය ලැබීමට මේ අනුපස්සනා උපකාර වන බව මෙහි සඳහන් විය.

මේ අනුලෝම බන්තිය නම් කිම?

එය ත්‍රිවිධ අනුපස්සනාවන්ගේ ඵලය වන හෙයින්ද සම්මත්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ග චිත්තයට කාරණා වන බව වදාළ හෙයින් ද විපස්සනාවයයි කිව යුතුය. මුල දී දක්වන ලද ඥාන පටිපාටියේ 3 වැනි ඥානයේ සිට 12 වැන්න දක්වා ලැබෙන ඥාන (10) දහය විපස්සනා ඥාන නාමයෙන් ව්‍යවහාර ලබන බව ප්‍රසිද්ධය. එහෙයින් මේ දහය කොටස් තුනකට බෙදා:-

  1. මුදු අනුලොම ඛන්තිය.
  2. මජ්ඣිම අනුලොම ඛන්තිය.
  3. තික්ඛ අනුලොම ඛන්තිය.

යයි නම් කොට දක්වන ලද්දේය.

එහි සංසන්දනය මෙසේය:

1. සම්මසනඥාන

මුදු අනුලෝම ඛන්තියයි

2. උදයබ්බය ඥාන

3. භඞ්ග ඥාන

මජ්ඣිම අනුලෝම ඛන්තියයි

4. භයතුපට්ඨාන ඥාන

5. ආදීනව ඥාන

6. නිබ්බිදා ඥාන

7. මුඤ්චිතු කම්‍යතා ඥාන

8. පටිසංඛා ඥාන

9. සංඛාරුපෙක්ඛා ඥාන

10. අනුලොම ඥානය.

තික්ඛ අනුලෝම ඛන්තියයි.

මෙහි තික්ඛ අනුලොම ඛන්ති නම්වූ පරිණත විදර්ශනා ඥානය සම්මත්ත නියාම නම් වූ ලෝකෝත්තර ප්‍රඥාවට කාරණා වන සැටි තේරුම් ගත යුතුය. විශේෂයෙන් සොතාපත්ති මග්ග ඥානය මෙය සම්පූර්ණ වීමෙන් ලැබෙනු ඇත.

මේ අනුලෝම ඛන්ති කථාවෙන් විදර්ශනා ඥාන මුළුල්ලම ඥානයේ පරිණත භාවය අනුව අවස්ථා තුනකට බෙදෙන සැටිත්, අනුලෝම ඥානය ලෞකික ප්‍රඥාභිවර්ධනය පිළිබඳ උපරිම අවස්ථාව වන සැටිත්, එයම (සානුලෝම වුට්ඨාන ගාමිනී විපස්සනා[1]) ලෝකෝත්තර මාර්ග ඥානය ලැබෙන චිත්ත වීථියට සම්බන්ධ වී පහළ වන සැටිත් මැනවින් තේරුම් ගතහැකි වනු ඇත. වුට්ඨාන ගාමිනී විපස්සනාව නම් ලෝකෝත්තර මාර්ග ඥානය ලැබෙන චිත්තවීථියේ ලෞකික අවස්ථාව යි.

  1. අභි: සඞ්ගහ