විදර්ශනා ඥාන

නිවන් දැකීම සඳහා කරනු ලබන භාවනා මනසිකාරය පැවැත්වීමේදී සිත නිවන් මගට හුරු විය යුතු ය. එසේ හුරු වීමට නම් සසර පුරුදු කෙලෙසුන් හා සිතේ ගෙතීම නතර කළ යුතුය. සිතේ එතෙන මේ කෙලෙසුන් නතර කිරීමේ ක්‍රම තුනෙකි. එයට පහාන (ප්‍රහාණ-අයින් කිරීම) යන ව්‍යවහාරය වෙයි.

  1. තදඞ්ගප්පහානය,
  2. වික්ඛම්භනප්පහානය,
  3. සමුච්ඡෙදප්පහානය,[1]

තදඞ්ගප්පහානය, දාන වශයෙන් හෝ ශීල වශයෙන් හෝ භාවනා වශයෙන් හෝ ඒ තුන් ආකාරයෙන් ලැබෙන කුසල් කොටස්වලින් ඒ ඒ කුශලයනට ප්‍රතිපාක්ෂික[2] අකුශල කොටස් ප්‍රහාණය යි. ඒ මෙසේ යි:

  1. පරිත්‍යාගයෙන් (අලෝභයෙන්) ලෝභය ප්‍රහීණ වෙයි.
  2. සීලයෙන් ද්වේෂය ප්‍රහීණ වෙයි.
  3. භාවනාවෙන් මෝහය ප්‍රහීණ වෙයි.
  4. මෛත්‍රියෙන් ව්‍යාපාදය ප්‍රහීණ වෙයි.
  5. නෙක්ඛම්මයෙන් කාමච්ඡන්දය ප්‍රහීණ වෙයි.
  6. ධම්මවවත්‍ථානයෙන් විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි.
  7. අවික්ඛෙපයෙන් උද්ධච්චය ප්‍රහීණ වෙයි
  8. සතියෙන් ප්‍රමාදය ප්‍රහීණ වෙයි.
  9. අභිරතියෙන්[3] අරතිය ප්‍රහීණ වෙයි.
  10. කරුණාවෙන් හිංසාව ප්‍රහීණ වෙයි.
  11. මුදිතාවෙන්[4] අරතිය ප්‍රහීණ වෙයි.
  12. නාම රූප ව්‍යවස්ථාවෙන් දිට්ඨිය ප්‍රහීණ වෙයි.
  13. පච්චය පරිග්ගහයෙන් විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි.

මේ ආකාර සලකනු ලැබේවා.

ප්‍රථමධ්‍යානාදියෙන් නීවරණයන්ගේ යට කර තැබීම වික්ඛමභන ප්‍රහාණයයි. සෝතාපත්ති මග්ගාදි ලෝකෝත්තර කුශල බලයෙන් සක්කායදිට්ඨි ආදී සංයෝජනයන්ගේ සමූල ඝාතනය සමුච්ඡේද ප්‍රහාණයයි.

නිවන් මග පහදා ගැනීම සඳහා මෙහි මුලින් සඳහන් ප්‍රහාණ ක්‍රම දෙක සම්පූර්ණ කරගත යුතු බව මෙහිදී කිවයුතුව ඇත. තමා තුළ උපදවා ගනු ලබන ධ්‍යාන බලයෙන් නීවරණයන් යටපත් කිරීම සීමාසහිතය. සම්පූර්ණයෙන් කෙලෙස් බලමුළුව මර්දනය කළ යුත්තේ මේ විදර්ශනා ක්‍රමයේදී ඇසුරු කරන තදංග ප්‍රහාණ ක්‍රමයෙනි. මෙහි දී අප “නිවන් මඟ” යැයි අදහස් කරන්නේ ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගයයි. “කතමාච භික්ඛවෙ දුක්ඛ නිරොධ ගාමිනී පටිපදා? අයමෙව අරියො අටට්ඨඞ්ගිකො මග්ගො, සම්මා දිට්ඨි -පෙ- සම්ම සමාධි” මේ

මාර්ගාංගයන් පිළිබඳ අදහස් මතු වන්නේ යථා භූත ඥානයේ බලයෙනි.

“යා තථා භූතස්ස දිට්ඨි සාස්ස හොති සම්මා දිට්ඨි. යො තථා භූතස්ස සංකප්පො ස්වාස්ස හොති සම්මා සඞ්කප්පො. යො තථාභූතස්ස වායාමො ස්වාස්ස හොති සම්මා වායාමො. යා තථා භූතස්ස සති ස්වාස්ස හොති සම්මා සති. යො තථාභූතස්ස සමාධි ස්වාස්ස හොති සම්මා සමාධි”

එසේ වූවහුගේ දිට්ඨිය නම් සම්මා දිට්ඨිය යි. සංකප්පය (කල්පනාව) සම්මා සංකප්පයයි. වායාම නම් සම්මා වායාමයයි. සතිය නම් සම්මා සතියයි. සමාධිය නම් සම්මා සමාධියයි.

“තථාභූතස්ස” එසේ වූවහුගේ යයි වදාළේ කාගැනද? “යථා භූතං ජානතො පස්සතො” ඇති සැටියෙන් දන්නහු දක්නහු ගැනය. දැනීමය, දැකීමය දෙකක්ද? ඇත්තෙන් ම ඔව්, දැනීම පළමුවෙන්. ඊළඟට ලබාගත් දැනීම අනුව දැකීම පවත්වනු ලැබේ.[5]

මේ දැනීමත්, දැකීමත් කුමක් පිළිබඳ ද? එය විශාල ප්‍රදේශයක පැතිර ඇත. කෙටියෙන් මෙසේය:-

  1. ඇස, කන, නැහැය, දිව, කය, මනස, යන ඉන්‍ද්‍රිය සය ද,
  2. රූප, සද්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම යන විෂය සයද,
  3. මේවා සම්බන්ධ කරගෙන පහළවන විඤ්ඤාණ සයද,
  4. මේ ත්‍රිකයන්[6] සම්බන්ධ කරගෙන පහළවන ඵස්ස සයද,
  5. මේ ඵස්ස සය නිසා පහළ වන වේදනා සයද,

යන මේ කොටස් පිළිබඳ පරමාර්ථ වශයෙන් ලක්ෂණාවබෝධය මෙයින් අදහස් කළ බව තේරුම් ගතයුතුය. මේ සියල්ල සංඛාර කොටස්ය. විදර්ශනාව සඳහා ගන්නා අරමුණුය. මේ සැලකීම විශුද්ධි මාර්ගයේ සඳහන් වූයේ ලක්ඛණාරම්මණික විපස්සනා යනුවෙනි.

මේ යථාභූත ඥානය[7] මතුවීමට සමාධිය තිබිය යුතුය. “සමාහිතො භික්ඛවෙ යථා භූතං පස්සති”-. මහණෙනි, සමාධියෙන් යුත් තැනැත්තා යථාභූතය දකියි. යනු වදාළ හෙයිනි. යථාභූත ඥානය මතුකර ගැනීමට උපකාර වූ සමාධිය කොතරම් දුරට දියුණුවට පත්වූවක්දැයි මේ කරුණෙහිලා ප්‍රශ්න නගමින් කාලය නැති කර ගැනීම නුවණට හුරු නොවේ.

කේශාදී කොටස් හෝ ආනාපාන කොටස් හෝ කමටහන වශයෙන් ගෙන එයට සිත යොදා ගෙන මනසිකාරය පවත්වන කල්හි සිතේ සමාධියක් මතුවන බව අපි දනිමු. මේ සමාධිය දියුණුවට පත්වීමේ දී නීවරණයන් යටපත් වන සැටි අපි දනිමු. මෙහිදී මේ යථාභූත ඥානය මතුවීමට ඉඩ තිබේ. මෙසේ සූත්‍ර දේශනාවේ සඳහන් චිත්ත විශුද්ධිය මෙය බවත්, යථාභූත ඥානයද පිරීමෙන් දිට්ඨි විසුද්ධිය හා නාම රූප පරිච්ඡේද ඥානයද, පච්චය පරිග්ගහ ඥානයද මතුවී දියුණුවට පත්වීමෙන් කඞ්ඛාවිතරණ විසුද්ධියද ලැබෙන හැටි තේරුම් ගත හැකි වේ. මේ සළායතනික සූත්‍රයේම “පුබ්බෙව ඛො පනස්ස කාය කම්මං වචී කම්මං ආජීවො සුපරිසුද්ධො හොති”. ඒ පුද්ගලයාහට මුලින් ම කාය කර්ම වාක් කර්ම හා ආජීවය ද මැනවින් පිරිසිදු වූයේ යයි වදාළ හෙයින් මේ හැමට මුලින් ශීල විශුද්ධිය සම්පූර්ණ විය යුතු බව පහසුවෙන් තේරුම් ගත හැකි වෙයි.

  1. සීල විසුද්ධිය
  2. චිත්ත විසුද්ධිය
  3. දිට්ඨි විසුද්ධිය

යන විසුද්ධි තුන රථ විනීත සූත්‍රයෙහි දැක්වූ කථාව අනුව ක්‍රමානුකූල බව සැලකිය යුතුය. එහෙයින් සීලයෙන් තොරව සම්මාසමාධිය නැත. සම්මාසමාධිය නැතිව යථාභූත ඥානය නැත. මේ යථාභූත ඥානය නැතිව අරිය අට්ඨඞ්ගික මග්ගය නැත.

මහා සළායතනික සූත්‍රයෙහි :-

“තස්ස අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො චත්තාරො සතිපට්ඨානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. චත්තාරොපි සම්මප්පධානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. චත්තාරොපි ඉද්ධිපාදා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. පඤ්ච ඉන්‍ද්‍රියානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති. පඤ්ච පි බලානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති. සත්තපි බොජ්ඣංගා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.”

මෙයින් ඔහුගේ භාවනා දියුණුවේදී සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් පරිපූර්ණ වන සැටි[8] දේශනා කරන ලද්දේ ය. සතිපට්ඨානාදී බෝධි පාක්ෂික ධර්ම සමුදායගේ පිරීම සිදු වන්නේ ක්‍රමානුකූල භාවනා මනසිකාරයෙක යෙදීමේ ප්‍රතිඵලය වශයෙන් විය යුතුය. උපනිශ්‍රය සම්පත්තියෙන්[9] උසස් තික්ඛපඤ්ඤ පුද්ගලයන්[10] හට ධර්ම දේශනාවකට කන් යොමු කරමින් හෝ දරා ගත් ධර්මයන් යළිත් සලකමින් හෝ මෙය සපුරා ගත හැකි වෙයි. සෙස්සන් විසින් නොකඩවා උත්සාහ යොදාලීමෙන්ම සම්පූර්ණ කරගත යුතු වෙයි.

මෙහි සඳහන් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සමුදාය සම්පූර්ණ වීමත් විදර්ශනා ඥානයන්ගේ මේරිමත් සමකාලීනව සිදුවෙන සැටි පෙනෙයි. ඊළඟට විදර්ශනා ඥානයන් පිළිබඳ සැලකිය යුත්තේ ඒවා නොකඩවා සිදුකෙරෙන යොනිසො මනසිකාර ක්‍රියාදාමයක සිද්ධි ස්වරූපය වශයෙනි. එය දේශනා පෙළෙහි බොහෝ තැන් වල “විපස්සති-විපස්සිතබ්බා, විපස්සනා” ආදි වශයෙන් ලැබේ.

“උදයත්‍ථ ගාමිනිය පඤ්ඤාය සමන්නාගතො” යනාදියෙහි ප්‍රඥා සම්පත්තියේ අවාන්තර ක්‍රියාවක්[11] වශයෙන් උදයබ්බය ඥානයට මුල්තැන දී දේශනා කරන ලද බව පෙනේ. විදර්ශනා ශබ්දයට සම්බන්ධ වූ විපස්සනා ක්‍රියාව “එවං ඛො ආවුසො සංඛාරා දට්ඨබ්බා, එවං සම්මසිතබ්බා එවං විපස්සිතබ්බා”[12] යන්නෙන් විශේෂ අවස්ථාවක් පෙන්නුම් කිරීමට දේශනා කළ සැටි පෙනෙයි. එහිම සඳහන් පරිදි “අධිපඤ්ඤා ධම්ම විපස්සනා” යන්න විදර්ශනාවේ උපරිම අවස්ථාවක් ගෙන දෙසූ සැටි ද තේරුම් ගත හැකි වෙයි.

මේ විදර්ශනාව පැවැත්වීමේ දී සල්ලකඛණ චිත්ත පරම්පරාව[13] පවත්වන ක්‍රමයනට අනුපස්සනා නාමය සූත්‍ර දේශනාවන්හි හා පටිසම්භිදා මග්ග පාළියෙහි ද යෙදී ඇත.

එහි අනුපස්සනාවෝ:

මෙසේ විවිධාකාරයෙන් ලැබෙන්නාහ.

බොහෝ දේශනාවන්හි,

මෙසේ කෙටි විදර්ශනා ක්‍රමද දක්නා ලැබේ. ඒ ඒ පුද්ගලයන්ගේ ඉන්‍ද්‍රිය තත්ත්වය අනුව වියයුතුය. මුලදී සඳහන් කළ යථාභූත ඥානය ම යථාභූත ඥාන දස්සනයයි දසකඞ්ගුත්තරයේ ප්‍රථම සූත්‍රයෙහි එන සැටි පෙනෙයි. එය තරුණ විදර්ශනාවයි. නිබ්බිදාව බලවත් විදර්ශනාවයි.

ඇතැම් සූත්‍රවල ඥාන දස්සන යන්න තේරුම් කීපයක ලැබේ. ඒ සම්බන්ධ අතිවිස්තරයක් මෙහි සඳහන් කිරීමට නොයමි.

  1. සහමුලින්ම සිඳලීමෙන් ප්‍රහීන කිරීම

  2. විරුද්ධ

  3. දැඩි ඇල්ම

  4. අනුන්ගේ සැපතෙහි සතුටුවීම

  5. ම. නි. මහාසළායතනික සු. බු. ජ.

  6. තුනේගොඩ

  7. ඇති සැටි දැනීම පිළිබඳ නුවණ

  8. පිරෙන සැටි

  9. බලවත් හේතුව

  10. තියුණු නුවණ ඇති පුද්ගලයන්

  11. අභ්‍යන්තර ක්‍රියාවක්

  12. අං. නි. II 178 පිට (බු: ජ.)

  13. මෙනෙහි කිරීමේ සිත් පන්තිය