පූර්වෝක්ත ක්‍රමයෙන් සූත්‍ර දේශනාවන්හි එන අන්දමින් ඥාන රාශිය කැටිකොට පටිසම්භිදා මග්ග පාළියේ ඥාන මාතිකාවේ සඳහන් කරන ලදී. ඒ සියල්ල සුදුසු සේ බෙදා විසුද්ධි මග්ග පඤ්ඤ භාවනා නිද්දේසයේ දක්වන ලදී. ඒ මෙසේය:-
- නාම රූප පරිච්ඡේද ඥානය
- පච්චය පරිග්ගහ ඥානය
- සම්මසන ඥානය
- උදයබ්බය ඥානය
- භඞ්ග ඥානය
- භයතූපට්ඨාන ඥානය
- ආදීනව ඥානය
- නිබ්බිදා ඥානය
- මුඤ්චිතුකම්‍යතා ඥානය
- පටිසංඛා ඥානය
- සංඛාරුපෙක්ඛා ඥානය
- අනුලොම ඥානය
- ගොත්‍රභූ ඥානය
- මග්ග ඥානය
- ඵල ඥානය
- පච්චවෙක්ඛණ ඥානය
මේ ආකාරයෙන් මෙහි සඳහන් ඥාන සොළොසක් දැක්විය හැකිය. විදර්ශනා භාවනාවක් ආරම්භ කොට සිටියහුට එතැන් පටන් අවසානය තෙක් ලැබෙන ඥාන සම්භාරය මෙයින් සලකා ගතහැකි වෙයි. මේ ඥානයන් පිළිබඳ තත්ත්වය සළකන විට මේවා නම් අනුපස්සනාවන් හා සඤ්ඤාවන් පිළිබඳ ක්‍රියා සම්භාරයේ බලයෙන් චිත්ත සන්තානයේ තැන්පත් බවට පැමිණෙන අවබෝධමය ශක්ති විශේෂ බවය, තේරුම් කරගත යුත්තේ.
මෙහි සඳහන් වන ඥානයන් අතුරෙන් පස්වැන්නෙහි සඳහන් වන “භඞ්ග ඥානය” පටිසම්භිදා මග්ග පාළියේ දී “විපස්සනා ඤාණං” යන්නෙන් විදර්ශනා ඥානය බව සඳහන් කරන ලදී. ඵල සමාපත්තියට අධිෂ්ඨාන කොට එක් එක් විදර්ශනා ඥානයට පත්වීමේ දී සිදුකෙරෙන්නේ උදයබ්බය ඥානයේ සිට අනුලෝම ඥානය තේක් ලැබෙන ඥාන 09 යයි. ගොත්‍රභූ ඥානය විදර්ශනා විථියෙන් වෙන් කොට දක්වන ලද බව පෙනෙයි. එය නිවන අරමුණු කරතත් සමුච්ඡේද වශයෙන් කෙලෙස් කැඩීමක් නොකරයි. මෙය විවට්ටානුපස්සනාව[1] බවත් එයින් සංයෝගාභිනිවෙස[2] නම් ලෝභය තදඞ්ග වශයෙන් කැඩෙන බව අට්ඨාරස විපස්සනා විස්තරයේ දී දැක්වෙයි. 14 වැන්න හා 15 වැන්න ලෝකෝත්තර ඥානයෝ ය. අන්තිමට දැක්වුණු පච්චවෙක්ඛන ඥානය ලෞකිකය.
මුලින් දැක්වුණු ඥාන තුනෙන් සම්මසන ඥානයද විශේෂයෙන් සංස්කාරයන් පිළිබඳ ත්‍රි ලක්ෂණට යොමු කිරීම ඇති බැවින් ද 1-2 ඥානවලින් දියුණුවට පත් හේතු ඵල වශයෙන් ප්‍රකාශයට පත් වෙන හෙයින්ද, පුද්ගල ගෝචර පරිදි සියලු සංස්කාරයන් නය වශයෙන්[3] හෝ කලාප වශයෙන්[4] ව්‍යවස්ථාව ලැබෙන හෙයින්ද විදර්ශනා ඥානය යන නම ලැබීමට සුදුසුය. නාමරූප පරිච්ඡේද ඥානය හා පච්චය පරිග්ගහ ඥානයද යන මේ ඥාන දෙක සප්පච්චය නාමරූප පරිග්ගහ යයි එකක් සේ ද ආචාර්යවරු දක්වති. මුල දී දැක් වූ පරිදි යථාභූත ඥානයට ඇතුළත් මේ ඥානයන් ලැබෙනුයේ භාවනා මනසිකාරයේ අත්දැකීම් අනුව බොහෝ සෙයින් දෙවරකටය.
“සබ්බං භික්ඛවෙ අභිඤ්ඤෙය්‍යං”[5] යනාදීන් වදාළ පරිදි අභිඤ්ඤා කෘත්‍යය[6] සිදුවන්නේ මෙහිදීය. නාමරූප සංස්කාරයන් පිළිබඳ සාමඤ්ඤ ලක්ඛණය[7] මෙයින් මතුවන හෙයින් මෙහිදී සිදුවන්නේ ලක්ඛණාරම්මණික විපස්සනාවයි. මෙසේ මේ සියලු ඥානයන් විදර්ශනා නාමයෙන් පෙන්වීම නිවරදයයි සලකමු.
සංයුත්සඟියෙහි:
“සො වත භික්ඛු සබ්බ සංඛාරෙ අනිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්තාගතො භවිස්සතීති ඨානමෙතං විජ්ජති. අනුලොමිකාය ඛන්තියා සමන්තාගතො සම්මත්ත නියාමං වොක්කමිස්සතීති ඨානමෙතං විජ්ජති. සබ්බ සංඛාරෙ දුක්ඛතො ........... සබ්බ සංඛාරෙ අනත්තතො.........[8]
“මහණෙනි, ඒ සියලු නාම රූප සංස්කාරයන් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත කොට නැවත නැවත නුවණින් සලකා බැලීම කරන ඒ මහණ තෙමේ ඒකාන්තයෙන් ලෝකෝත්තර මාර්ගයට අනුව යන විදර්ශනාවෙන් යුක්ත වන්නේය.” යන මේ කාරණය ඇත්තේය. මේ විදර්ශනා ඥානයෙන් යුතු භික්‍ෂුව ඒකාන්තයෙන් සම්මත්ත නියාමයට පත්වන්නේය. මේ ඒකාන්ත කරුණු දෙකකි.
මෙහි කරුණු තුනෙකි:-