මාර්ග චිත්ත වීථිය

මේ මාර්ග චිත්තය නිමිත්ත පවත්ත[1] යන දෙකින්ම නැගී සිටුනා හෙයින් සංස්කාර නිමිත්තෙන් ද නැඟී සිටියි. ක්ලේශ ප්‍රවර්තය[2] ද සිඳියි.

මහා ප්‍රාඥ පුද්ගලයාට වනාහි අනුලෝම සිත් දෙකෙකි. තුන්වැන්න ගොත්‍රභූ චිත්තයයි. සිවුවැන්න මාර්ග චිත්තය යි. ඵල සිත් තුනෙකි. එයින් පසු භවාඞ්ගයට බැස ගනී.

මධ්‍යම ප්‍රාඥයාහට අනුලෝම සිත් තුනෙකි. හතර වැන්න ගොත්‍රභූ චිත්තයයි. පස්වැන්න මාර්ග චිත්තය යි. ඵල සිත් දෙකෙකි. එයන් පසු භවාඞ්ගයට බැස ගනියි.

මන්‍ද ප්‍රාඥයාහට අනුලෝම සිත් සතරෙකි. පස්වැන්න ගොත්‍රභූ චිත්තයයි. සවැන්න මාර්ග චිත්තය යි. සත්වැන්න ඵල සිතයි. ඉන්පසු භවාඞ්ගයට බැස ගනියි.

මෙහි මහා ප්‍රාඥ, මන්ද ප්‍රාඥයන්ගේ වශයෙන් නොකියා මධ්‍යම ප්‍රඥයාගේ වශයෙන් කිවයුතුය. එය මෙසේයි. යම් වාරයෙක්හි මාර්ග චිත්තය ලැබීම වෙයිද, ඒ වාරයෙහිදී අහේතුක[3] ක්‍රියා වූ

උපෙක්ඛාසහගත මනො විඤ්ඤාණ ධාතු සංඛ්‍යාත මනොද්වාරාවජ්ජනය විදර්ශනාවට විෂය වූ ස්කන්ධයන් අරමුණු කොට භවාඞ්ගය පෙරළයි. එයට අනතුරුව ඒ මනොද්වාරාවජ්ජනය ම ගන්නා ලද ස්කන්ධයන් අරමුණු කොට ප්‍රථම ජවන චිත්තය උපදී. ඒ අනුලෝම ඥානයයි. ඒ අනුලොම ඥානය විෂය වශයෙන් ගත් ස්කන්ධයන් කෙරෙහි අනිත්‍ය කියා හෝ දුක්ඛය කියා හෝ අනාත්මයයි කියා හෝ පැවැති ඕලාරික වූ, චතුරාර්‍ය්‍ය සත්‍යය වසාගෙන සිටි ඒ මෝහය දුරු කොට ත්‍රිලක්ෂණයන් බෙහෙවින් ප්‍රකට කොට නිරුද්ධ වෙයි. එයට අනතුරුව දෙවෙනි අනුලෝමය උපදී.

ඒ දෙක අතුරෙන් පළමු අනුලෝමයට ආසේවන ප්‍රත්‍යය නැත. දෙවනි අනුලෝමයට පළමු අනුලොමයේ ආසේවන ප්‍රත්‍යය ලැබී තියුණුව - සූරව, ප්‍රසන්න ව ඒ අරමුණෙහිම ඒ ආකාරයෙන්ම පැවැතීමෙන් මධයම ප්‍රමාණවූ චතුස්සත්‍යය ප්‍රතිච්ඡාදක මෝහය දුරු

කොට ත්‍රිවිධ ලක්ෂණය බොහෝ සෙයින් ප්‍රකට කොට නිරුද්ධ වෙයි. එයට අනතුරුව තුන්වෙනි අනුලොමය උපදී. එයට දෙවෙනි අනුලෝමයේ ආසේවන ප්‍රත්‍යය තියුණුව, සූරව, ප්‍රසන්නව ඒ අරමුණෙහි ඒ ආකාරයෙන් ම පැවැතී එයින් ඉතුරු වූ අනුසහගත සත්‍යප්‍රතිච්ඡාදක[4]

මොහාන්ධකාරය දුරුකොට නිරවශේෂ කිරීමෙන්[5] ත්‍රිලක්ෂණය බොහෝ සෙයින් ප්‍රකටකොට නිරුද්ධ වේ. මෙසේ අනුලොම සිත් තුනකින් චතුස්සත්‍යය වසා සිටි මෝහාන්ධකාරය දුරු කළ කල්හි සතරවනුව නිවන අරමුණු කරමින් ගොත්‍රභූ ඥානය උපදී.

නිවන් පසක්කර ගැනීමේ අභිප්‍රායෙන් භාවනා මනසිකාරයේ යෙදුන මේ යෝගාවචරයා මෙම අවස්ථාවට පැමිණෙන විට විදර්ශනා ඥානයන්ගෙන් බොහෝ දුරට දියුණුවට පත් වී ඇති බව කිව යුතුය. මෙසේ පැවැති මේ විදර්ශනා ඥානයන්ගේ බලයෙන් නොයෙක් වර තමා තුළ පැවැති ක්ලේශයන්ගේ ව්‍යතික්‍රම අවස්ථාවත්[6], පරියුට්ඨාන අවස්ථාවත් ගෙවාගෙන සිටියේය. තදඞ්ග වශයෙන්[7] ක්ලේශප්‍රහාණය ඉතා උසස් අන්දමින් සිදුකර ගෙන සිටියේය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයට අයත් මාර්ගාඞ්ගයන් නොඅඩුව දියුණුව පැවැති හෙයින් ඉතා පිරිසිදු සන්තානයක් දරමින් සිටියේය. ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රිය ධර්මයන් ක්‍රමානුකූලව දියුණුවට පත්කර ගෙන සිටියේය. ඔහුට ඉතිරිව පැවැතියේ ක්ලේශයන්ගේ අනුශය අවස්ථාව කැඩීම පමණෙකි.

එහෙයින් තව තවත් ඉදිරියට විදර්ශනා භාවනාවෙහි යෙදෙමින් අවස්ථාවට සුදුසු පරිදි ප්‍රථම මාර්ගඥානය සඳහා නොනවත්වා වැඩ කළේය. මේ අවස්ථාවේදී ඉතා දියුණුවට පත් විදර්ශනා ඥානය තමාගේ විදර්ශනා ශක්තිය අනුව මතු වූ ත්‍රිලක්ෂණයන්ගෙන් එක්තරා ලක්ෂණයක එල්බ ගෙන කීප වරක් අනුලෝම වශයෙන් පැවති ගොත්‍රභූ ඥානයට පැමිණේ. එහිදී එම ගොත්‍රභූ ඥානයට නිවන් අරමුණු වන බව මුලදී කියන ලද්දේය. ඒ සමඟම සෝතාපත්ති මග්ග ඥානය මාර්ගාඞ්ග ධර්මයන් එකට සම්පූර්ණකර ගනිමින් නිවන අරමුණු කරමින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා, සීලබ්බත පරාමාස[8] සංයෝජනයන් සිඳිමින් එක්වරක් පවතී. අනතුරුව ඵල චිත්තය මුලින් කියන ලද ක්‍රමයෙන් පැවතීමෙන් පසු පච්චවෙක්ඛණ ඥානද පහළ වේ.

මග්ගං ඵලං ච නිබ්බාණං - පච්චවෙක්ඛති පණ්ඩිතො,

හීනෙ කිලෙස සෙසෙ ච - පච්චවෙක්ඛති වා නවා.

යනු පච්චවෙක්ඛණ ඥානය හඳුන්වා දෙන අභිධර්මාර්ථ සංග්‍රහයේ ගාථාවෙකි. එහි අදහස:- පණ්ඩිත යෝගාවචරවරයා ආගමන ප්‍රතිපත්තිය අනුව මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරයි. ආගමන ප්‍රතිපත්ති[9] අනුව තමා ලත් ලෝකෝත්තර මාර්ගඥාන චිත්තය මෙසේ මා ලදැයි ප්‍රත්‍යාවේක්ෂා කෙරෙයි. එයින් ලද ඵලය මේ යයි ඵල චිත්තය ප්‍රත්‍යවේක්ෂා කරයි. මේ ආනිශංසය ලදිමියි නිවන ප්‍රත්‍යවේක්ෂා කෙරෙයි. මේ කෙලෙස් මා විසින් ප්‍රහාණය කරන ලදැයි ද, මෙතෙක් කෙලෙස් මතු ප්‍රහාණය කිරීමට ශේෂව ඇතැයි ද, ප්‍රත්‍යවේක්ෂා කරයි. ඇතැම්හු ප්‍රත්‍යවේක්ෂා නොකරන්නෝ ද වෙති.

මෙසේ සෝවාන්ඵල අවස්ථාවෙන් පසුව කරන ප්‍රත්‍යවේක්ෂාවේ දී, 1. මාර්ග ප්‍රත්‍යවේක්ෂාව, 2. ඵල ප්‍රත්‍යවේක්ෂාව, 3. නිබ්බාණ ප්‍රත්‍යවේක්ෂාව, 4. ප්‍රහීනක්ලේශ ප්‍රත්‍යවේක්ෂාව 5. ශෙෂක්ලේශ ප්‍රත්‍යවේක්ෂාව යයි කියා ප්‍රත්‍යවේක්ෂා පසෙකි.

සකදාගමී ඵල අවස්ථාවෙන් පසුව ද මෙසේම ප්‍රත්‍යවේක්ෂා පසෙකි. අනාගාමී ඵලාවස්ථාවෙන් පසුව ද මෙසේ ප්‍රත්‍යවේක්ෂා පසක්ම ලැබේ. අර්හත් ඵලාවස්ථාවෙන් පසුව වනාහී ශේෂ ක්ලේශයක් නැති හෙයින් ප්‍රත්‍යවේක්ෂා සතරෙකි. මේ කියන ලද්දේ එකුන්විසි ප්‍රත්‍යවේක්ෂා ඥානයෝය.

සෝතාපත්ති ඵලයට පත් මේ ආර්‍ය්‍යපුද්ගලයා තමා ප්‍රත්‍යක්‍ෂ කොට ගත් අසංඛත ධාතුව නැවතත් ලබාගෙන වාසය කිරීමට ඵලසමාපත්ති යයි කියනු ලැබේ. එය ලබා ගැනීමට ක්‍රමයෙන් පුහුණු විය යුතුය. ඒ ක්‍රමය නම් උදයබ්බය ඥානයේ පටන් සංඛාරුපෙක්ඛා ඥානය දක්වා ඥානයන් ලබා ගැනීමට කරන අධිෂ්ඨානයයි. එක ඥානයක් ලබාගෙන මිනිත්තු පහක් වාසය කරමියි අධිෂ්ඨාන කරගෙන පළමු පුරුදු පරිදි කර්මස්ථානයට සිත යොදයි. පෙර පුරුදු පරිදි කර්මස්ථානයට මැනවින් වැටැහී උදයබ්බය අවස්ථාවට පැමිණේ. උදයබ්බය අවස්ථාවේ මිනිත්තු පහක් සිත නැවැතී අධිෂ්ඨානය ශක්තිමත් නම්, අධිෂ්ඨාන කාලය අවසන් වූ කෙණෙහිම කර්මස්ථානයට සිත පැමිණේ. එසේ සම්පූර්ණ නොවී නම් පුන පුනා අධිෂ්ඨාන කළ යුතු. සෙසු ඥානයන්හි ද මෙසේම පිළිපැදිය යුතු. අධිෂ්ඨාන කාලය වැඩිකිරීම යෝගාවචරයාගේ කැමැත්ත පරිදි වේ. සංඛාරුපෙක්ඛා ඥානයෙන් පසු ලැබෙන්නේ අනුලෝම ඥානයයි. එහිදී අධිෂ්ඨාන කළ යුත්තේ මා විසින් ප්‍රථමයෙන් ලබාගත් ඵලඥානය යළිත් වරක් ලබාගෙන මිනිත්තු පහක් වාසය කරමියි කියායි. මෙහිදී අධිෂ්ඨාන කාලය වැඩිකිරීම යෝගාවචරයාගේ කැමැත්ත පරිදි වේ. මේ වසීභාවයට පමුණුවා ගැනීමට බොහෝ වාර ගණනක් පුරුදු කළ යුතුය.

උපරි මාර්ගඥාන කෘත්‍යය:- සෝවාන් ඵලයට පත් ආර්‍ය්‍ය පුද්ගලයා සකෘදාගාමී මාර්ගය ලබා ගැනීමට වැඩ කිරීමේදී තමන් ලත් ප්‍රථම ඵලය ප්‍රතික්ෂේප කළයුතුය. මෙසේ නොකළොත් විදර්ශනා ඥාන කෙළවර දී ඔහුට ලැබෙනුයේ තමා ලත් ඵල ඥානය මැයි. මෙසේ දෙවෙනි මාර්ගය ගැන අපේක්ෂාවෙන් පළමු පුරුදු කර්මස්ථානයට සිත යෙදිය යුතුය. එහිදී පළමු දැක්වූ පරිදි උදයබ්බයාදී අවස්ථාවන්ට පැමිණීම සිදුවෙයි. එහෙත් මෙහි විශේෂයක් ඇත.

  1. පැවැත්ම

  2. පැවැත්ම

  3. හේතු සම්බන්ධය නැති

  4. සත්‍යය වසන් කරන

  5. ඉතිරි නොකිරීමෙන්

  6. ඉක්මවීමේ අවස්ථාව

  7. තාවකාලික වශයෙන්

  8. බාහිර ශීලව්‍රතයන්ගෙන් නිවන් සෙවීම

  9. ප්‍රතිපත්තිය පිළිබඳව තමන් ආ මාර්ගය බැලීම