නොපසුබට වීර්‍ය්‍යයයෙකැ යෙදී භාවනා මනසිකාරයෙන් පසුවන යෝගාවචරයා කර්මස්ථානාචාර්‍ය්‍යයන් වහන්සේ වෙතැ පැමිණ මෙසේ කියයි:-
“ස්වාමින් වහන්ස, කලින් මාගේ භාවනාව හොඳින් පැවතුණා උදයබ්බය ඥානය පහළ වුණා. ඉන්පසු භඞග ඥානයත් පහළ වුණා. ඊළඟට සංඛාරුපෙක්ඛාවත් පහළ වුණා. දැන් උදයබ්බය දැනී සංඛාරුපෙක්ඛාවට ගොස් නැවතී තිබෙනවා. එයින් එපිටට මෙනෙහි කිරීමට සිතවත් අසුවෙන්නේ නැහැ.”
ආචාර්‍ය්‍යයන් වහන්සේ ඔහුගේ කර්මස්ථානය ශුද්ධ කර දීමට මෙසේ විමසා බලයි.
- කර්ම :- ඔබට උදයබ්බය හොඳින් වැටහුණා ද?
- යෝ :- එහෙමයි, හොඳට වැටහුණා.
- කර්ම :- ඒ කොහොම ද? උදයබ්බය වැටහුණේ?
- යෝ :- ආනාපාන දෙක කැඩි කැඩී යනවා දුටුවා.
- කර්ම :- එපමණ ද?
- යෝ :- නැහැ, භඞ්ග ඥානයත් දැක්කා.
- කර්ම :- එපමණ ද?
- යෝ :- කලින් තවත් සිදුවීම් දුටුවා. ආදිනව ඥාන - භය ඥාන.........
- කර්ම :- පින්වත, ඔබ පවත්වාගෙන යන කමටහන් වැඩ පිළිවෙළ කීප පළකින් පිරිසිදු කර ගැනීමට සිදුවී ඇති බව සලකන්න. එහි දී මුලින්ම සිතට ගත යුත්තේ විදර්ශනා මනසිකාරයේ යෙදෙන යෝගාවචර පින්වතාට එහි ලැබෙන ඥානයන් තීරණය කිරීම නුසුදුසු බවයි. තමා ඇසුරු කරන ගුරුතුමා එය තීරණය කරනවා ඇති. සුදුසු විටකදී ඒවා පැහැදිලි කර දෙනවා ඇත. ගුරු කෙනෙකුන් නැතිව එකලාව භාවනා මනසිකාරයේ යෙදෙන්නා ගැන කෙසේ ද? යනුවෙන් මෙහිදී ප්‍රශ්නයක් මතුවෙනවා ඇති.
එයට පිළිතුර: ඔහු එකලාව භාවනාවට බැස්සේ එබඳු තීරණයක් කර ගැනීමට සමත් හෙයිනි. ඔබ වැන්නන් එසේ නො වන බව තදින් සිතට ගත යුතුයි යනුයි. එසේම ඔබ සිතාගෙන තීරණය කරගත් උදයබ්බය ඥානය ද නියම උදය වය ඥානය නොවේ. එය සංස්කාර කොටසක උදය වය දෙක පිළිබඳ දැනීම් මාත්‍රයෙකි. නියම උදයබ්බය ඥානය සම්පූර්ණවීම නොනවත්වා මැනවින් භාවනා මනසිකාරයේදී මතුවට සිදුවීමට ඉඩ තිබේ.
තවද, විදර්ශනා ඥානයන් පහළවීමේදී මුල සිට ක්‍රමිකව එකින් එක උපකාර ලැබීමෙන් හේතුඵල සම්බන්ධයෙන් අර්ථවත් බවට පත්වීම වෙයි. මුලින් එක ඥානයක් වරකදී මතුවෙයි. ඊළඟට අතරකදී දෙවනුව ලැබෙන ඥානයක ඡායාව පෙනෙයි. අතර වෙනත් සිතිවිලි නිසා නැතිවී තිබුණා. එහෙයින් මෙය නියම ඥානය විය නොහැකිය.
නාමරූප පරිච්ඡේද ඥානය ආකාර දහයකින් පිරීමෙන් ඊළඟ පච්චය පරිග්ගහ ඥානය මතුවෙයි. එය පිරීමෙන් සම්මසන ඥානය මතුවෙයි. එයත් පිරීමෙන් උදයබ්බය ඥානය මතුවෙයි. එය පිරීමෙන් භඞ්ග ඥානය මතුවෙයි. මීළඟට භය, ආදීනව, නිබ්බිදා, මුඤ්චිතුකම්‍යතා, පටිසංඛා යන මේ ඥානයන් මතුවී පිරීමෙන් සංඛාරුපෙක්ඛාව පහළ වන්නේ අන්තිම වරටය.
මෙහිදී මුලින් සඳහන් කළ, නාම රූප පරිච්ඡේද ඥානය මතුවන විට ඔහුගේ දැනීම පළමු පටන්ගත් සැටියෙන් ආනාපාන දෙක එකින් එකට වෙන් වී, එකක් තුළ වෙන් වෙන්ව වැටහීම් ඇතිව දැනීම මතුවිය යුතුය. එයට අනතුරුව එයට සම්බන්ධ පඨවි-ආපෝ-තේජෝ-ධාතු කොටස් එකින් එක වෙන් වෙන්වී නුවණට අසුවී මතුවිය යුතුය. එයින් පසු ස්කන්ධ කූඩුවටම සම්බන්ධව ඇති රූප ධර්මයන් හා නාම ධර්මයන් ද එකතුවී මතුවී දැනීමට අසුවිය යුතුය. මෙසේ නාමරූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වෙයි.
දැන් ඔහුගේ එකග්ගතාවද සම්පූර්ණයයි කිය යුතුය. ඒ මෙසේ යි :
- අතීතයට දිවීම නැත.
- අනාගතයට දිවීම නැත
- රාගයෙන් ඇලීම් නැත
- ද්වේෂයෙන් ගැටීම් නැත.
- ථිනමිද්ධයෙන් හැකිළීම් නැත.
- උද්ධච්චයෙන් විසිරීම් නැත.
ඉන්‍ද්‍රිය ධර්මයන් ඒක රස වී ඇත. (සද්ධා - විරිය - සති -සමාධි පඤ්ඤා යන ඉන්‍ද්‍රියයෝ එක ක්‍රියාවකින් සම්බන්ධ වී ඇත.) මෙහි සඳහන් සද්ධා-පඤ්ඤා සහ සමාධි-විරිය යන යුගල ධර්ම සමව වැඩී ඇත. එයට සුදුසු විරිය පැවැතී ඇත. නැවත නැවත සමාධිය අරමුණේ පැවැතීමෙන් ආසේවනය සිදුවී ඇත.
මේ අඞ්ග දහය සම්පූර්ණ වීමෙන් සමාධි චිත්තයේ දියුණුව සැලසිය යුතුය. මේ අවස්ථාවට පත් සිත අධ්‍යාත්මයට යොමුකරන විටද සත්ත්ව පුද්ගල මමත්වයෙන් වෙන්ව නාමරූප සංඛාර රාශියක් ලෙසට වැටහීම සිදුවිය යුතුය. පිටතට සිත යොමු කරන විටද එසේ විය යුතුය. මේ නාම රූප පරිච්ඡේද ඥානයේ ස්වරූපයයි. මෙයින් දිට්ඨි විසුද්ධිය සැලසේ.
මේ දැක්වූ අදහස් අනුව සැලකීමෙන් පච්චය පරිග්ගහ ඤාණාදියේ මතුව ප්‍රකට වන සැටිත්, එය සම්පූර්ණ වන සැටිත් සුදුසු සේ තේරුම් ගතයුතු වෙයි.
මීළඟට ඔබේ සිතේ තත්ත්වය ගැන සිතා බලමු. ලොකු අඩුපාඩුවක් නිසා ඔබේ සිත දුබල ගතියකට වැටී ඇති සැටි පෙනෙයි. භාවනා මනසිකාරයට ඕනෑකම තිබෙද්දීම මෙසේ භාවනා අරමුණේ සිත නොපැතිරෙන්නේ යම් කිසි දුබලතාවයට සිත වැටී යාම හේතුකොටගෙනය. මේ හේතුව විමසා දැනගත යුතුය. ඔබේ සිත දැන් කුසීත බවට වැටී තිබේ. විරියාරම්භ ඥානයේ හැටි මතක් කර ගන්න. එය අසල්ලීන විය යුතුය. අසල්ලීන නම් සිතේ නොසැඟවූ බවයි. දැන් මේ සිදුවී තිබෙන්නේ සල්ලීනභාවය යි. සිත හැංගී යාම යි. ලීන වීමයි. සංකෝචනයයි. දැන් කළයුත්තේ ප්‍රසාදයත් සංවේගයත් වැඩෙන අන්දමට බුද්ධානුස්සති, මරණසති කමටහන් අලුත් කරගෙන මනසිකාරය පළල් කර ගැනීමයි.
පඨවි ධාතු, ආපෝ ධාතු, තෙජො ධාතු යන කොටස් නැවත නැවත සලකා බැලීම, චක්ඛු විඤ්ඤාණාදී විඤ්ඤාණ ධාතු[1] සළකා බැලීම, එසේම චක්ඛු සමඵස්සාදි[2] ඵස්ස කොටස්ද, චක්ඛු සම්ඵස්සජාදි වේදනා[3] කොටස්ද, රූප සඤ්ඤාදී සඤ්ඤා කොටස් ද, රූප සඤ්චෙතනාදී[4] චේතනා කොටස්ද, යන මේවා පැහැදිලි සිතට වැටහෙන සේ මෙනෙහි කිරීම පැවැත්විය යුතුය. යළිත් සති-සමාධි සම්පජඤ්ඤ ධර්මයන් වැඩෙන කල්හි සිතේ හැකිළීම නැතිවී කාර්‍ය්‍යක්ෂම වනු ඇත. මෙම අවවාදය ඇසීමෙන් සිතේ හැංගීම තේරුම් ගත් යෝගාවචරයා නියම ලෙසින් ඉදිරියට භාවනාවේ යෙදී ස්වකීය භාවාභාව සාර්ථක කරගන්නේය.
යෝගාවචරයන්ගේ භාවනා මනසිකාරාවස්ථාවන්හි ලැබෙන, මේ චිත්ත සංකෝචනය තේරුම් ගෙන එයට හේතූන් මැනවින් පරීක්ෂාකොට තේරුම් ගෙන සුදුසු අන්දමින් ප්‍රතිකර්ම කිරීමට සිතට ගතයුතුය.
මෙහි 48 වෙනි පිටුවේ සඳහන් පරිදි අස්සජි හිමියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිපරිවට්ට දේශනාව මෙසේයි:
- බුදුහිමියාණෝ :- අස්සජියෙනි, එය කිමැයි සිතන්නෙහිද? රූපය නිත්‍යද? අනිත්‍යද?
- අස්සජි හිමි :- ස්වාමීනි එය අනිත්‍යය.
- බුදුහිමියාණෝ :- යමක් අනිත්‍ය නම් එය සැපද? දුකද?
- අස්සජි හිමි :- ස්වාමිනි දුකයි.
- බුදුහිමියාණෝ :- යමක් වූ කලි අනිත්‍ය නම්, දුක්නම්, වෙනස්වන සුලු නම්, මෙය මගේ ය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මය වේයයි සැලැකීමට සුදුසුද?
- අස්සජි හිමි :- ස්වාමිනී. එය එසේ සැලැකීමට සුදුසු නැත.” (වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ගැන ද මෙසේමැයි.)
- බුදුහිමියාණෝ :- එහෙයින් අස්සජි, මේ සංස්කාර ලෝකයෙහි අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, ආධ්‍යාත්මික වූ ද, බැහැරි වූ ද, ඕළාරික වූ ද, සුඛුම වූ ද, හීන වූ ද, ප්‍රණීත වූ ද, දුරැ වූ ද, සමීප වූ ද, යම් කිසි රූපයෙක් වේ නම්, ඒ හැම රූපයෙක් ම “මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි. මෙය මගේ ආත්මය ද නො වේ” යයි නිවැරැදි නුවණින් තේරුම් කරගත යුතුය.
එබඳු ම යම් කිසි වේදනා ඇද්ද, සඤ්ඤා ඇද්ද, සංඛාර ඇද්ද, විඤ්ඤාණයෙක් ඇද්ද, ඒ සියල්ල ගැන ද “මේ මගේ නො වේ. මෙය මම නො වෙමි, මේ මගේ ආත්මය ද නොවේ” කියා මනා නුවණින් සලකාගත යුතුය.
අස්සජි, මෙසේ විදර්ශනා නුවණින් දක්නා ශ්රැතමය ඥානය ඇති, ආර්ය ශ්‍රාවක යෝගාවචරයා රූප කොටසෙහිද, වේදනා කොටසෙහිද, සඤ්ඤා කොටසෙහිද, සංඛාර කොටසෙහිද, විඤ්ඤාණ කොටසෙහිද, වුට්ඨානගාමිනී විපස්සනාව පැවැත්මෙන් නිබ්බින්‍දනය[5] ලබයි. එයින් කෙලෙසුන් සහමුලින් සිඳෙන මාර්ග චිත්තය පහළ වෙයි. එය හා සමඟ ම පයෝග පටිප්පස්සදධි පඤ්ඤාව[6] වූ ඵල ඥානය පහළ වෙයි. ඒ සමඟ ම ප්රත්යාවේක්ෂාඥානයෝ පහළ වෙති. (අරහත්තමග්ග ඥානයෙන් පසුව ඵල ඥානයට පැමිණ, එකුන් විසි ප්රත්යවේක්ෂා ඥානයන්ගේ කෙළවර,) චරිමක විඤ්ඤාණයෙන්[7] පසු ඊළගට ජාතියක් නැතැයි දැනගනියි. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. ආර්යසත්ය සතරෙහි සතර මාර්ගයෙන් කළමනා, පරිඤ්ඤා-පහාන-සච්ඡිකිරියා-භාවනා යන මොවුන්ගේ වශයෙන් සොළාස් වැදෑරුම් කෘත්‍යයන් කොට නිමවන ලදී. දැන් යළිත් මේ සොළොස් වැදෑරුම් කෘත්‍යයන් සඳහා නොහොත් කෙලෙසුන් ගෙවීම සඳහා කළමනා මාර්ග භාවනාවෙක් නැත. නොහොත් මේ වර්තමාන ස්කන්ධ සන්තානය හැර තවත් ස්කන්ධ සන්තානයෙක් නැත. මේ ස්කන්ධයෝ පරිඥාතව පවතිත්යයි දැන ගනියි.
අස්සජි හිමියෝ බුදුරජාණන් වහනසේගේ තිපරිවට්ට දේශනාව අසමින්ම විදසුන් වඩා රහත් වූහ. රහත්බවට පැමිණියහුගේ සත්ත විහාරය[8] දැක්වීමට, බුදුරජාණන් වහන්සේ, “සො සුඛං චෙ වෙදනං වෙදියති විසඤ්ඤතෙනා තං වෙදනං වෙදියති.” යනාදිය වදාළහ. හෙතෙම ඉතින් සුඛ වේදනාවක් විඳී නම් නොබැඳී ඒ වේදනාව විඳියි. ඉදින් දුක් වේදනාවක් විඳීනම් නොබැඳී එය විඳියි. මැදහත් වේදනාවක් විඳී නම් නොබැඳී එය විඳියි. හෙතෙම කයෙන් පරිච්ඡින්න වූ වේදනාව (පඤ්චද්වාරික කයේ පැවැත්ම ඇති තාක් පැවති පඤ්චද්වාරික වේදනාව) විඳිමින් පඤ්චද්වාරික කයෙන් පිරිසුන් වේදනාව විඳිමි යි තේරුම් කර ගනියි. ජීවිතයෙන් පරිච්ඡින්න වූ වේදනාව (එනම් ජීවිතය පවත්නාතාක් පැවැති මනෝද්වාරික වේදනාව) විඳිමින් ජීවිතයෙන් පරිච්ඡින්න වූ වේදනාව විඳිමියි තේරුම්කර ගනියි. කරජකයේ බිඳීමෙන් වර්තමාන භවය පවත්වනුවට උපකාරක ජීවිතින්‍ද්‍රිය ගෙවියාමෙන් පසු මතු ප්‍රතිසන්ධි වශයෙන් ඔබ්බට නොගොස් මෙහිම සියලු වේදනාවෝ නොපිළිගන්නා ලද්දාහු ප්‍රවෘත්ති විප්ඵන්දනයෙන්[9] හටගන්නා දරථ[10] නැතිවී ප්‍රවර්තයෙන් තොර[11] ස්වාභාවය ඇතිව යෙත් කියා මෙසේ දැනගනියි.[12]
මෙහි සඳහන් පඤ්ච ද්වාරික[13] වේදනාව හා මනෝද්වාරික[14] වේදනා ද යන මේ වේදනා දෙකෙන් පඤ්ච ද්වාරික වේදනාව මනෝ ද්වාරික වේදනාවට පසුව ඉපිද, එයට පළමුවෙන් නැති වෙයි. මනෝ ද්වාරික වේදනාව පඤ්ච ද්වාරික වේදනාවට පළමුවෙන් ඉපිද එයට පසුව නැති වෙයි.
එය පටිසන්ධිග්ගහණයෙහි[15] දී වත්‍ථුරූපයෙහිම[16] පිහිටයි. පඤ්ච ද්වාරික වේදනා වනාහි ප්‍රවෘත්තියෙහි දී පඤ්චද්වාර වශයෙන් පැවතී, සත්ත්වයන්ගේ ප්‍රථම වයසෙහි, විසිහවුරුදු පමණ කාලයෙහි, ඇලීම් ගැටීම් මුළාවීම් වශයෙන් අධිකව බලවත්ව පවතියි. පණස් අවුරුදු කාලයෙහි ඒ නොවැඩී නොපිරිහී පිහිටා තිබෙයි. අවුරුදු සැටේ කාලයේ පටන් අවුරුදු අසූව අනූව කාලයෙහි පිරිහී ගොස් හොඳටම අඩු වෙයි. එකල්හි සත්ත්වයෝ අනුන් තමන් සම්බන්ධ කරගෙන පැරණි තොරතුරු කියන කල්හි බොහෝසේ නොදන්නා බව ම කියන්නාහ. මෙසේම ඔවුහු බලවත් ලෙස ඉදිරිපත් වන රූපාරම්මණ ද, සද්දාරම්මණ ද “නොදකිමු, නොඅසමුය” කියති. සුවඳ හා දුගඳ ද, මිහිර හා නොමිහිර ද, තද හා මොළොක් ගති ද නො දනිති. මෙසේ ඒ අවස්ථාවේදී පඤ්චද්වාරික වේදනාව බිදී ගියැයි කිය යුතුය. එකලැ මනොද්වාරික වේදනාව ම වැඩියෙන් පවතියි. එය ද අනුක්‍රමයෙන් පිරිහී ගොස් මැරෙන අවස්ථාවේදී හදවත් කෙළවරම ඇසුරු කරගෙන පවතියි. එය එසේ පවත්නා තාක් සත්ත්වයා ජීවත් වේයයි කියනු ලැබේ. මේ කියන පැවැත්ම නතර වූ කෙණෙහි සත්ත්වයා මළේයයි කියති.
උපමාවක්
ජල මාර්ග පසෙකින් යුත් වැවෙක් වෙයි. වැසි වට කල්හි එකී ජලමාර්ග පසෙන් වැවට ජලය ගලා වැදීමෙන් එහි වූ වළවල් පිරීගනියි. නැවැත නැවැතත් වැසි වස්නා කල්හි ජල මාර්ගයන් පිරී සැතැපුමක් පමණ වූ හෝ එයට වැඩි පමණ වූ හෝ ප්‍රදේශය දියෙන් පිරී තිබෙයි. ඒ ඒ අතින් ජලකඳ ගලා බස්නේ ද වෙයි. පසු කලෙක දිය බස්නා සොරොව් විවෘත කොට කුඹුරුවල වැඩ කරනු ලබන කල්හි, ජලය බැස යාමෙන් ගොයම් පැසෙන කාලයේ දී වැවේ ජලය හොඳටම අඩු වෙයි. ඉක්බිති දින කීපයෙකින් වළවල පමණක් ජලය රඳා සිටුණේය. යම්තාක් කල් මේ වළවල්හි ජලය තිබේ නම්, ඒ තාක් කල් වැවේ ජලය ඇති බව කියයුතුය. යම්තාක් කලෙකින් ඒ වැවේ ජලය සිඳීයේ නම් එකලැ වැවේ ජලය නැතැ යි කියයුතුය.
මෙහි උපමා සංසන්දනය මෙසේ යි:
පළමුවෙන් වැසි වස්නා කල්හි ජල මාර්ග පසින් ජලය ඇතුළු වී ඇතුළත වූ වළවල් පිරීගිය කාලය මෙන් පළමුවෙන් ප්‍රතිසන්ධි ක්ෂණයෙහි මනොද්වාරික වේදනාව හෘදය වස්තුවෙහි පිහිටි කාලය දතයුතුය. නැවැත නැවැතත් වැසි වස්නා කල්හි ජලමාර්ග පසම පිරීගිය කාලය මෙන් පඤ්චද්වාරික වේදනාව ද්වාර සය ඇසුරු කොට පවත්නා කාලය දතයුතුය. වැවේ විසාල පෙදෙසක් ජලයෙන් යට වී ගිය කාලය මෙන් ජීවිතයේ පළමු වියෙහි ඇලීම් ගැටීම් මුළාවීම් වශයෙන් සියලු වේදනාවන්ගේ බලවත්ව පවත්නා කාලය දතයුතුය. වැවෙන් ජලය
නොනික්ම යනතාක් පුරා සිටුමෙන් වැවේ ජලය පවත්නා කාලය මෙන් පස් හැවිරිදි කාලයෙහි ඒ වේදනාවන්ගේ ප්‍රතිෂ්ඨා ලද[17] කාලය දතයුතුය. වැවේ සොරොවු මං හැර දැමූ කල්හි ගොවීන් කුඹුරු වැඩෙහි යෙදීමේ දී ජලය බැසයන කාලය මෙන් සැටහැවිරිදි කාලයේ පටන් වේදනාවන්ගේ පිරිහෙන කාලය දතයුතුය. මේ ජලය බොහෝ දුරට බැසගිය කල්හි ජල මාර්ගයන්හි මඳක් ජලය පවත්නා කාලය මෙන් අසූ හැවිරිදි අනූ හැවිරිදි කාලයෙහි පඤ්චද්වාරික වේදනාවේ මඳ කාලය දත යුතුය. වැව තුළ පිහිටි වළෙහි ම ජලය පිහිටි කාලය මෙන් හදවත් කෙළවර ඇසුරු කරගෙන මනොද්වාරික වේදනාව ම පවත්නා කාලය දතයුතුය. වැව් වළෙහි ජලය මඳක් හෝ තිබෙන තාක් වැවේ ජලය තිබේයයි කියයුතු කාලය මෙන් ඒ වේදනාව පවත්නා තාක් සත්ත්වයා ජීවත් වන්නේයයි කියයුතු කාලය දත යුතුය. වැව් වළෙහි සියලුම ජලය සිඳීගිය කල්හි වැවේ ජලය නැතැයි යම් සේ කියනු ලැබේද, එපරිද්දෙන් මනොද්වාරික වේදනාවද නොපවත්නා කාලයෙහි සත්ත්වයා මළේයයි කියනු ලබන කාලය බව දතයුතුය. මේ වේදනාව සඳහා “ජීවිත පරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිත පරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති” යි වදාළේ.[18]
මේ දේශනාවේ අවසානයෙහි දී භාග්‍යවතුන් වහනසේ සියලු වේදනාවන්ගේ අනභිනන්දිත[19] ව සීති භාවය[20] වන සැටි මෙසේ දේශනා කළ සේක.
“සෙය්‍යථාපි අස්සජි තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්‍ය තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අනාහාරො නිබ්බායෙය්‍ය, එවමෙව ඛො අස්සජි, භික්ඛු කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති, ජීවිත පරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිත පරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිත පරියාදානා ඉධෙව සබ්බ වෙදයිතානි සීතිභවිස්සන්තීති පජානාති.” යනුයි.
අස්සජියෙනි, තෙල්පහන, තෙලත් නිසා වැටියත් නිසා යම්සේ දැල්වේද, එහි තෙලත් වැටියත් ගෙවී යාමෙන් ප්‍රත්‍යය නැතිව යම්සේ නිවී යන්නේද, එසේ ම අස්සජි, භික්ෂුව..... මෙහි අදහස මුලින් සඳහන් කරන ලදී.
මෙනෙහි කිරීම නවතින්නා වූ තවත් අවස්ථා කීපයක්
භාවනා මනසිකාරයෙහි යෙදෙන යෝගාවචරයාහට මෙනෙහි කිරීම නියම ආකාරයෙන් පවත්වා ගැනීමට නොහැකිවීමේ පාඩුව හේතු කොටගෙන, සැදැහැ මුල්කරගෙන උපන් ප්‍රීතිය මතුවෙයි. එය වැඩි වැඩියෙන් දියුණුවට පත්වෙයි. බලවත් ප්‍රීතියට යටවීමෙන් දුබල වූ සිතක් ඇති කරගනියි. බොහෝ වේලාවක් ගෙවීයනතුරුත් යෝගාවචරයාට මෙය නොවැටහෙයි. මෙහිදී ද භාවනා වැඩ පිළිවෙල නැවතී යයි. කල්‍යාණ මිත්‍ර උපදේශයක් නොලැබුණොත් මේ පුද්ගලයාට සිදුවන්නේ බලවත් පරිහානියෙකි.
දහම් කොටස් එකින් එකට සිතින් ගැඹුරට සලකා බැලීමේදී, නුවණ ක්‍රියාවක් බවට පත්වෙයි. සැදැහැයේ මට්ටමට නුවණ පවත්වා ගතයුතු වෙයි. ධම්මවිචය සම්බොජේජ්ඣඞ්ගය දියුණුවට පත්කර ගැනීම මෙහි ඇති ප්‍රධාන අදහසයි. මෙය නැතිවීමේ පාඩුවෙන් සැදැහැ බලවත් වී යට සඳහන් අවුල සිදුවිය. විදර්ශනාවේ දී ප්‍රඥාබලය වැඩිවිය යුතු මුත් දෙකේ සමභාවය අර්ථ සිද්ධියට උපකාර වෙයි.
මෙසේ ම මැනවින් භාවනා මනසිකාරය පවත්වාගෙන යනකළ සමාධි බලය අධික වීමෙන් වීර්යයට, පසුබසින්නට සිදුවෙයි. ශරීරයේ කිසිදු වෙනසක් නොවී මනසිකාර සිත නැවතී යයි. එය එක්තරා නින්දකි. යෝගාවචරයාට එය නොදැනෙයි. ඒ අවස්ථාවේ දුටු සිහිනය පවා විදර්ශනා භාවනාවේදී ලැබෙන දර්ශන යැයි සලකාගෙන හෙතෙම කථා කරයි. මේ ථිනමිද්ධය බැලපෑම හේතුකොටගෙන භාවනා සිත හැංගී යන අයුරුය. මෙහි දී වීර්යය වැඩිකර ගතයුතුය.
ඇතැම් විටෙකදී නොනවත්වා භාවනාව කරගෙන යාමේදී කායික දුර්වලතාවන් හා වේදනාවේ අධිකතාවන් හේතුකොට ගෙනද යෝගාවචරයා මුර්ඡාවට පත්වෙයි. මේ ලෝකෝත්තර ඥානයෙක යන හැඟීම ද ඇතැම්හු ඇති කරගනිති. විරිය සමතාව මෙහිදී සාදාගත යුතුවෙයි. මේ ලීනතාවෙන් මෙන්ම උද්ධච්චයෙන්ද මෙනෙහි කිරීමේ ශක්තිය හීනවෙයි. මේ පිළිබඳ තවත් පැහැදිලි කිරීමක් ඉන්‍ද්‍රිය ධර්මයන්ගේ විස්තරයෙන් ලැබෙනු ඇත.
-
විඤ්ඤාණ ස්වභාවය, දැනෙන ගතිය ↑
-
ඇස ඇසුරු කොට පහළවන ස්පර්ශය ↑
-
චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව ↑
-
රූපයන් පිළිබඳ චේතනාව, හැඟීම ↑
-
කලකිරීම, ලෞකික දෙයින් තෘප්තියක් නොලබන බව ↑
-
විදර්ශනාදි ක්‍රියාවන් සංසිඳීමේ ඥානය ↑
-
අන්තිම සිත ↑
-
නොකඩවා පවත්නා විහරණය ↑
-
පැවැත්ම සඳහා කෙරෙන චලනයෙන් ↑
-
දැවිලි ↑
-
පැවැත්මෙන් තොර ↑
-
සං. නි. 111, 124. P.T.S. ↑
-
ඇස්, කන්, නාසාදි දොරටු පසට සම්බන්ධ ↑
-
මනෝද්වාරයෙන් හටගත් ↑
-
පිළිසිඳ ගැනීම ↑
-
හෘදය වස්තුව ↑
-
පිහිටීම ලද ↑
-
සං.නි. ↑
-
නොසතුටුව ↑
-
සිසිල් බව ↑