02 අර්ථකථා, අට්ඨකථා නොහොත් අටුවා

මෙකල අටුවා ග්‍රන්ථ සම්බන්ධව ද විවිධ මිත්‍යා මත පළවෙන බැවින් නුවණැතියන්ගේ විමසීම පිණිස මෙම කරුණු දක්වමු.

අටුවාව යනු කුමක්දැයි පළමුව දත යුතුය. යම් බුද්ධ දේශනාවක පෙළ එසේ නැතහොත් මාතෘකා දේශනාව පමණක් කියවීමෙන් එයින් බුදුරජාණන් වහන්සේ අදහස් කළ සම්පූර්ණ අර්ථය වටහාගැනීම අපහසුය. ඒ සඳහා එම දේශනාවේ අර්ථය ද දතයුතුය. ඒ බව අංගුත්තර පංචක නිපාතයේ ඛිප්පනිසන්ති සූත්‍රාදියෙහි දක්වා ඇත. එහි “අත්ථකුසලො හොති” යනු අර්ථය නිවැරදිව දන්නේය යන අර්ථයි. එසේ බුද්ධ දේශනාවේ නිවැරදි අර්ථය දක්වන දේශනාව අර්ථකථාවයි. මෙම අටුවාවන්හි ඇතැම් කොටස් බුදුරජාණන් වහන්සේ විසින්ම කළ දේශනායි. ඇතැම් කොටස් සාරිපුත්තාදී සම්මුඛ ශ්‍රාවක උතුමන්ගේ දේශනායි. ඊට අමතරව එම පුරාණ අටුවාවේ විසඳා නොතිබූ ප්‍රායෝගික ගැටළු වලට ඉන් පසු කාලයේ වැඩසිටි මහා ප්‍රාඥ රහත් උතුමන් වහන්සේලා ලබා දුන් විනිශ්චයන්ද දක්වා ඇත. නමුත් එබඳු විනිශ්චයන් අටුවාව ලෙස නොව ආචරිය අදහස් ලෙස පැහැදිලිව වෙන් කර දක්වා ඇත. ඊට අමතරව සැසඳීම සඳහා වෙනත් වැරදි මතවාදත්, කරුණු පැහැදිලි කිරීම සඳහා කථා වස්තුත් දක්වා ඇත. ඒවා මහාසංඝරත්නයේ අනුමැතිය ඇතුව අටුවාවන්ට ඇතුලත් කළ බව “යානි පනෙත්ථ වත්ථූනි, තානි සීහළදීපෙ ආචරියෙහි සඞ්ඝාදීනමනුමතියා අට්ඨකථාසු පක්ඛිත්තානි” යැයි වජිරබුද්ධි ටීකාවේ පැහැදිලිව දක්වා ඇත. තවද ඒ සියල්ල ඉතා පැහැදිලිව පුරාණ අටුවාවෙන් වෙන්කර දක්වා ඇත. ගුරුන් ඇසුරු කර පුරාණ සම්ප්‍රදායානුකූලව අටුවා උගත් කෙනෙකුන්ට මෙම මත වෙන්කර ගැනීමට හෝ පිළිගතයුතු මතය කුමක්දැයි තෝරා ගැනීමට හෝ අපහසුවක් නැත. ඊට අවශ්‍ය න්‍යායන් අටුවාවේම දක්වා ඇති බැවිනි. ඒ සඳහා උදාහරණයක් අපි මෙසේ දක්වමු. මත කීපයක් දක්වා ඇති විටෙකදී අවසන් මතයම ප්‍රාමාණික බව “යථා චෙත්‌ථ, එවං සබ්‌බත්‌ථ යො යො අට්‌ඨකථාවාදො වා ථෙරවාදො වා පච්‌ඡා වුච්‌චති සො පමාණතො දට්‌ඨබ්‌බො.” යැයි විනය අටුවාවේ දක්වා ඇත. එබැවින් නියම ක්‍රමයට ධර්මය හදාරන අයට ඉහත දැක්වූ වැරදි මත ඇති නොවන බවත් අටුවාවේ ඇති අතිශයෝපකාරිත්වය හා වටිනාකම තේරුම් ගැනීමට හැකි බවත් හේතුසාධක ඇතිව මෙසේ දන්වා සිටිමු.

බුද්ධකාලයේ පටන් මුඛ පරම්පරාවෙන් රැකගෙන අවුත් මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට ලැබුණු එම අටුවා වෙනත් වැරදි මත හා මිශ්‍ර නොවී පැවතීම සඳහා සිංහල භාෂාවෙන් රැකගෙනවිත් බුද්ධවර්ෂ 433 දී[1] මාතලේ අළුලෙනේ පැවති හතරවන ධර්ම සංගායනාවේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් අනතුරුව, චතුපටිසම්භිදා - ෂඩ් අභිඤ්ඤා ලාභී වූ අටුවා සහිත පිටකත්‍රය ධාරී වූ මහරහත් උතුමන් වහන්සේලා 500 නමක් විසින් ග්‍රන්ථාරූඪ කරනලදි. බුද්ධවර්ෂ 953 දී පමණ ලක් දිවට වැඩම කළ මහාප්‍රාඥ වූ අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ඇදුරුපාණන් වහන්සේ විසින් නැවතත් එම සිංහල අටුවා විදේශීය ධර්මකාමීන්ගේ ප්‍රයෝජනය පිණිසත්, නිකායාන්තර මත හා මිශ්‍රවීම වලකනු සඳහාත් පාළි භාෂාවට නගන ලදි. එහිදී කරුණු පැහැදිලි කිරීම සඳහා මහා ප්‍රාඥ වූ පිටකත්‍රය ධර වූ පුරාණ තෙරුන් වහන්සේලාගේ මත හා කථා වස්තු ද ඇතුලත් කරන ලදි.

එබැවින් දැනුත් අප සතුව ඇත්තේ කරුණු පැහැදිලි කිරීම සඳහා දැක්වූ ථේරවාද හා කථා වස්තූන්ගෙන් අලංකාර කරන ලද බුද්ධකාලයේ පටන් පැවති අටුවාම බව තේරුම් ගත යුතුය. බුදුරජාණන් වහන්සේ විසින් දුන් න්‍යායන් අනුව දේශිත බැවින් මධුපිණ්ඩික සූත්‍රාදිය බුද්ධභාෂිත වූවාක් මෙන් මෙම අටුවාවද බුද්ධභාෂිත බවට පත්වේ. බුදුරජාණන් වහන්සේගේ න්‍යායන්ගෙන් තොරව මෙම අර්ථ විවරණ කළ නොහැකි බැවිනි. ඒ බව “වුත්‌තොති පාළිතො ච අත්‌ථතො ච බුද්‌ධෙන භගවතා වුත්‌තො. න හි භගවතා අබ්‍යාකතං නාම තන්‌තිපදං අත්‌ථි, සබ්‌බෙසංයෙව අත්‌ථො කථිතො, තස්‌මා සම්‌මාසම්‌බුද්‌ධෙනෙව තිණ්‌ණං පිටකානං අත්‌ථවණ්‌ණනාක්‌කමොපි භාසිතොති දට්‌ඨබ්‌බං. තත්‌ථ තත්‌ථ භගවතා පවත්‌තිතා පකිණ්‌ණකදෙසනායෙව හි අට්‌ඨකථා.

(“වදාරණ ලද්දේය යනු පෙළ වශයෙන්ද අර්ථ වශයෙන් ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ තන්තිපදයක් (දහම්පදයක්) නම් නැත. සියල්ලන්ගේම අර්ථය වදාරණ ලද්දේය. එබැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම ත්‍රිපිටකයේ අර්ථවර්ණනා ක්‍රමය ද වදාරණ ලද්දේ යැයි දතයුතුයි. ඒ ඒ තැනදී භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද ප්‍රකීර්ණක දේශනාවම අට්ඨකථා නම් වේ.)[2]යැයි එක් වරක් ඇසූ පමණින් බණවර හතරකටත් වඩා ඒකශ්‍රැතියෙන් දැරීමට තරම් මහාප්‍රාඥ වූ පුරාණ ටීකා ඇදුරුවරු ද දක්වා ඇත.

  1. සාසනවංස නම් ඉතිහාස ග්‍රන්ථය අනුව

  2. සාරත්ථදීපනී විනය ටීකා