අටුවා ගැන වංසකථා වල දැක්වෙන අයුරු

star_outline

පිටකත්‌තයපාළිඤ්‌ච, තස්‌ස අට්‌ඨකථම්‌පි ච;

මුඛපාඨෙන ආනෙසුං, පුබ්‌බෙ භික්‌ඛූ මහාමති.

පෙර වැඩසිටියා වූ මහාප්‍රාඥ භික්ෂූන් වහන්සේලා (ත්‍රිපිටකය දරාගෙන පැමිණි මහරහත් උතුමන් වහන්සේලා) ත්‍රිපිටක පාලියත් ඒ ත්‍රිපිටකයේ අටුවාවත් මුඛපාඨ වශයෙන් (කටපාඩමින්) රැගෙන ආ සේක්හ. (මහාවංස පරිවර්තනය)

හානිං දිස්‌වාන සත්‌තානං, තදා භික්‌ඛූ සමාගතා;

චිරට්‌ඨිතත්‌ථං ධම්‌මස්‌ස, පොත්‌ථකෙසු ලිඛාපයුං.

එකල්හි සත්වයින්ගේ හානිය (අනාගතයෙහි නුවණ අඩුවන බව) දැක, ධර්මයේ චිරස්ථිතිය පිණිස පුස්තකයන්හි ලියවූ සේක්හ. (මහාවංස පරිවර්තනය)

සීහළාට්‌ඨකථා සුද්‌ධා, මහින්‌දෙන මතීමතා;

සංගීතිත්‌තයමාරූළ්හං, සම්‌මාසම්‌බුද්‌ධදෙසිතං.

සාරිපුත්‌තාදිගීතඤ්‌ච, කථාමග්‌ගං සමෙක්‌ඛිය;

එකා සීහළභාසාය, සීහළෙසු පවත්‌තති. (මහාවංස)

සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, සංගීති තුනට නැංවුනා වූ, මිහිඳු මහ රහතන් වහන්සේ විසින් (ශ්‍රී ලංකාවට) ගෙන යන ලද, සාරිපුත්ත මහරහතන්වහන්සේ ආදී අටුවාචාරී මහරහත් උතුමන්ගේ වාචනා මාර්ගය ද බලා (ඒ අනුව තැබූ) පිරිසිදු වූ සිංහල අටුවාව එකක් වූ සිංහල භාෂාවෙන් (සිංහලෙන් පමණක්) සිංහලයන් කෙරෙහි පවතී. (මහාවංස පරිවර්තනය)