අටුවා පැවතීම නිසා සුරැකුණු අර්ථ එම අටුවා නොතිබෙන්නට මේ වන විටත් විනාශ වී ගොස්ය. විවිධ අය තම තමන්ට කැමති පරිදි පද වල අර්ථ තෝරනු ඇත. අටුවා නොතිබෙන්නට පෙළ පොත් පිළිබඳ පවා විශ්වාසය ගිලිහී යන බව පහත කරුණු අනුව නුවණැත්තෝ සිතා බලත්වා.
1. බොහෝ සූත්‍ර දේශනා ආරම්භයේම ඇති “එවං මෙ සුතං” “මා විසින් මෙසේ අසන ලදි” යන පාඨය ආනන්ද මහ රහතන් වහන්සේගේ ප්‍රකාශයක් බව කියන්නේ අටුවාවේය. එය නොවන්නට “මේවා පසුකලෙක කවුරුන් හෝ තමාට ඇසුණු ජනප්‍රවාද අනුව ලියූ ග්‍රන්ථ” යැයි අන්‍යාගමිකයෝ චෝදනා කරනු ඇත. එය වළකින්නේ අටුවාව නිසයි.
2. රතනසූත්‍රාදී ඇතැම් සූත්‍ර වලත්, ධම්මපද, ජාතකදේශනා ආදී ඇතැම් ගාථා වලත් නිදානකථා, පද වල අරුත් ආදී කරුණු දක්වා ඇත්තේ අටුවාවේය. අටුවාවෙන් තොරව මේ කිසිවක දේශනා කිරීමේ හේතුව, දෙසුවේ කවුද, කාටද, කොහේදිද යනාදී කිසි තොරතුරක් දැනගත නොහැකිය.
3. සම්මුති - පරමාර්ථ, නාම - රූප, ස්කන්ධ - ආයතන - ධාතු - දෙවිසි ඉන්ද්‍රිය - චතුරාර්ය සත්‍ය - පටිච්චසමුප්පාද ආදී ගැඹුරු කරුණු වල අර්ථ ප්‍රකට කරන්නේ අටුවාවෙනි. අටුවාවන්ගෙන් තොරව මෙබඳු බොහෝ තැනක අරුත් ගත නොහැක. මෙකල බොහෝ දෙනෙක් මෙම අරුත් පටලවා ගන්නේ අටුවා-ටීකා භාවිත නොකිරීම හා ඒවා භාවිතයට නොදන්නා නිසාවෙනි. තමන් ගන්නා වැරදි අදහස තවත් බුද්ධදේශනා සමග එකඟ නොවන බව ඇතැමුන්ට තේරුම් යන්නේ කලක් ගතවන විටය. එවිට තමාගේ තත්වය රැකගැනීමට එම බුද්ධදේශනා ද ප්‍රතික්‍ෂේප කිරීමට තරම් ඇතැම්හු සැහැසි වෙති. මෙයින් අපමණ අකුසල් රැස්කොට ගෙන අපාගාමී වෙති. එබැවින් පුරාණ උතුමන් දැක්වූ අයුරින් අරුත් විමසා බලන්නේ නම් මෙබඳු ගැටලු සියල්ල විසඳෙනු ඇත.
4. “සබ්බිත්ථියො කරෙ පාපං ලභමානෙ නිවාතකෙ” (ඉඩක් ලබන කල්හි සියලු ස්ත්‍රීහු පවු කරන්නාහුය) යනාදී ජාතක ගාථා අනුව රහත් භික්‍ෂුණීන් වහන්සේලාත් මෙසේදැයි අන්‍යාගමිකාදීන්ට වාදකළ හැකිය. නමුත් මෙහි අටුවාවේ දක්වන්නේ “සබ්‌බිත්‌ථියොති ඨපෙත්‌වා විපස්‌සනාය තනුකතකිලෙසා සෙසා සබ්‌බා ඉත්‌ථියො පාපං කරෙය්‍යුං.” (සබ්බිත්ථියො යනු විපස්සනාවෙන් කෙලෙස් තුනීකළ ස්ත්‍රීහු හැර සෙසු ස්ත්‍රීහු පවු කරන්නාහ) යනුවෙනි. “සබ්බෙ තසන්ති දණ්ඩස්ස” ආදී ගාථාවන්හි ද මෙබඳු විග්‍රහ දක්වා ඇත. මෙබඳු අටුවා පාඨ නොවන්නට බොහෝ දහම්පාඨ විකෘති කරමින් අරුත් දක්වනු ඇත.
5. දෙවන පරිජි සිකපදයේ දක්වන පාදය යනු කුමක්ද? එහි වටිනාකම කීයද? යනාදී ගැටලු විසඳෙන්නේ අටුවා හා ටීකා වලිනි.
6. විනයපිටක මහාවග්ග පාළියෙහිදී සීමා සඳහා නිමිති අනුදැනීමේදී පබ්බතනිමිත්ත, පාසාණනිමිත්ත ආදී නිමිති අටක් දක්වන අතර එයින් පබ්බත හා පාසාණ යන දෙකේ වෙනස දතහැකි වන්නේ අටුවාවෙන් හා ටීකා වලිනි. සෙසු නිමිති පිළිබඳව ද කිය යුත්තේ මෙබඳු වූම දෙයකි. මෙබඳු තැන් වෙන්කර දේශනාකිරීමට බුදුරජුන් හැර වෙන කිසිවෙක් සමත් නොවේ. එබැවින් මෙබඳු දේශනා ඒකාන්තයෙන් බුද්ධදේශනාම බව සැලකිය යුතුය.
7. විතක්කසණ්ඨාන සූත්‍රයේදී යෝගීන්ට ඇතිවන අකුසල් විතර්ක දුරුකර ගැනීමට උපදෙස් දෙන භාග්‍යවතුන් වහන්සේ “ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛුනො යං නිමිත්‌තං ආගම්‌ම යං නිමිත්‌තං මනසිකරොතො උප්‌පජ්‌ජන්‌ති පාපකා අකුසලා විතක්‌කා ඡන්‌දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්‌ඛවෙ, භික්‌ඛුනා තම්‌හා නිමිත්‌තා අඤ්‌ඤං නිමිත්‌තං මනසි කාතබ්‌බං කුසලූපසංහිතං.” යනාදී ලෙස උපදෙස් දෙන සේක. (යම් භික්‍ෂුවකට යම් නිමිත්තක් මෙනෙහි කිරීමේදී අකුසල් විතර්ක ඇතිවේද, එයින් අන්‍ය වූ කුසල් විතර්කයක් මෙනෙහි කළ යුතුය යනු එහි සරල අර්ථයයි).
මෙහිදී සියලු කුසලධර්ම සියලු අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ බැවින් කුමක් හෝ කුසලයක් මෙනෙහි කලහැකි නමුත් සවිඤ්ඤාණක (පණ ඇති) දේකට රාගයක් ඇති වූ විට අසුභ මනසිකාරයත්, එබන්දකට ද්වේෂය ඇති වූ විට මෛත්‍රී මනසිකාරයත්, අවිඤ්ඤාණක දේකට ඇල්ම ඇතිවිට අනිත්‍ය සඤ්ඤාවත් එබන්දකට ගැටීම ඇති විට ධාතුමනසිකාරයත් කුමන දේකට හෝ මෝහය අධික විට “ගරූසංවාසො” (ගුරුන් ඇසුරු කිරීම) ආදී කරුණු පහක් පිළිපැදීමෙන් එය දුරුවන බවත් ඒ එකිනෙකක් සිදුකරන අයුරුත් ඉතා පැහැදිලිව අටුවාවේ දක්වා ඇත. බුදුරජුන්ගේ න්‍යායන්ගෙන් තොරව කිසිසේත් මෙබඳු උපදෙස් ලබාදිය නොහැකි බැවින් මෙබඳු අටුවා පාඨ සියල්ල බුද්ධදේශනාම බව දතයුතුය.
8. අටුවා නැති නම් ධුතංග සමාදානාදිය නිවැරදිව කළ නොහැක, කසිණ වැඩීමාදිය ද නිවැරදිව කළ නොහැක, ඒවායේ විස්තර ඇත්තේ අටුවාවන්හි බැවිනි.
තවත් මෙබඳු තැන් අතිවිශාල ප්‍රමාණයක් මුළු ත්‍රිපිටකය පුරාම දක්නට ඇත. නමුත් නුවණින් විමසන්නන්ට මෙපමණක් සෑහෙන්නේ යැයි සිතමු. දැනටත් වෙනත් බෞද්ධ රටවල පිරිස් ශ්‍රී ලංකාවට ගරු කිරීමට එක් හේතුවක් වන්නේ සියලු පෙළ, අටුවා ග්‍රන්ථත් බොහෝ ටීකා ග්‍රන්ථත් මෙරට වැඩසිටි උතුමන් අතින් ලියැවුණු බැවිනි. අටුවා සහිත ත්‍රිපිටකය කටපාඩමින් ධරාගෙන පැමිණි උතුමන් වන දීඝභාණක අභය, ත්‍රිපිටක චූලාභය, ත්‍රිපිටකචූළනාග, මජ්ඣිමභාණක දෙව ආදී ක්‍ෂීණාශ්‍රව උතුමන්ගේ විශ්මයජනක ප්‍රඥාදී ගුණ අටුවාවන්ගෙන් ප්‍රකට වීමාදිය මෙම ගෞරවය ඇතිවීමට තවත් හේතුවකි. එසේ අප රටට අන්‍යයන්ගේ ගෞරවය ගෙනදුන් අටුවා අප රටේ අය අතින්ම පහරකෑමට ලක්වීම කෙතරම් ඛේදජනකදැයි සිතාබලත්වා.