අතිපූජනීය පරවාහැර වජිරඤාණ මාහිමිපාණන් වහන්සේ
ශතවර්ෂ ගණනකින් පසු ග්‍රන්ථාරූඪ වූ ධර්මවිනය පිළිබඳ කවර විවේචනයකදී වුවත් පූර්වාචාර්යයන් විසින් අනුගමනය කරන ලද ආප්තවචනය හා තදර්ථකථා ද ප්‍රමාණ වශයෙන් ගත යුතුය. ඒ ප්‍රමාණයන් නොදැන හෝ නොගෙන තර්කයෙන් හෝ ‘මෙය මෙසේ වන්නට ඇත’ යන ‘ඉති-කිරා’වෙන් හෝ ධර්මවිනය විනිශ්චය කිරීමෙන් නැගෙන වාදයෝ අහේතුකවිවාද වනු මිස සහේතුක වාදයෝ නොවෙති. [1]
අතිපූජනීය ලබුගම ලංකානන්ද මාහිමිපාණන් වහන්සේ
එහිදී ස්ථවිරභික්‍ෂූහු ඒ ධර්මවිනය පිටකාදි වශයෙන් විභාගකොට සඞ්ගායනාවට නැගූහ. මෙසේ පාලිධර්මය සඞ්ගායනා කොට භාග්‍යවතුන් වහන්සේ විසින් ම ඒ ඒ තැන්හිදී වදාළ ප්‍රකීර්ණක ධර්මකොට්ඨාශයන් ගෙන ත්‍රිපිටක අර්ථකථාව ද සඞ්ගායනා කළහ. එහෙයින් සියලු අර්ථකථා තථාගතයන් වහන්සේ විසින් වදාළාහු යයි සැලකිය යුතුයි.[2]
අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මාහිමිපාණන් වහන්සේ
මේ විනය පිටකය පුහුණු කරන්නවුන්ගේ පහසුව තකා සංගීතිකාරක මහරහතුන් විසින් තැබූ අර්ථවාචනා මාර්ගය මිහිඳු මහරහතුන් විසින් ලක්දිවට ගෙනෙන ලදුව විනයාචාර්ය පරම්පරායෙහි ආයේය. කලකට පසු ගැටලු තැන් ලිහීම් විසින් කැරුණු වර්ණනා සහිතව ඒ අර්ථකථා ග්‍රන්ථාරූඪ විය. එයින් මෑත බුදුගොස් තෙරණුවන් විසින් ඒ පැරණි හෙළ අටුවා ඇසුරු කොට පාළියෙන් සමන්තපාසාදිකා විනයත්ථ වර්ණනාව ද, තවත් ඇදුරන් විසින් එයට සාරත්ථදීපනී, විමතිවිනෝදනී, වජිරබුද්ධි යන තුන් ටීකා ද උභයපාතිමොක්ඛයට බුදුගොස් තෙරුන් විසින් කංඛාවිතරණිය ද එයට අන් තෙරකෙනෙකුන් කළ විනයත්ථමංජුසා ටීකාව ද විනය පිටකයෙහි ආ දෑ විස්තර කැරුම් විසින් කරන ලදහ. එයින් පසු තවත් ඇදුරෝ විනයවිනිච්ඡය, පාළිමුත්තක විනයවිනිච්ඡය, විනයසංගහ, මූලසික්ඛා, ඛුද්දකසික්ඛාදී තවත් ග්‍රන්ථ රචනා කළහ.[3]
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ
1. ඈත අතීතයේ එතරම් සුලභව බුද්ධප්‍රතිමා නොතිබුණත් ඒවා තුබුණු බව අටුවා පොත් වලින් පෙනේ. අටුවා ද බුදුන් වහන්සේ වැඩසිටි කාලයේ පටන්ම පැවැත්තේය.
මිහිඳු මාහිමියන් විසින් මේ දිවයිනට ගෙනා අටුවා සිංහලට නඟා තුබුණේය. කල් යාමෙන් දඹදිව තුබූ අටුවා අභාවප්‍රාප්ත විය. එබැවින් බුදුගොස් මාහිමියෝ මේ දිවයිනට පැමිණ සකල ලෝකයාගේම ප්‍රයෝජනය සලකා නැවත ඒ හෙල අටුවා පාලි භාෂාවට පරිවර්තනය කළහ. ඒවා විදේශ වලට ගිය බැවින් අද දක්වා නොනැසී පවතී. විදේශවලට නොගිය බැවින් හෙල අටුවා මෙහිම අභාවප්‍රාප්ත විය. දැනට පවත්නා පාලි අටුවා පසු කලෙකදී බුදුගොස් හිමියන් විසින් ලියන ලද ඒවා වුවත් බුද්ධකාලයේ පටන්ම පැවැති පැරණි අටුවා බව කිය යුතුය. රහතන් වහන්සේලා වැඩ විසූ ඈත අතීතකාලයේ බුදුපිළිම නොතිබුණා නම් අටුවාවල බුදුපිළිම ගැන සඳහන් නොවිය හැකිය.[4]
2. මෙසේ අටුවා-ටීකා වල නොයෙක් තැන්වල දායකයන් විසින් කලින් කපා, මසා, පඬුපොවා පුදන ලද චීවරය ද කඨිනයට සුදුසු බව දක්වා තිබෙන්නේ “න අඤ්ඤත්‍ර .....අත්ථතං හොති කඨිනං” යන බුද්ධවචනය තේරුම් ගන්නට නුපුළුවන් වීමෙන් හෝ වරදවා තේරුම් ගැනීමෙන් හෝ නොව, එහි අර්ථය බුදුන් වහන්සේගේ අදහසේ හැටියට හරියටම තේරුම් ගැනීමෙනි.
මේ අටුවාටීකාවන් ලියා තිබෙන්නේ ද මෙකල මෙන් භික්ෂූන් විනයට එතරම් ගෞරවයක් නොදක්වන, විනය පොත-පත භාවිත නොකරන කාලයකදී නොව, ඉතා ආදරයෙන්-ගෞරවයෙන් විනය සිකපද අකුරටම පිළිපදින, විනය උගෙනීම-උගැන්වීම ආදරයෙන් කරන භික්ෂූන් විසූ කාලයේදීය...........
“කඨිනය සඳහා කලින් මැසූ සිවුරු ගතයුතු බවක් බුද්ධදේශනාවේ නැත. එය අටුවා මතයකැ”යි ඇතැම් කෙනෙක් කියති. විනය පිළිබඳව අටුවා මතයය-බුද්ධමතයය කියා දෙකක් නැත්තේය. විනය අඩු-වැඩි කිරීමේ හෝ වෙනස් කිරීමේ බලයක් අටුවාචාරීන්වහන්සේලාට නැත. උන් වහන්සේලා බුද්ධමතයට විරුද්ධ දෙයක් නො පවසන්නාහ. අටුවාවෙන් කරන්නේ ඒ ඒ කරුණු පිළිබඳ වූ බුද්ධමතය පැහැදිලි කිරීමය.[5]
3. සංක්‍ෂේපයෙන් විනය පිටකයෙහි දැක්වෙන බොහෝ කරුණු ඒ ග්‍රන්ථ වලින්ම තේරුම් ගත නොහෙන බැවින් බුද්ධමතය තේරුම් ගැනීමට සමත් මහාකාෂ්‍යපාදී මහරහත්හු එයට අර්ථවර්ණණාවක් ද තැබූහ. අටුවාවය යි කියනුයේ ඒ අර්ථවර්ණණාවටය. එය බුදුරජාණන් වහන්සේගේ ‘ප්‍රකීර්ණක දේශනාවය’යි ද කියා ඇත. එබැවින් ඒ අර්ථකථාවත් විනයපාළිය සේම ගරු කළ යුතුය........
විමතිවිනෝදනී ටීකාවය, සාරත්ථදීපනී ටීකාවය, වජිරබුද්ධි ටීකාවය කියා සමන්තපාසාදිකාවේ (විනය අටුවාවේ) දුර්බෝධ තැන් විස්තර කරන ටීකා ග්‍රන්ථ තුනක් ඇත්තේය. සිංහල තෙරවරුන් විසින් ඒ පොත් (විනයටීකා) සිංහලයෙන් නොකර පාළිභාෂාවෙන් ම සපයා ඇත්තේ විනය වර්ණනාවට යෝග්‍ය භාෂාව පාළිභාෂාව වන නිසාය. .........
ග්‍රන්ථප්‍රමාණයෙන් විශාලවූ ද ගැඹුරු වූ ද මේ විනය, දැනගැනීම පිණිස අටුවාටීකා සහිත විනය පිටකය විනය විශාරද ආචාර්යවරයන් ඇසුරු කරමින් පරිශීලනය කළ යුතුය.[6]
අතිපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ
පුරාණාචාර්යයන් වහන්සේ මුළු ත්‍රිපිටකය ආරක්‍ෂා කැරැ ගෙන ආවේ කටපාඩමින්ය. ප්‍රථම ධර්මසංගායනාවෙහි විනයට මුල් වූයේ උපාලි මහරහතන් වහන්සේය. උන්වහන්සේගේ ශිෂ්‍ය ප්‍රශිෂ්‍යයෝ තෙවැනි ධර්මසංගායනාව දක්වා විනය පිටකය ආරක්‍ෂා කැරැ ගෙන ආහ. .......
තෙවැනි ධර්මසංගායනාවෙන් පසු මහරහතන් වහන්සේ ධර්මදූත සේවයක් සම්මත කළහ. ඒ අනුව හෙළදිවට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පස් නමකි. උන්වහන්සේලා වාචෝද්ගත කොට ගෙන ආ ත්‍රිපිටකය සිංහල භික්‍ෂූන්ට පෙළ බසින්ම ඉගැන්වූවා. අටුවා නමින් ගෙන ආ විස්තර කථා හෙළ බසින් ඉගැන්වූවා. .....
හෙළදිවැ භික්‍ෂූන් දඹදිවින් පැමිණි භික්‍ෂූන් ඉගැන්වූ අටුවා නමින් පැවති ධර්ම විස්තරය හෙළ බසින් වහරණ ලද හෙයින් හෙළ අටුවා නමින් පළ විය. මහපඬි බුදුගොස් මාහිමියන් වහන්සේ පසුව හෙළ අටුවා පෙළ බසට නගන ලදුව අද තිබෙන අට්ඨකථා පහළ විය. ..
පාළියෙහි ගැඹුරු එහෙයින්ම නො පැහැදිලි ධර්මවිනය පද පැහැදිලි කැරැ දීම අටුවා කළ සේවයයි. අටුවාවන්හි නොපැහැදිලි ධර්මවිනය පැහැදිලි කැරැ දීමට ටීකා නමින් ග්‍රන්ථ සමූහයක් පහළ විය. එයින් සාරත්ථදීපනී විනය ටීකාව හැමට වඩා විශාල වේ. විනය අටුවාවට විමතිවිනෝදනී ටීකා, වජිරබුද්ධි ටීකා නමින් තවත් ටීකා දෙකක් ඇත. ගැටපද ද ඇත.[7]
අතිපූජනීය බෙන්තර සද්ධාතිස්ස මාහිමිපාණන් වහන්සේ
මේ පොත වනාහි අර්ථකථාචාර්ය අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්වාමින්ද්‍ර ප්‍රණීත “විසුද්ධිමග්ග, විසුද්ධිමග්ගට්ඨකථා, විසුද්ධිමග්ගට්ඨකථා පාළි” යන අභිධානාන්තරයන්ගෙන් සමස්ථ බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රචලිත ප්‍රශස්තතර මහා ග්‍රන්ථරත්නයත් තදර්ථවර්ණනා ද්වාරයෙන් ...... ප්‍රතිපාදිත මහා සන්‍යයත් යන මහා ග්‍රන්ථ ද්වය එකතු කිරීමෙන් සකස් කොට මුද්‍රණයෙන් ප්‍රසිද්ධියට පමුණුවන ලද්දෙකි.[8]
අතිපූජනීය පමුණුවේ බුද්ධදත්ත මාහිමිපාණන් වහන්සේ
සිරිමතා තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධෙන ...... සකලනවඞ්ගපරියත්තිසාසනස්ස අත්ථප්පකාසනද්වාරෙන සයඤ්චෙව නිජසාවකෙහි ච ධම්මසෙනාපති - සාරිපුත්තත්ථෙර - පමුඛෙහි පටිසම්භිදාප්පත්ත - මහාඛීණාසවෙහි නිද්දෙස - පටිනිද්දෙස - විභඞ්ග - පදභාජනීයවසෙන තත්ථ තත්ථ පකාසිතා පකිණ්ණකවිනිච්ඡයකථා සඞ්ඛාතා දෙසනා අට්ඨකථා නාමෙන ධම්මසඞ්ගාහකෙහි මහාකස්සප - මහාඛීණාසවප්පමුඛෙහි පඤ්චසතාරහන්තෙහි සඞ්ගීතිමාරොපිතා සමානා සිරිජම්බුදීපෙ යාව තතියසඞ්ගීති ආචරියපරම්පරාභතා....
(සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් .... සියලු නවාංග පරිත්ති සාසනයේ අර්ථ ප්‍රකාශනද්වාරයෙන් තමන් වහන්සේ විසින්මත් නිජශ්‍රාවක වූ ධර්ම සේනාපති සැරියුත් මහතෙරුන් ප්‍රමුඛ ප්‍රතිසම්භිදාප්‍රාප්ත මහාක්‍ෂීණාශ්‍රව උතුමන් විසිනුත් නිර්දේශ, ප්‍රතිනිර්දේශ, විභංග, පදභාජනීය වශයෙන් ඒ ඒ තැනදී ප්‍රකාශ කළ ප්‍රකීර්ණක විනිශ්චයකථා සංඛ්‍යාත දේශනාවෝ අර්ථකථා නාමයෙන් මහාකාශ්‍යප මහරහතුන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් ධර්මසංග්‍රාහක මහරහතුන් වහන්සේලා විසින් සංගායනාවට නංවන ලදුව දඹදිවෙහි තෙවන සංගායනාව දක්වා පරම්පරාවෙන් ගෙනෙනා ලද්දේය.)[9]
අතිපූජනීය ඉඳුරුවේ උත්තරානන්ද මාහිමිපාණන් වහන්සේ
මෙහි කර්තෘවරයෝ අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්වාමීහු වෙති...
මේ විශුද්ධිමාර්ගය වනාහි හෙළ අටුවා මැනැවින් ඉගෙන මහාවිහාරිකයන්ගේ සුවිශුද්ධ විනිශ්චය මැනැවින් දැනැ හෙළ බසින් පැවැති මහ අටුවාවෙහි ගැබ් වූ කරුණු උපයෝග කොට ගෙන ගුරුමුඛයෙන් හා මහවෙහෙරැ වැසි උගත් තෙරවරුන්ගෙන් අසා දැනගත් ඇතැම් මහතෙරවරුන් හා උවැසු උවැසියන් පිළිබඳ කථාප්‍රවෘත්තීන් ඒ ඒ තැනට සාධක වශයෙන් ඇරැපාමින් මහවෙහෙරැ වැසි සංඝයා ශක්ති විමසනු සඳහා ඉදිරිපත් කළ “අන්තො ජටා බහි ජටා” යනාදී ගාථා දෙක මාතෘකා කොට ගෙන අනුබුදු බුදුගොස් මාහිමියන් විසින් ස්වබුද්ධි වෛභව්‍යය ද විදහා පාමින් සම්පාදනය කරන ලද චතුරාගම සංවර්ණනාශේෂ ග්‍රන්ථයෙකි......... මෙසේ මේ ග්‍රන්ථය සැපයීමෙන් බුදුගොස් හිමියෝ තමන්ගේ පරිවර්තන ශක්තිය ද, පරමත දූෂණයෙහි හා ස්වමත භූෂණයෙහි පොහොසත් බව දැක්වීමෙන් මහාවිහාරිකයන්ගේ මත මැනැවින් ඉගෙන එහි ස්ථිරවැ පිහිටා සිටින බවට ප්‍රතිඥාප්‍රදානය ද හෙළ අටුවා පාළියට පෙරැළීමෙන් මහාවිහාරික මතය මැනැවින් සංරක්‍ෂණය වී දේශාන්තරයෙහි පවා පැතිරී යන අයුරු ද හෙළි කළහ. කරුණු මෙසේ හෙයින් මහාවිහාරිකයන්ගේ සම්පූර්ණ විශ්වාසය දිනාගැනීමට බුදුගොස් හිමිතුමන් සමර්ථ වූයේ මේ විශුද්ධිමාර්ගයෙහි එයට සරිලන ශක්තිය අනූනවැ පවත්නා බැවිනි.[10]
-
විනය මහවග සඤ්ඤාපනය XXV පිටුව ↑
-
ප්‍රපඤ්චදීපිකා නම් මජ්ඣිමනිකාය අටුවා පරිවර්තනය සඤ්ඤාපනයේ II පිටුව ↑
-
කුදුසික විවරණය 1953 (වැලිගම සිරි ඤාණරතන මහනාහිමි) ප්‍රස්තාවනාව ↑
-
ධර්මවිනිශ්චය 29 -30 පිටු ↑
-
විනයකර්ම පොත 101 පිටුව (1997 මුද්‍රණය) ↑
-
උපසම්පදා ශීලය පොත 22-23 පිටු (6 වන මුද්‍රණය) ↑
-
කුදුසික විවරණය 1953 (වැලිගම සිරි ඤාණරතන මහනාහිමි) හැඳින්වීම ii ↑
-
මහාසන්‍ය සහිත විශුද්ධිමාර්ගය 1949, i පිටුව ↑
-
විසුද්ධිමග්ග (හේවාවිතාරණ මුද්‍රණය 1920) සඤ්ඤාපනය ↑
-
විස්තරාර්ථ සන්න සහිත විශුද්ධිමාර්ගය 2004 (මාතර ධර්මවංශ හිමි) ප්‍රස්තාවනාව iv, xi පිටු ↑