අටුවා යනු මොනවාදැයි පැරණි උතුමන් වහන්සේලා පහත මෙසේ දැක්වූ සේක.
දීඝස්‌ස දීඝසුත්‌තඞ්‌කිතස්‌ස, නිපුණස්‌ස ආගමවරස්‌ස;
බුද්‌ධානුබුද්‌ධසංවණ්‌ණිතස්‌ස, සද්‌ධාවහගුණස්‌ස.
දීර්ඝ සූත්‍රයන්ගෙන් අංකිත වූ පටිච්චසමුප්පාදාදී ඉතා සියුම් කරුණු වලින් යුතු බැවින් නිපුණ වූ, ශ්‍රද්ධාව උපදවන ගුණයෙන් යුතු වූ, බුදුරජුන් විසිනුත් අනුබුද්ධ නම් වූ අග්‍රශ්‍රාවකාදී ආර්යන් වහන්සේලා විසිනුත් සංවර්ණනා කරනා ලද දීඝනිකායේ
අත්‌ථප්‌පකාසනත්‌ථං, අට්‌ඨකථා ආදිතො වසිසතෙහි;
පඤ්‌චහි යා සඞ්‌ගීතා, අනුසඞ්‌ගීතා ච පච්‌ඡාපි.
අර්ථ ප්‍රකාශකිරීම පිණිස පළමු සංගායනාවේදී පන්සියයක් මහරහත් උතුමන් විසින් සංගායනා කරන ලදුව, ඉන් පසුව ද දෙවන සංගායනාදියේදී නැවත නැවතත් සංගායනා කරන ලදුව
සීහළදීපං පන ආභතාථ, වසිනා මහාමහින්‌දෙන;
ඨපිතා සීහළභාසාය, දීපවාසීනමත්‌ථාය.
චිත්තවශීභාවයෙන් යුතු මහමිහිඳු මාහිමි පාණන් විසින් සිංහල ද්වීපයට ගෙනෙන ලදුව සිංහල දීපයේ වැසියන්ගේ යහපත පිණිස (පසුව සිංහල මහ තෙරවරුන් විසින්) සිංහල භාෂාවෙන් තබන ලදී.[1]
අටුවාව සැකසුනේ කෙසේ ද, එයට ආචරියවාද යැයි කියන්නේ කුමක් නිසාද යන කරුණු ටීකාචාරීන් වහන්සේලා මෙසේ දක්වන සේක.
යදිපි තත්‌ථ තත්‌ථ භගවතා පවත්‌තිතපකිණ්‌ණකදෙසනාව අට්‌ඨකථා, සා පන ධම්‌මසඞ්‌ගාහකෙහි පඨමං තීණි පිටකානි සඞ්‌ගායිත්‌වා තස්‌ස අත්‌ථවණ්‌ණනානුරූපෙනෙව වාචනාමග්‌ගං ආරොපිතත්‌තා ‘‘ආචරියවාදො’’ති වුච්‌චති ආචරියා වදන්‌ති සංවණ්‌ණෙන්‌ති පාළිං එතෙනාති. තෙනාහ ‘‘ආචරියවාදො නාම අට්‌ඨකථා’’ති. තිස්‌සො සඞ්‌ගීතියො ආරුළ්‌හො එව ච බුද්‌ධවචනස්‌ස අත්‌ථසංවණ්‌ණනාභූතො කථාමග්‌ගො මහින්‌දත්‌ථෙරෙන තම්‌බපණ්‌ණිදීපං ආභතො පච්‌ඡා තම්‌බපණ්‌ණියෙහි මහාථෙරෙහි සීහළභාසාය ඨපිතො නිකායන්‌තරලද්‌ධිසඞ්‌කරපරිහරණත්‌ථං.
(ඉඳින් ඒ ඒ තැන භාග්‍යවතුන් වහන්සේ විසින් පැවැත්වූ ප්‍රකීර්ණක දේශනාවම අටුවාව නම් වේ. ධර්ම සංගායක මහරහතන් වහන්සේලා විසින් පළමුව ත්‍රිපිටකය සංගායනා කර එහි අර්ථ වර්ණනාකිරීම් වශයෙන් ඒ අටුවාව වාචනා මාර්ගයට නැංවූ බැවින් ‘ආචාර්යන් වහන්සේලා මෙය කරණකොට ගෙන පෙළ සංවර්ණනා කරත්’ යන අරුතින් මේ අටුවාවට ආචරියවාද යැයි කියනු ලැබේ. එබැවින් ‘ආචරියවාද නම් අටුවායි’ යනුවෙන් කීහ. සංගායනා තුනට නැගුනා වූම බුද්ධ වචනයේ අර්ථසංවරණනාව වූ කථාමාර්ගය මහමිහිදු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට ගෙනෙන ලදුව වෙනත් නිකායන්ගේ පැවති වැරදි මත හා මිශ්‍ර නොවීම පිණිස පසුව ලක්දිව්වාසී මහතෙරවරුන් විසින් සිංහළ භාෂාවෙන් (එම අටුවා) තබන ලදී.)[2]
මෙම අටුවා පළමු සංගායනාවේදී සංගායනා වූ බව ඉහත දැක්වීමු. එහිදී විනය අටුවාව බුදුරජුන්ගේ අදහස දැන උපාලි මහරහතන් වහන්සේ ආදී උතුමන් විසින් සංගායනා කොට තැබූ බව “භගවතො හි අධිප්‌පායං ඤත්‌වා උපාලිත්‌ථෙරාදීහි අට්‌ඨකථා ඨපිතා.”[3] යැයි දක්වා ඇත.
කරුණු මෙසේ හෙයින් අටුවාව යනු බුදුරජුන්ගේ දේශනාවේම අර්ථය බවත්, බුදුරජුන්ගේ අදහස දන්නා සම්මුඛ ශ්‍රාවක මහරහතන් වහන්සේලා විසින් එම අටුවා සංගායනා කළ බවත්, ඒවා මිහිඳු මාහිමියන් වහන්සේ විසින් ලක්දිවට ගෙනෙන ලදුව පසුව වැරදි මත හා මිශ්‍රවීම වැලකීමට සිංහල මහරහතන් වහන්සේලා විසින් සිංහල භාෂාවට නගා තිබූ බවත් නැවතත් ඒවා සියලු ලෝකවාසීන්ගේ යහපත පිණිස බුදුගොස් ඇදුරිඳු විසින් පාළි භාෂාවට නැගූ බවත් සැලකිය යුතුය.