පිළිවෙත් සරු යෝගාශ්‍රමීය මාහිමිපාණන් වහන්සේලා අටුවා-ටීකාදිය පිළිබඳ දරණ අදහස

1. පරියත්ති ශාසනය නම්:

(පර්යාප්ති ශාසනය) මහාකාරුණික බුදුපියාණන් වහන්සේ වදාළ අනුශාසනා සමූහයයි. ඒ වනාහි පොදුවේ සුගතියට ද විශේෂයෙන් නිවනට ද මාර්ගය සලසා දෙන පිළිවෙත වදාළ සුපිරිසිදු උපදෙස් රැසය. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය යයි එය කොටස් තුනකට බෙදී ඇත්තේය. එහි ගැඹුරු තැන් ලිහිල් කොට තේරුම් කර ගැනීමට පහසු මග දක්වන අටුවාවෝ ඇත. එහි විස්තරය පහළ නොවූ ගැටළු නොලිහුණු තැන් එළිපෙහෙළි කරන ටීකා අනුටීකාවෝ ඇත. ඒ හැමතැන් පහසුවෙන් හිතට ගන්නා නියායෙන් සකස් කළ සංග්‍රහ ධර්මග්‍රන්ථයෝ ඇත. රාගවිනය, දෝෂවිනය, මෝහවිනය සලසන නය අනුව චතුස්සත්‍යය ප්‍රකාශක ක්‍රම අනුව අමාමහ නිවන් රසින් රසවත් වූ නය අනුව ඒ හැම බුදුවදන් පිරිසිදු සැදැහැ සිතින් උගතයුතු වන්නේය.[1]

2. මේ අවස්ථාව පටිසම්භිදාමග්ග දේශනා පාළියෙහි සඳහන් වන්නේ “චිත්තං විවට්ටති උපෙක්ඛා සණ්ඨාති” යනුවෙනි.

පටිසම්භිදාමග්ග අට්ඨකථාව මේ අවස්ථාව විස්තර කරන්නේ “අස්සාසපස්සාසාපි ......” යනුවෙනි.[2]

3. අට්ඨකථාචරිය බුද්ධඝෝස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සම්ප්‍රාප්තිය සිදුවූයේ මෙබඳු තත්වයකින් යුත් කාලයෙකය. උන්වහන්සේ විසුද්ධිමග්ගයේදී කර්මස්ථාන පිළිබඳ සියලු විස්තර නොපිරිහෙලා විස්තර කළ බව, “සබ්‌බකම්‌මට්‌ඨානානඤ්‌හි භාවනාවිධානං සබ්‌බං අට්‌ඨකථානයෙන ගහෙත්‌වා විසුද්‌ධිමග්‌ගෙ විත්‌ථාරිතං.”යි කමටහන් පිළිබඳ සියලු භාවනා විධානය අටුවාවේ ආනයින් විසුද්ධිමාර්ගයේ විස්තර කරන ලදී. මෙයින් විසුද්ධිමාර්ගය සම්පූර්ණ භාවනා විධානයේ විස්තර කළ ග්‍රන්ථය බව ප්‍රකාශිතයි.[3]

4. මිහිඳු මාහිමිපාණන් වහන්සේගෙන් ඇරඹුණු ශාසන පරම්පරාව දිගටම සඳහන් කිරීමට බොහෝ උත්සාහ ගත්තත් නොයෙක් විදියේ අතුරු අනතුරු නිසා වැලකී ගියේය. මහාවිහාර භික්‍ෂු පරම්පරාව යැයි නියමයෙන් දැක්වීමට පරපුරක් නොමැති විය. භාවනා පරම්පරාව ද මේ සමග දුබල වූ බව සිතිය හැකිය. මේ දුබල වීම පලාබත්ගල විසූ ධර්මකීර්ති ස්වාමීන් වහන්සේගේ කාලයෙන් පසුව යැයි කිය යුතුය.

ලක් බුදුසසුන පිහිටි මුල් කාලයේ විදර්ශනා භාවනා උපදේශ දීමට ඒ කාලයේ සිටිය ප්‍රමුඛ පිරිස හොඳටම සමර්ථ වූහ. එහෙයින් බුද්ධකාලයේ මෙන් ඒ කාලයේ ද අධිගම ලාභය පිළිබඳ කථා අර්ථකථා වංශකථාවන්හි විස්තර කරනලද බැව් හැඟේ. ප්‍රතිවේධ ශාසනය වශයෙන් ගැනෙන මේ අධිගම සම්පත්තිය වර්ෂ දහසකට වඩා නිරුපද්‍රිතව මේ රටේම පැවති බව පෙනේ.[4]

5. ඇත්ත වශයෙන් ඉතිං අට්ඨකථාවෙ කියැවෙන්නේ දේශනා පාළියේ කියන්න ඕන එකනෙ. දැන් අට්ඨකථාව කියන එක රහතන් වහන්සේලා පමණක්ම තීරණය කරපු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවකම අදහස. ඒ කියන්නේ දැන් ඔය අට්ඨකථා ගැන ලස්සන පිළිතුරක් දීල තියෙනව මහාවංසෙ. තිස් හත්වැනි පරිච්ඡේදෙ මං කියෙව්වා. කියෙවුවම හොඳට තියෙනවා පිළිතුරක්. දැන් අදකාලෙ බොහෝ උගත් අය පිළිගන්නේ මේක පසුකාලෙක හදපු එකක් කියලනෙ. නෑ පසු කාලෙක වුනේ පරිවර්තනයක් විතරයි. ඒ කියන්නේ භාෂා පරිවර්තනය.[5]

6. අතිගරු පූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ සිරි ජිනවංස මාහිමිපාණන් වහන්සේ ද ........ ත්‍රිපිටක ධර්මය පෙළ - අටුවා - ටීකා සමග හදාරා ව්‍යාකරණ, ශබ්ද ශාස්ත්‍ර, භාෂා නිපුණත්වයෙන් රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත්හ.

ඒ අනුව 1951 වර්ෂයේ ජූනි මස 18 වන දින ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රථම ප්‍රවෘජ්‍යා සම්පත්තිය ලබාගත් මහා පුණ්‍යවන්ත දොළොස් දෙනා වහන්සේ, පෙළ - අටුවා - ටීකා - සංස්කෘත භාෂා - ව්‍යාකරණ - ශබ්දශාස්ත්‍ර - ධර්මවිනය පිළිබඳ හසල දැනුමක් ඇති කුශාග්‍ර බුද්ධියෙන් යුතු අතිගරු ප්‍රධානාචාර්යය මාතර සිරි ඤාණාරාම හිමිපාණන් වහන්සේ වෙතින් මූළික අධ්‍යාපනය ලබා ගත්හ.[6]

7. ත්‍රිපිටක පාලියෙහි දැක්වෙන සමථ කර්මස්ථාන භාවනා සියල්ල එක්රැස් කොට විසුද්ධි මාර්ග අර්ථකථාවෙහි සවිස්තරව දක්වා ඇත්තේ සමථ කර්මස්ථාන සතළිසක් වශයෙනි.[7]

8. සතරබණවර - සතිපට්ඨාන සූත්‍රය - සූත්‍රසංග්‍රහය - ධම්මපදය - කායවිරති ගාථා පොත - අභිධර්මාර්ථ සංග්‍රහය - බාලාවතාරය සම්පූර්ණ කොට වාචෝද්ගත කරන ලද්දේ නාථගනේදීය.[8]

9. ටික දිනකට නාඋයනට වැඩම කළ පූජ්‍ය උත්තරවංස ස්වාමීන් වහන්සේත් ඇසුරට ලැබිණ. එම ස්වාමීන් වහන්සේගෙන් අභිධර්මාර්ථ සංග්‍රහයේ ප්‍රකීර්ණක කාණ්ඩය තෙක් අර්ථ අස්වාගතිමි. [9]

10. අධිශීලෝපසම්පදාවේදී උපාධ්‍යායන් වහන්සේ වශයෙන් පත් වූ සේක් අතිපූජනීය විදර්ශනාචාර්ය මඩවල ධම්මතිලකාභිධාන නිමලව ලොකු ස්වාමීන් වහන්සේ වෙති. එහිදී කර්මාචාර්යයන් වහන්සේලා වශයෙන්. අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාම මාහිමියන් වහන්සේ ද, අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංස මාහිමියන් වහන්සේ ද, අතිපූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රී විමලවංස මාහිමියන් වහන්සේ ද, අතිපූජනීය මුනගම සිරිසුමන මාහිමියන් වහන්සේ ද, අතිපූජනීය දේවගොඩ මංගලසිරි මාහිමියන් වහන්සේ ද, පත් වූ සේක.

අධ්‍යයන සමයේදී ඉහත සඳහන් උපසම්පදාවේදී උපාධ්‍යාය කර්මාචාර්යවර මාහිමිපාණන් වහන්සේලාද, අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමියන් වහන්සේ ද, අතිපූජ්‍ය දෙවිනුවර ඤාණාවාසාභිධාන මහානායක මාහිමියන් වහන්සේද ආචාර්යත්වයට පත්වූ සේක.[10]

11. .. පූජනීය ගැටමාන්නේ ශ්‍රී විමලවංස මාහිමියන් වහන්සේ වෙතින් සිංහල - පාලි, පාලිනිඝණ්ඩුව, සංස්කෘත - ඡන්දස් - අලංකාර, විනය ප්‍රාතිමෝක්‍ෂ - කංඛාවිතරණී - ප්‍රාතිමෝක්‍ෂ වර්ණණාව, සිඛවළඳ - සිඛවළඳ විනිස - සූත්‍ර පිටකයේ සඟි පොත්, ආදියත් ......... අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංස ස්වාමීන් වහන්සේ වෙතින් හා අතිපූජනීය දේවගොඩ මංගලසිරි ස්වාමීන් වහන්සේ ද වෙතින් වැඩිදුරටත් පාලිභාෂාව - අර්ථකථා, විනය පිටකය, සූත්‍රාන්ත පිටකය ද අධ්‍යයන කෙරිණි.[11]

  1. විදර්ශනා පරපුර 2 පිටුව (අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි) 2003

  2. ආනාපානසති භාවනාව 15 පිටුව (2009) (අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි)

  3. විදර්ශනා පරපුර 9 පිටුව (අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි) 2003

  4. විදර්ශනා පරපුර 11-12 පිටු (අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි) 2003

  5. අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපානන් වහන්සේ විසින් 2010.6.12 දින නාඋයන ආරණ්‍යයේදී පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරින්

  6. ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා ඉතිහාසය (ප්‍රථම-දුතියභාග) 210 පිටුව.

  7. සමසතළිස් කමටහන් (2014) හැඳින්වීම X පිට (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි)

  8. අසිරිමත් බුදුමග පියසටහන් (2017) (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි චරිතාපදානය) 42 පිට

  9. එම 43 පිට

  10. එම 46 පිටුව

  11. එම 47 – 48 පිටු