පූර්වාචාරීන් වහන්සේලා යැයි අටුවා වල දක්වන්නේ කවුරුන්ද?

සම්බුද්ධ දේශිතයන්ගේ නිවැරදි අර්ථ දරාගනිමින් ඒවාට විවරණ සැපයූ උතුමන් වහන්සේලා පූර්වාචාරීන් වහන්සේලා නම් වේයැයි අටුවාවන්හි දැක්වේ. ඒ උතුමන් වහන්සේලා කෙබඳුදැයි අනුබුද්ධ බුද්ධඝෝෂ මහ ඇදුරුපාණන් වහන්සේ විනය අටුවාව ආරම්භයේදීම මෙසේ දක්වා ඇත.

කාමඤ්‌ච පුබ්‌බාචරියාසභෙහි; ඤාණම්‌බුනිද්‌ධොතමලාසවෙහි;

විසුද්‌ධවිජ්‌ජාපටිසම්‌භිදෙහි; සද්‌ධම්‌මසංවණ්‌ණනකොවිදෙහි.

සල්‌ලෙඛියෙ නො සුලභූපමෙහි; මහාවිහාරස්‌ස ධජූපමෙහි;

සංවණ්‌ණිතොයං විනයො නයෙහි; චිත්‌තෙහි සම්‌බුද්‌ධවරන්‌වයෙහි.

ඒකාන්තයෙන්ම මාර්ගඥාන නමැති ජලයෙන් මනාව සෝදා හරිනලද කෙලෙස් මළ ඇත්තා වූ, විශුද්ධ ත්‍රිවිධ්‍යා-ප්‍රතිසම්භිදාඥාන ඇත්තා වූ, සද්ධර්මය සංවර්ණනා කිරීමෙහි අතිදක්ෂ වූ, සල්ලේඛ ප්‍රතිපදාවෙහි සුලභ උපමා නැත්තා වූ, මහාවිහාරයට ධ්වජ (කොඩි) බඳු වූ (සාරිපුත්ත - මහමුගලන් - මහාකාශ්‍යපාදී මහරහතන් වහන්සේලා ආදිකොට ඇති) අති ශ්‍රේෂ්ඨ පූර්වාචාරී මහරහතන් වහන්සේලා විසින් මේ විනය උතුම් සම්බුදුරජාණන් වහන්සේගේ (අදහස) අනුවගියා වූ විචිත්‍ර න්‍යායන්ගෙන් මනාව වර්ණනා කරනා ලද්දේය.

මෙසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් න්‍යායන් මත පිහිටා පූර්වාචාරී උතුමන් වහන්සේලා අර්ථ වර්ණනා කළ බැවින් එම අටුවාද බුද්ධදේශිතම වන බව ඉහතින් දැක්වුවෙමු. බුදුරජාණන් වහන්සේගේ න්‍යායන්ගෙන් තොරව අටුවාවක් නොපවතින බව තේරුම් ගැනීමට උදාහරණ කීපයක් අපි මෙසේ දක්වමු.

1. ධුතංග නාමයන් හා ධුතංග සමාදානයේ වටිනාකම ආදී කරුණු දැක්වෙන දේශනා පෙළ පොත්වල බොහෝ ඇතත් එම ධුතංග යනු මොනවාද, ඒවා සමාදන් වන විදිය, බිඳෙන විදිය, එහිදී පිළිපැදිය යුතු කරුණු ආදී විස්තර අඩංගු වන්නේ අටුවාවේය. බුදුරජාණන් වහන්සේ හැර මෙම කරුණු විස්තර කිරීමට සමතෙක් කොහිද? නැත්තේමය. බුදුරජාණන් වහන්සේගේ අදහස මත පිහිටා මෙම විවරණ කළ බවට මෙය එක් සාධකයකි.

2. දීඝනිකායේ සංගීතිසූත්‍රය, දසුත්තරසූත්‍රය යනාදී තැන් වලත් මජ්ඣිමනිකායේ මහා සකුළුදායි සූත්‍රය යනාදී තැන් වලත් කසිණසමාපත්ති යන වචනය දැක්වෙතත් එම කසිණමණ්ඩලය නිවැරදිව සකසා ගන්නේ කෙසේද, එය වැඩීමේදී ඇති අනුපිළිවෙල හා එක් එක් ධ්‍යාන වැඩීමේ ක්‍රමවේදය, නිවැරදිව ධ්‍යානය යනු කුමක්දැයි හඳුනාගන්නා ක්‍රම යනාදී සියල්ල දක්වා ඇත්තේ අටුවාවේය. එම කරුණු නිවැරදිව විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේ හැර කවරෙක් නම් සමත් වේද? නොවේමය. එබැවින් බුදුරජාණන් වහන්සේගේ අදහස මත පිහිටා මෙම අටුවා විවරණ කළ බවට මෙය ද එක් සාධකයකි.

3. “අස්සද්ධො අකතඤ්ඤූ ච” යනාදී ධම්මපද ගාථාත්, “ඡන්නමතිවස්සති, විවටං නාතිවස්සති” යනාදී විනය පිටකාදියේ පවතින ගාථාත් අටුවාව නැතිනම් විවිධාකාරයෙන් අරුත් දිය හැකිය. මෙපමණක් නොව ධර්මයේ විනයේ ඇතිතාක් අපැහැදිලි, අප්‍රකට වචන සියල්ල පැහැදිලි කරන්නේ අටුවාවේය.

4. අභිධර්ම පිටකයේ ධම්මසංගනීප්‍රකරණයේ චිත්ත කාණ්ඩයේ පදභාජනියේදී ධම්මවවත්ථාන වාරයේ දී ඒ ඒ සිතේ යෙදෙන ධර්ම (නාමධර්ම) දක්වා එහි අගදී “යෙ වා පන තස්මිං සමයෙ....” යනාදී ලෙස යෙවාපනක ධර්ම දැක්වූ සේක. ඒ එකිනෙක සිතක යෙදෙන යේවාපනක ධර්ම මොනවාදැයි දක්වන්නේ අටුවාවේදීය. අටුවාව නැතිව මේවා පැහැදිලි කරගත නොහැක.