අහේතුක සිත් අටළොසෙහි සංග්‍රහ නය
අහේතුක සිත් අටළොසෙන් සිත් සතක් අකුසල විපාක යෝයි. සිත් අටක් කුසල විපාකයෝයි. තුනක් ක්‍රියාසිත් ය. විපාක සිත් පසළොසින් චක්ඛු විඤ්ඤාණාදී විඤ්ඤාණ සිත් දහයට දෙපස් විඤ්ඤාණයෝ යයි කියති. මේ හැර සම්පටිච්ඡන සිත් දෙකක් ද සන්තීරණ සිත් තුනක් ද වේ. ක්‍රියා සිත් තුනෙන් දෙකක් පඤ්චද්වාරාවජ්ජනය, මනොද්වාරාවජ්ජන යයි ආවජ්ජනා සිත් ය. ඉතිරි ක්‍රියා සිත රහතන් වහන්සේලාට ඇතිවන සොමනස්ස හසිතුප්පාද සිත ය.
මෙයින් සම්පටිච්ඡන දෙකත්, පඤ්චද්වාරාවජ්ජන සිතත් යන සිත් තුනට මනොධාතුත්‍රික යයි කියති. උපෙක්ඛා සහගත සන්තීරණ සිත් දෙකට අහේතුක පටිසන්ධි යුගල යයි ද කියති. මේ සිත් අටළොසෙහි ම, ලෝභ, දොස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ යන අකුසල හා කුසල හේතූන් යෙදී නැතිහෙයින් අහේතුක සිත් යයි ව්‍යවහාර වේ. මේ සිත්හි යෙදෙන්නේ අඤ්ඤසමාන චෛතසිකයෝ පමණය. අකුසල හෝ සෝභන චෛතසිකයෝ නො ලැබෙන්නාහ. එබැවින් මේ සිත් අටළොසම ඉතා දුර්වල සිත් බව දත යුතුයි.
මේ අහේතුක චිත්තයන්ගේ සංග්‍රහ නය දැක්වීමේ පහසුව සඳහා කොටස් පසකට බෙදා දක්වනු ලැබේ.