පවාරණය

‘ප්‍රතික්ෂේප කිරීමය, ආරාධනා කිරීමය’ යි පවාරණය දෙවැදෑරුම් වේ. “යො පන භික්කු භුත්තාවි පවාරිතො අනතිරිත්තං ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්‍ය වා භුඤ්ජෙය්‍ය වා පාචිත්තියං” යන මේ සිකපදයෙහි දැක්වෙන පවාරණය ප්‍රතික්ෂේපය ය. වස් අවසන් වන පෝයෙහි කරන්නට නියමිත වූ මේ පවාරණය උපාසකෝපාසිකාවන්ගේ සිල් පවාරණය බඳු ප්‍රතික්ෂේපයක් නොවේ. දැකීමය, අනුන් කියනු ඇසීමය, සැක ඇතිවීමය යන මේ කරුණු තුනෙන්ම වරද ගැන, තමාට අවවාද අනුශාසනා කරන ලෙස සඞ්ඝයාගෙන් හෝ ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් හෝ ඉල්ලීම මෙහි අදහස් කරන පවාරණය ය. මෙය වස් අවසන් කිරීමය යි වරදවා නො ගත යුතු.

පවාරණය වනාහි දින වශයෙන් චාතුද්දසී පවාරණයය, පණ්ණරසී පවාරණය ය, සාමග්ගි පවාරණය යයි තෙවැදෑරුම් වේ.

සඞ්ඝපවාරණයය, ගණපවාරණයය, පුග්ගලපවාරණය යි කාරක පුද්ගලයන්ගේ වශයෙන් තෙවැදෑරුම් වේ.

තේවාචික පවාරණයය, ද්වේවාචික පවාරණයය, ඒකවාචික පවාරණය යයි කර්තෘව්‍යාකාරයෙන් තෙවැදෑරුම් වේ. මෙසේ පවාරණය නව වැදෑරුම් වේ.

වස් අවසන් වන පෝය වස්සාන සෘතුවේ සවන පෝය බැවින් එය සැමකල්හි ම පණ්ණරසී දිනයක් වේ. බොහෝ සෙයින් පවාරණය කෙරෙන්නේ ඒ දිනයේ ය. වුවමනාවක් ඇති නම් සඞ්ඝයා හට ඒ දිනයෙහි පවාරණය නො කොට වස්සාන සෘතුවේ සත්වන පෝයට හෝ අටවන පෝයට තබා ගත හැකි ය. චාතුද්දසී පවාරණයක් වන්නේ වස්සාන සෘතුවේ සත්වන පෝයෙහි පවාරණය කරත හොත් ය. වස්සාන සෘතුවේ අටවන පෝයෙහි කරන පවාරණයත් පණ්ණරසී පවාරණය ම ය.

සාමග්ගී උපෝසථයට සුදුසු කරුණක් වප්මස අව පෑළවියෙහි පටන් ඉල්මස පුර පසළොස්වක දක්වා ඇති එකුන් තිස් දිනය තුළ සිදු වී නම්, සාමග්ගීපවාරණය කළ යුතු ය. අනික් කලෙක එය නො කරනු ලැබේ. සඞ්ඝ උපෝසථයට සේ සඞ්ඝපවාරණයට සතර නමක්වූ භික්ෂූහු ප්‍රමාණ නො වෙති. සඞ්ඝපවාරණය කළ හැකි වීමට යටත් පිරිසෙයින් භික්ෂූන් පස්නමක් එක්විය යුතු ය.